බලාපොරොත්තුව සමඟ මුසු වූ හඹා යාමෙන් කොදෙව්වන්ට ජය

88
Afghanistan's Ikram Alikhil (R) touches bats with Afghanistan's Rahmat Shah (L) during the first one day international (ODI) cricket match between Afghanistan and West Indies at the Ekana Cricket Stadium in Lucknow on November 6, 2019. (Photo by Rohit UMRAO / AFP) / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE-----

සංචාරක ඇෆ්ගනිස්තාන හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සංචාරය අරඹමින් දෙරට අතර ලක්නව් හිදී පැවති පළමු එක්දින තරගයෙන් ජය ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (6) සමත් විය. 

මෙහි දී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් කණ්ඩායමට බලාපොරොත්තුවක් එක්කළ Hope සහ දක්ෂ ලෙස ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය Chase නිසා කොදෙව්වන්ට පහසු ජයක් අත් විය.

නව කොදෙව් එක්දින නායක කිරන් පොලාර්ඩ් නිත්‍ය නායකත්වයට පත්වීමෙන් පසු ක්‍රීඩා කරන පළමු තරගය මෙය වන අතර ඔහු එක්දින තරගයකට ක්‍රීඩා කරන්නේ වසර 3කට පසුවයි.

ස්මිත් පාකිස්තානයට බැට දෙයි

ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (5)…

කාසිය වාසිය දිනා පන්දු රැකීමට පොලාර්ඩ් තීරණය කළේය. මුලින්ම පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන ආරම්භ පිතිකරුවන් බවට පත්වූයේ හස්රතුල්ලා සසායි සහ ජාවිඩ් අහමඩ් දෙදෙනායි.

ඉතා දුර්වල ආරම්භයක් ලබා ගත් ඔවුන් දෙදෙනාම ලකුණු 15ක් වන විට දැවී ගියේය. එහි දී සසායි සහ අහමඩ් පිළිවෙළින් ලකුණු 9කට හා 5කට දැවී ගියේ ශෙල්ඩන් කෝට්රල් හා ජේසන් හෝල්ඩර් දෙදෙනාගේ ගොදුරු බවට පත්වෙමිනි.

අනතුරුව පිටියේ එක්වූයේ රහ්මත් ෂා සහ ඉක්‍රම් අලිකිල් වැටී තිබූ ඉනිම කෙමෙන් කෙමෙන් ගොඩනගමින් අතිසාර්ථක සබඳතාවයක් ගොඩනැගීමට සමත් විය. ඉනිමේ විශාලතම ලකුණු සබඳතාවය වශයෙන් ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 111ක සබඳතාවයක් ගොඩනැගුවේය. ඊට පන්දු 62කින් ලකුණු 58ක දායකත්වයක් ලබා දුන් ඉක්‍රම් හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් තම ඉනිමට අන්තර්ගත කළේය.

ඇෆ්ගනිස්තාන ලකුණු පුවරුව 126/3ක් බවට පත්කරමින් ඔහු අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේ තරගයට ආන්දෝලනාත්මක මාතෘකාවක් ද නිර්මාණය කරමිනි. එහි දී ඉක්‍රම් ඉදිරියට ගියේ ලකුණක් කරා නොව අනෙක් අන්තයේ අර්ධ ශතකය ලබා ගත් තම සගයා රහ්මාත් ෂාට සුබ පැතීමට වුවද කඩුලු රකින ෂායි හෝප් විසින් කඩුල්ල බිඳ හෙළනු ලැබීය. අනතුරුව විනිසුරුවරුන් විසින් එය දැවී යාමක් වශයෙන් ද සටහන් කළේ ඇෆ්ගනිස්තානුවන්ව දැඩි විමතියට පත්කරමිනි.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයක් තුළ මෙවැනිම සිදුවීමක් මුත්තයියා මුරලිදරන්ට ද අත්වූයේ ශතකය සම්පූර්ණ කළ කුමාර් සංගක්කාරට සුබ පැතීමට යාමේ දී ය.

කෙසේ නමුත් වැඩි වේලාවක් යාමට මත්තෙන් අංක 5 පිතිකරු නජිබුල්ලා සද්රාන්ව ද ආ විගසම ක්‍රීඩාගාරයට හරවා යැවීමට රොස්ටන් චේස් සමත් වූයේ ඔහු කිසිදු ලකුණක් ලබා ගැනීමට පෙරාතුවයි. ඒ සමඟින් කොදෙව්වන් නැවතත් තරගයට අවතීර්ණ වූයේ ඇෆ්ගනිස්තාන ලකුණු පුවරුව 126/4ක් බවට පත් කරමිනි.

ග්‍රෑන්ඩ්හෝම්ගේ ආක්‍රමණශීලීත්වයෙන් නවසීලන්තයට තියුණු ජයක්

සංචාරක එංගලන්ත කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ නෙල්සන් හිදී පැවති තෙවැනි ජාත්‍යන්තර විස්ස…

ඉන් අනතුරුව රහ්මත්ගේ මීළඟ සහයකයා බවට පත්වූයේ අස්ගර් ඇෆ්ගන් ය. නමුත් ඔවුන් දෙදෙනා අතරත් පැවැත්වීමට ඉඩකඩ ලැබුණේ ලකුණු 26ක සබඳතාවයක් වන අතර පන්දුවාර 32.3ක දී ලකුණු පුවරුව 152/5ක් බවට පත්කරමින් රහ්මත් ද දැවී ගියේ ඇෆ්ගනිස්තානය තවත් පීඩනයට ලක් කරමිනි.  

ඇෆ්ගනිස්තාන ඉනිමේ නැංගුරම බවට පත් වූ ඔහු පන්දු 80කින් ලකුණු 61ක් රැස්කළේ හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් තම ඉනිමට අන්තර්ගත කරමිනි.

සිය දෙවන කඩුල්ල වශයෙන් රහ්මාත්ගේ කඩුල්ල දවා ගැනීමට රොස්ටන් චේස් සමත් වූ අතර ඊට නොදෙවෙනි පන්දු යැවීමක නිරත වූ ජේසන් හෝල්ඩර් ද වැඩි වේලාවක් යාමට මත්තෙන් තම දෙවන කඩුල්ල දවා ගැනීමට සමත් වූයේ ඇෆ්ගනිස්තානය අන්ත අසරණ කරමිනි. එහි දී යන්තම් එක් ලකුණක් පමණක් ලබා සිටි අංක 7 පිතිකරු මොහමඩ් නබී ද දැවී ගියේ ඇෆ්ගනිස්තාන මුළු ලකුණු පුවරුව 158/6ක් දක්වා පහතට ඇද දමමිනි.

ඉන්පසුව අස්ගර් ඇෆ්ගන්ගේ සහයකයා බවට පත්වූයේ ගුල්බදීන් නයිබ් ය. ඔවුන් දෙදෙනා අතර හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 33ක් සබඳතාවයක් ගොඩනැංවුව ද එය අභියෝගාත්මක ලකුණු පුවරුවක් කොදෙව්වන් වෙත ලබා දීම සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවීය. ඇෆ්ගනිස්තානය මුළු ලකුණු සංඛ්‍යාව 191ක් වන විට හත්වැනි කඩුල්ල වශයෙන් ගුල්බදීන් නයිබ් ද දැවී ගියේ ලකුණු 11ක් ලබා සිටියේය. 

නමුත් ඇෆ්ගනිස්තාන කිසිසේත් අපේක්ෂා නොකළ පරිදි තවත් ලකුණු 3ක් පමණක් තුළ ඉතිරි කඩුලු 3ම බිඳ වැටුණේ ඔවුන්ගේ ඉනිම ලකුණු 194කට සීමා කරමිනි.

ඉනිම අවසන් භාගයේ ඇෆ්ගනිස්තාන පිතිකරණට යම් ජීවයක් ලබා දුන් අස්ගර් ඇෆ්ගන් ද එහි දී ලකුණු 35කට දුවද්දී දැවී ගිය අතර අනෙක් කඩුලු දෙක වශයෙන් නායක රෂීඩ් ඛාන් හා නවීන් උල් හක් පිළිවෙළින් ලකුණු 0කට හා 1කට දැවී ගියේය.

පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් 21/2, රොස්ටන් චේස් 31/2 හා රොමාරියෝ ශෙපර්ඩ් 32/2 වශයෙන් තම පන්දු යැවීම් සටහන් කළහ.

ලකුණු 195ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ෂායි හෝප් සහ එවින් ලුවීස් ය. අසාර්ථක ආරම්භක ලබා ගත් කොදෙව්වන්ගේ පළමු කඩුලු 2ම ලකුණු 25ක දී දැවී ගියේ ඇෆ්ගනිස්තානුවන්ට ද තරගය නැවතත් විවෘත කරමිනි.

එහි දී එවින් ලුවීස් හා ශිම්රොන් හෙට්මයර් පිළිවෙළින් ලකුණු 7කට හා 3කට දැවී ගියේ මුජීබුර් රහ්මාන් හා නවීන් උල් හක්ගේ පන්දු ඉදිරියේ ය.

අනතුරුව පිටියේ එක්වූ ෂායි හෝප් සහ රොස්ටන් චේස් දෙදෙනා කෙමෙන් කෙමෙන් කොදෙව් ලකුණු පුවරුව ඉහළ නංවනු ලැබුවේ දෙදෙනා අතර ඉතා සාර්ථක සබඳතාවයක් ද ගොඩනගමිනි.

රිච්මන්ඩ් හා සාන්ත පීතර විදුහල් පළමු ඉනිම ජය ගනියි

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු…

ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 163ක අතිදැවැන්ත සබඳතාවයක් ගොඩනංවනු ලැබුවේ කොදෙව් කණ්ඩායමේ ජයග්‍රහණය පෙනෙන මානයටම රැගෙන යමිනි.

එහි දී ඉතා සංයමයෙන් ලකුණු රැස්කළ හෝප් කොදෙව්වන්ගේ බලාපොරොත්තු සඵල කළේ පන්දු 133ක දී නොදැවී ලකුණු 77ක් ලබා ගනිමිනි.

කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ චේස් ද ලකුණු 94ක් සිය ගිණුමට බැර කර ගැනීමට සමත් විය. පන්දු 115කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 15ක් අන්තර්ගත විය. 

කොදෙව් ලකුණු පුවරුව 188ක් දක්වා රැගෙන යාමට ඔවුන් දෙදෙනා සමත් වූ අතර ජයග්‍රහණයට ඔන්න මෙන්න තිබිය දී සිය ශතකය ද ආසන්නයේ සිටි චේස් ලකුණු 94කට දැවී ගියේ මුජීබුර් රහ්මාන්ගේ දෙවන ගොදුර බවට පත්වෙමිනි.

අවසානයේ දී කොදෙව්වන් සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගනු ලැබුවේ පන්දුවාර 46.3ක් තුළ දී ය. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව්වන්ට කඩුලු 7ක පහසු ජයක් හිමි විය.

පන්දු යැවීමේ දී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් හොඳම පන්දු යැවීම සටහන් කළ මුජීබුර් රහ්මාන් 33/2යි.

තරගයේ වීරයා – රොස්ටන් චේස්

ඇෆ්ගනිස්තානය – 194/10 (45.2): රහ්මත් ෂා 61(80),  ඉක්‍රම් අලිකිල් 58(62),  ජේසන් හෝල්ඩර් 21/2ල රොස්ටන් චේස් 31/2

බටහිර ඉන්දීය කොදෙව් – 197/3 (46.3): රොස්ටන් චේස් 94(115), ෂයි හෝප් 77(133), මුජීබුර් රහ්මාන් 33/2

මේ සමඟින් තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ලබාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. දෙරට අතර පැවැත්වෙන දෙවන ජාත්‍යන්තර එක්දින එළඹෙන සෙනසුරාදා (09) ලක්නව් හිදීම පැවැත්වීමට නියමිතව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<