පෙරළිකාරයින් ගේ නැවතුම සටහන් කල ඉන්දියාව අවසන් සටනට

205

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය අද (15) ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශය අතර එංගලන්තයේ බ්‍රිමින්හැම් නුවර එඩ්ග්බැස්ටන් ක්‍රීඩා පිටියේ දී පැවැත්වුණු අතර කඩුලු 9කින් තම ජයග්‍රහණය සනිටුහන් කරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ අනුව මෙවර ශූරයින්ගේ කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයට ප්‍රවේශ වීමට ඉන්දියානු කණ්ඩායම  සමත් විය.

පරාජයේ වගකීම තනි ක්‍රීඩකයෙකුට පැවරීම අසාධාරණයි – මැතිව්ස්

ශ්‍රී ලංකා කණ්ඩායමට ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අර්ධ අවසන් වටයට පිවිසීමේ බලාපොරොත්තු අත් හැර දැමීමට සිදු වුනේ මූලික වටයේ තරග තුනෙන් දෙකක් පරාජය වීමත් සමඟයි.

B කාණ්ඩයේ ප්‍රථමයා ලෙසින් මූලික වටයේ තරඟ අවසන් කල ඉන්දියාව ශ්‍රී ලංකාවට පමණක් පරාජයට පත්ව අවසන් පූර්ව වටයේ තම අසුන වෙන්කර ගන්නා විට, A කාණ්ඩයේ දෙවැන්නා වූ පෙරළිකාර බංග්ලාදේශය තම ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරවමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මගින් සංවිධානය කල ක්‍රිකට් තරඟාවලියක, ප්‍රථම වරට අවසන් පූර්ව තරඟයක් සඳහා සුදුසුකම් ලබාගැනීම සුවිශේෂී කරුණක් විය. බංග්ලාදේශ කණ්ඩායම මූලික වටයේ තරඟ වල දි නවසීලන්තය පරාජයට පත් කිරීමට සමත් වෙන ලදි.

කාසියේ වාසිය ජයග්‍රහණය කල ඉන්දීය නායක විරාට් කෝලි, තම කණ්ඩායමේ පන්දු බල ඇණිය මත විශ්වාසය තබා එඩ්ග්බැස්ටන් තණතීරුව මත පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදී.

අනුව පිටියට අවතීර්ණ වූ බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් යුගල වන තමිම් ඉක්බාල් හා සවුම්ය සරක්කාර් ගේ ආරම්භක කඩුල්ලේ සබඳතාවය බුවනේශ්වර් කුමාරගේ පන්දු යැවීම හමුවේ පළමු පන්දුවාරය තුළම එක් ලකුණකට පමණක් සීමා විය. ඉන් අනතුරුව පිටියට පැමිණි සබීර් රෙහෙමාන් හා තමිම් දෙවන කඩුල්ලට ලකුණු 30ක සබඳතාවයක් ගොඩනංවමින් පිටියේ ස්ථාවර වීමට වෑයම් කළ නමුත්, එය ඉදිරියට පවත්වාගෙන යාමට රෙහෙමාන් අපොහොසත් විය. නැවතත් බුවනේශ්වර් විසින් එවන ලද වේගය අඩාල කරවූ පන්දුවට රවීන්ද්‍ර ජඩේජා වෙතට උඩ පන්දුවක් ලබා දෙමින් රෙහෙමාන් 4 පහර 4ක් සමගින් ලකුණු 19කට දැවීයාම බංග්ලාදේශ කණ්ඩායමට බෙහෙවින් අවාසිදායක විය.

පළමු පන්දුවාර කිහිපය තුළදීම බංග්ලාදේශ යම්තාක් මට්ටමකට පීඩනයට හසුකර ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වූ අතර, අනතුරුව පිටියට පැමිණි මුශ්ෆික රහීම් හා එක් වූ තමිම් තෙවන කඩුල්ල සඳහා එක් කළ ලකුණු 123ක සබඳතාවයක බංග්ලාදේශ ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු ඉහළ නැංවීමට සමත් විය. ඉන්දීය පන්දු යවන්නන් හමුවේ සංයමයෙන් යුතුව ඔවුන් දෙදෙනා විසින් ඉනිම ගොඩනැංවූ අතර, එම සබඳතාවය අවසන් වන අවස්ථාවේ තම 38 වන එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය අත් කරගෙන සිටි තමිම්, 4 පහර 7ක් හා එක් 6 පහරක් තම ඉනිමට අන්තර්ගත කරවමින් ලකුණු 70ක් ලබාගෙන සිටියදී, ජාදෙව් ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසාවෙන් දැවී ගියේය.

[rev_slider ct17-dsccricket]

නිමා වූ නවසීලන්ත තරඟයේ දී වැඩි දස්කම් අතරට පැමිණි තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් මෙම තරඟයට පිවිසියේ වැඩි දායකත්වයක් දීම වෙනුවෙන් නමුත්, ඔහු ගේ ඉනිම ලකුණු 15කට සීමා කරලීමට ජඩේජා සමත් වූයේ, මහේන්ද්‍ර සිං දෝනි ගේ සහය ඇතිවයි. ඉන් මොහොතකට පසුව තම 26 වන අර්ධ ශතකය වාර්තා කළ රහීම් ලකුණු 61කට දැවී ගිය අතර, ඔහු ගේ ඉනිම 4 පහර 4කින් අලංකාරවත් විය. ඒත් සමගින් ඔවුන් ගේ ලකුණු පුවරුව පන්දුවාර 35යි පන්දු 2ක් අවසානයේ ලකුණු 179කට කඩුලු 5ක් ලෙසින් දිස්වන්නට විය.

අවසානයේ මොර්ටාසා නායකත්වයේ පිතිකරණයක නිරත වෙමින් 4 පහර 5ක් සමගින් නොදැවී ලකුණු 30*ක් ලබාගෙන ලකුණු 264ක් දක්වා බංග්ලාදේශ ඉනිම ඔසවා තැබීමට තම උපරිම දායකත්වය දක්වන ලදි.

පන්දු යැවීමේ දී බුම්රා, බුවනේශ්වර් හා ජාදෙව් යන තිදෙනාම විසින් බංග්ලාදේශ කඩුලු 2ක බැගින් දවාලීමට සමත් විය.

ඉන්දීය පිතිකරණ බල ඇණිය සමග සසඳා බලන විට, ලකුණු 265ක ඉලක්කයක් බංග්ලාදේශයට ප්‍රමාණවත් නොවුව , එය තරඟයක් ලබා දිය හැකි සැලකියයුතු ලකුණු ප්‍රමාණයකි. එම ලකුණු ප්‍රමාණය හඹා යාම සඳහා පිටියට අවතීර්ණ වූ ඉන්දීය ආරම්භක පිතිකරුවන් යුගල වන රෝහිත ශර්මා හා ශිකර් ධවාන් මෙම තරඟාවලියේ අනෙක් තරඟවලදී දැක්වූ දස්කම් සිහි ගන්වමින්  ඉන්දීය කණ්ඩායමට සුපිරි ආරම්භක අඩිතාලමක් සකස් කර දෙන ලදි. එහි දී ධවාන් මෙම තරඟාවලියේ දිගින් දිගටම අර්ධ ශතක හා ශතක අතරට නොකඩවා පැමිණීම කැපී පෙනුණි. නමුත් ඉන්දියාව ලකුණු 87ක් ලබාගෙන සිටිය දී නායක මොර්ටාසා ගේ පන්දුවකට මිඩ් ඕෆ් කලාපයට ධවාන් විසින් පහර එල්ල කල එය මොස්දෙක් හුසේන් ගේ සුරතෙහි අනපේක්ෂිත ලෙස රැඳුණි. අනුව 4 පහර 7ක් හා දැවැන්ත 6 පහරක් සමගින් ලකුණු 46ක් ලබාගෙන අර්ධ ශතකය පෙනෙන මානයේ තිබිය දී අවාසනාවන්ත ලෙස දැවී යාමට ධවාන් සිදු වූයේය.

අනතුරුව පිටියේ ස්ථාවර වූ ශර්මා හා නායක කෝලි දෙවන කඩුල්ල සඳහා ලකුණු 178* විශිෂ්ට සබඳතාවයක් ගොඩනැංවූයේ  බංග්ලාදේශයේ පෙරළිකාර ගමනට තිත තබමිනි. එතැන් සිට ඔවුන් ගෙන් තරඟය කෙමින් කෙමින් ගිලිහී යාම ආරම්හ වූ අතර, මොර්ටාසා දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් නිලකුණු පන්දු වැඩි ප්‍රමාණයක් වාර්තා කරගැනීමට සමත් වූයේය.

අවසානයේ ශර්මා හා කෝලි යන දෙපළ විසින් තරඟය ජයග්‍රහණය කරා මෙහෙයවූ අතර, තරඟය අවසන් වන විට ශර්මා තම 11 වන අර්ධ ශතකය ද වාර්තා කරගෙන නොදැවී ලකුණු 123*ක් ලබාගෙන සිටියේය. එම ඉනිම 4 පහර 15කින් හා එක් 6 පහරකින් වර්ණවත් විය. ඔහුට අගනා සහයක් ලබා දුන් කෝලි පන්දු 78කදී නොදැවී වේගවත් ලකුණු 96* රැස්කරගත් අතර ඔහුගේ ලකුණු අතරට 4 පහර 13ක් එක්වී තිබුණි. පන්දු යැවීමේ දී මොර්ටාසා ලකුණු 29කට එක් කඩුල්ලක් දවාලීමට සමත් විය.

බංග්ලාදේශය කඩුලු 7ක් දැවී ලකුණු 264 (පන්දුවාර 50): තමිම් ඉක්බාල් 70, මුශ්ෆික රහීම් 61, මශ්රෆ් මොර්ටාසා 30*, මහමදුල්ලා 21, කේදර් ජාදෙව් 22/2, ජාස්ප්‍රිට් බුම්රා 39/2,  බුවනේශ්වර් කුමාර් 53/2

ඉන්දියාව එක් කඩුල්ලක් දැවී ලකුණු 265 (පන්දුවාර 40.1): රෝහිත් ශර්මා 123*, විරාට් කෝලි 96*, ශිකර් ධවාන් 46, මශ්රෆ් මොර්ටාසා 29/1

අනුව ලබන 18 වැනි ඉරිදා එංගලන්තයේ ලන්ඩන් නුවර, කෙනින්ටන් ඕවල් පිටියේ දී ඉන්දීය කණ්ඩායම හා පකිස්තානු කණ්ඩායම අවසන් මහා තරඟයේදී එකිනෙකා හා මුණගැසෙන අතර, කෙසේ නමුත් අවසානයේ කුමන කණ්ඩායම ජයග්‍රහණය කල , ශූරතාවය හිමි වන්නේ දකුණු ආසියානු කලාපයට වීම සුවිශේෂී සිදු වීමකි.

තරගයේ වීරයා සම්මානය රෝහිත් ශර්මා විසින් දිනා ගන්නා ලදි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට