වේගවත්ම ක්‍රීඩකයා හිමාෂ; ක්‍රීඩිකාව සුගන්ධි

732

2018 වර්ෂය සඳහා වන ජාතික තේරීම් තරග කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී අද (28) සාර්ථකව නිමාවට පත්විය. දෙවන දිනයේ පැවති තරග ඉසව් අතරින් මීටර් 100 මීටර් 400 ඉසව්වල දී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.

සුගත්ගේ වාර්තාව විනෝජ් උදුරා ගනී

දින දෙකක් පුරා පැවැත්වෙන 2018 වර්ෂය සඳහා වන ජාතික තේරීම් තරග ඊයේ (27) පළමු දිනට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති අතර පළමු දිනයේ දී නව ජාතික…

උදෑසන කාලයේ පැවති අවසන් තරග අතරින් මීටර් 10000 පිරිමි ඉසව්වේ ප්‍රථම ස්ථානය යුධ හමුදාවේ ජේ. කුමාර බණ්ඩාර විසින් දිනා ගත්තේ මිනිත්තු 31.46.17ක කාලයක් වාර්තා කරමිනි. මෙහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් 31.48.91ක කාලයක් වාර්තා කළ එස්. කුමාර හා මිනිත්තු 32.42.09ක කාලයක් වාර්තා කළ ඒ. ප්‍රේමලාල් විසින් දිනා ගත්හ.

එල්. ආරියදාස මිනිත්තු 17.29.57ක කාලයක් වාර්තා කරමින් මීටර් 5000 කාන්තා ඉසව්වේ ප්‍රථම ස්ථානය ගුවන් හමුදාව වෙනුවෙන් දිනා ගත් අතර ගුවන් හමුදාවේම එන්. ප්‍රියදර්ශනී (17.49.69) හා එන්. නදීෂානි (18.34.32) පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගත්හ.

මීටර් 800 පිරිමි අවසන් තරගය ජයග්‍රහණය කළේ කුපුන් කුෂාන්ත විසිනි. ඒ මිනිත්තු 1.50.84 ක කාලයක් වාර්තා කරමිනි. ආදී නාලන්දයීය ක්‍රීඩකයෙකු වන කුපුන් ලබන මස පැවැත්වෙන තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කරන සංචිතයට ද සුදුසුකම් ලද ක්‍රීඩකයෙකි. මෙම ඉසව්වේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් මිනිත්තු 1.51.34 කාලයක් වාර්තා කළ ජී. ආර්. චතුරංග හා මිනිත්තු 1.51.47 කාලයක් වාර්තා කළ එස්. කේ. වෙලගෙදර විසින් දිනා ගත්හ. මේ තිදෙනාම යුධ හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කිරීම විශේෂත්වයකි.

400 වාර්තාව සමඟින් දක්ෂතම ක්‍රීඩකයා අරුණ

නව ජාතික වාර්තාවක්; තරග වාර්තා 26ක්! නවීකරණයෙන් පසු අභිනවයෙන් ක්‍රීඩකයින්ට විවෘත වූ සුගතදාස ක්‍රීඩාංගණයට නැවුම් ආරම්භයක් ලබා දෙමින් 56 වැනි ජාතික…

මීටර් 800 කාන්තා අවසන් තරගය නිමාලි ලියනාරච්චි විසින් ජයග්‍රහණය කළේ මිනිත්තු 2.10.46ක කාලයක් වාර්තා කරමිනි. එහි දෙවන ස්ථානය, පසුගිය දා නිමා වූ ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ 20න් පහළ අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අභිසෙස් ලැබූ වලල ඒ. රත්නායක විද්‍යාලයේ දිල්ෂි කුමාරසිංහ විසින් දිනා ගත්තාය. ඇය වාර්තා කළ කාලය මිනිත්තු 2.10.66 කි. මිනිත්තු 2.12.38ක කාලයක් වාර්තා කළ ගුවන් හමුදාවේ ඩී. සඳකාන්ති මෙම ඉසව්වේ තෙවන ස්ථානය දිනා ගත්තාය.

එන්. කනගරත්න මීටර් 3000 කාන්තා ඉසව්ව මිනිත්තු 10.36.6ක කාලයකින් අවසන් කරමින් ප්‍රථම ස්ථානය දිනා ගත් අතර එම ඉසව්වේ දෙවන ස්ථානය මිනිත්තු 10.36.7ක කාලයක් වාර්තා කරමින් එස්. හේරත් දිනා විසින් දිනා ගත්තාය. ඉසව්වේ තෙවන ස්ථානය කුසුම් නිලුෂිකා (11.19.4) විසින් දිනා ගනු ලැබීය.

සවස් භාගය වන විට තීරණාත්මක තරග ඉසව් කිහිපයක්ම ක්‍රියාත්මක වූ අතර ඒ අතරින් මීටර් 100 කාන්තා අංශයේ ජයග්‍රහණය තත්පර 11.98කින්  අවසන් කළ යුධ හමුදාවේ එල්. සුගන්ධි විසින් දිනා ගත්තාය. දෙවන ස්ථානය තත්පර 12.25කින් අවසන් කළ ගුවන් හමුදාවේ එල්. විදාන දුරුගේ විසින් දිනා ගනිද්දී තෙවන ස්ථානය තත්පර 12.32කින් තරගය අවසන් කළ යුධ හමුදාවේ එස්. ජයතිලක විසින් දිනා ගත්තාය.

පොදුරදමඩුලු ජය ගත් දක්ෂයෝ ඇගයේ

පසුගිය දා නිමාවට පත්වූ විසිඑක් වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ පදක්කම් දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ උළෙලක් ඊයේ (19) ක්‍රීඩා අමාත්‍යංශ…

මීටර් 100 පිරිමි අවසන් තරගය ඉතා තියුණු මුහුණුවරක් ගනිමින් නිමාවට පත්වූයේ හිමාෂ එෂාන් තත්පර 10.53කින් එම ඉසව්ව ජයග්‍රහණය කරමිනි. තත්පර 10.57කින් තරගය අවසන් කළ කේ. විජේරත්න දෙවන ස්ථානය දිනා ගත් අතර යුධ හමුදාවේම එස්. එල්. වික්‍රමසිංහ තත්පර 10.68කින් තරගය නිමා කරමින් තෙවන තැනට පත්විය.

මීටර් 400 ඉසව්වේ පිරිමි අංශයෙන් තම හොඳම කාලය වාර්තා කරමින් කාලිංග කුමාරගේ  (යුධ හමුදා ක්‍රීඩා සමාජය) ප්‍රථම ස්ථානයට පත්විය. ඒ තත්පර 46.08ක කාලයක් වාර්තා කරමිනි. යුධ හමුදාවේම දිලිප් රුවන් දෙවැනි තැන දිනා ගත්තේ තත්පර 46.39ක කාලයක් වාර්තා කරමිනි. ඒ. ප්‍රේමකුමාරට (47.16) තෙවන ස්ථානය.

ඉන් අනතුරුව පැවති මීටර් 400 කාන්තා ඉසව්ව යූ. රත්නකුමාරි විසින් දිනා ගත්තේ තත්පර 53.31ක කාලයකින් ඉසව්ව නිමා කරමිනි. එහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් පී. නදීෂා (තත්පර 54.18) හා එස්. ජයසිංහ (තත්පර 55.99) විසින් දිනා ගත්තේ යුධ හමුදාව නියෝජනය කරමිනි.

සප්ත ප්‍රයාම ඉසව්වේ කාන්තා අංශය ලකුණු 4787ක් ලබා ගත් එල්. සුගන්ධි විසින් දිනා ගත්තාය.  

දිනයේ අවසන් ඉසව්ව ලෙස මීටර් 1500 කාන්තා ඉසව්ව පැවැත්වුණු අතර මිනිත්තු 4.38.00 කාලයක් වාර්තා කළ ගුවන් හමුදාවේ ආර්. දුලක්ෂි විසින් පළමු තැන දිනා ගත්තාය. එම ඉසව්වේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් ශානිකා ලක්ෂානි (මිනිත්තු 4.53.00) හා පී. කුමාරගේ (මිනිත්තු 4.58.00) විසින් දිනා ගත්හ.

ජාතික තේරීම් තරග මාලාවේ දෙවන අදියර ඉදිරියේ දී පැවැත්වීමට නියමිතයි.

 දෙවැනි දිනයේ සම්පූර්ණ ලකුණු සටහන සඳහා පිවිසෙන්න 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<