අතිශය තියුණු තරඟයකින් අනතුරුව යුධ හමුදා ක්‍රීඩකයින් පරාජය කරමින් එක් ලකුණකින් තරගය ජයග්‍රහණය කිරීමට කොළඹ රග්බි පාපන්දු සංගමය සමත් විය.

පසුගිය ලිපි: මහනුවර ආධිපත්‍ය ඉදිරියේ CH කණ්ඩායමට නින්දාසහගත පරාජයක්

ආරම්භක සතියේ අවසන් තරඟය වූ මෙය ඊයේ (නොවැම්බර් 6) කොළඹ පැරණි තුරඟ තරඟ පිටියේ දී පැවැත්විණි. පිටියට උදෑසන සිට ලැබුණු වර්ෂාව හේතුවෙන් පිටිය මදක් තෙත බරිත ස්වභාවයෙන් යුක්ත වූ අතර ලිස්සන සුලු ස්වභාවයක් ද දක්නට ලැබිණි. තරඟය ආරම්භයේ පටන් අතිශය තියුණු මුහුණු වරක් ගත් අතර තරඟයේ අවසානය දක්වා යුධ හමුදාවේ දැවැන්ත අභියෝගය මෙල්ල කර ගැනීමට CR&FC කණ්ඩායමට හැකි විය.

තරඟයේ ආරම්භයේ පටන් කණ්ඩායම් දෙකම පා පහර මගින් පිටිය ආවරණය කරගැනීමේ උත්සාහයක නිරත වෙනු පෙනෙන්නට තිබිණි. මෙහිදී කොළඹ රග්බි පාපන්දු කණ්ඩායම වඩාත් සාර්ථක වූ බව කිව හැකිය. මන්ද ප්‍රබල Kicker ක්‍රීඩකයන් වන තරින්ද රත්වත්තේ, කවිඳු කොස්තා සහ රීසා මුබාරක් ඔවුන් සතු වීම නිසා ඔවුන්ගේ පන්දුව යොමු කිරීම තරමක් දුරට යුධ හමුදාවට වඩා ඉදිරියෙන් තිබූ බව දක්නට ලැබුනු හෙයිනි. Full Back ක්‍රීඩක රීසා මුබාරක් නාවික හමුදා සහ පොලිස් කණ්ඩායම් වල ක්‍රීඩා කිරීමෙන් අනතුරුව නැවතත් කොළඹ රග්බි පාපන්දු සංගමය හා එක්ව ඇති අතර මෙය මෙවර තරඟ සමයේ ඔහු කණ්ඩායමට ක්‍රීඩා කළ පළමු තරඟය ද වේ.

යුධ හමුදාවේ ඉදිරි පෙල ක්‍රීඩකයන් තරඟය තමන් යටතට ගනිමින් ආරම්භයේ සිට ආරක්ෂක ක්‍රීඩා රටාවක නිරත විය. ඔවුනගේ පසු පෙල ක්‍රීඩකයන් ද හොඳින්  පන්දුව හසුරවමින් ක්‍රීඩා කල නමුත් ඔවුන්ට ලකුණු ලබා ගැනීමේ අවස්ථාවක් CR&FC ක්‍රීඩකයන් ලබා දුන්නේ නැත.

තරගයේ ඡායාරූප ඇල්බමයට පිවිසෙන්න

තරඟයේ 15 වන මිනිත්තුවේ දී CR පිලේ සෂාන් මොහොමඩ් සහ තරින්ද රත්වත්තේ අගනා පන්දු හුවමාරුවක් සමගින් යුධ හමුදාවේ ආරක්ෂක වලල්ල බිඳ හෙලමින් ඉදිරියට ගිය අතර තරින්ද රත්වත්තේ විසින් තරඟයේ පළමු උත්සාහක් දිනුම තම කණ්ඩායම ඉදිරියෙන් සටහන් කරන්නට සමත් විය (07-00).

නැවත තරඟය ආරම්භ වීමෙන් පසුව යුධ හමුදා ක්‍රීඩකයින් මනා සැලසුමක් ඇතිව ක්‍රීඩා කරනු දක්නට ලැබිණි. යුධ හමුදා Center ක්‍රීඩක කසුන් මදුරංග ඉතාමත් අගනා ධාවනයක යෙදෙමින් ආරක්ෂක වලල්ල බිඳ හෙලමින් ඉදිරියට ගියද උත්සාහක දිනුමක් පෙනෙන මානයේ එම උත්සාහය ව්‍යර්ත වී ගියේ ඔහුගේ සහයට අනෙකුත් ක්‍රීඩකයින් නොපැමිණීම හේතුවෙනි. නමුත් යුධ හමුදා ක්‍රීඩකයින් ක්‍රම ක්‍රමයෙන් තරඟයේ පීඩනය CR&FC පිල වෙත එල්ල කරමින් ක්‍රීඩා කල අතර ඒ අවසරයෙන් ලද දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට යුධ හමුදාවේ Full Back ක්‍රීඩක ශානක කුමාර සමත් විය (07-03).

ප්‍රථම අර්ධය: CR&FC ක්‍රීඩා සමාජය 07-03 යුද හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භ වී සුලු මොහොතකට පසු යුධ හමුදා ක්‍රීඩකයන් තම ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කරනු දක්නට ලැබිණි. ඒ CR&FC ක්‍රීඩක කවිඳු ද කොස්තා සහ රන්දිත් වර්ණපුර ඉහලින් පැමිනෙන පන්දුවක් සම්බන්ධයෙන් ඇතිවූ සන්නිවේදන ගැටලුවක් හේතුවෙනි. ඒ අවසරයෙන් යුධ හමුදා Fly Half ක්‍රීඩක අෂාන් බණ්ඩාර විසින් පන්දුව ලබාගෙන Center ක්‍රීඩක ඉරංග ආරියපාල වෙත ලබා දුන්නේය, ඉරංග ආරියපාල පහසුවෙන් තම කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ශානක කුමාර සාර්ථක ප්‍රවර්තනයක් මගින් පරතරය තවත් වැඩි කලේ ය (07-10).

යුධ හමුදාවේ එම උත්සාහක දිනුම, CR&FC කණ්ඩායම වඩ-වඩාත් ක්‍රමාණුකූල හා වගකීම් සහගත ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරනු දක්නට ලැබිණි. ඔවුන්ගේ ඉදිරි පෙල ක්‍රීඩකයන් ද, පසු පෙල ක්‍රීඩකයන් ද පන්දුව මනා ලෙස ඔවුන් සන්තකයේම තබා ගැනීමට සමත් විය. විශේෂයෙන් නායක ශේන් සමන්දප්පෙරුම සමඟ එක් වූ සුපුන් වර්ණකුලසූරිය ඉතාමත් විශිෂ්ට ලෙස තම කණ්ඩායම උත්සාහක දිනුම් රේඛාව වෙත ගෙන යන ආකාරයක් පෙනිණි. එම උත්සාහයේ අවසන් ප්‍රතිඵලය ලෙස රෙහාන් සිල්වා පිටියේ වම් පසින් උත්සාහක දිනුමක් වාර්තා කලේය. අපහසු ප්‍රවර්තනයක් වූ එය රීසා මුබාරක් අතින් ගිලිහී ගිය නමුත් ඔහු එම පාඩුව පියවා ගැනීමට ඉන් සුළු මොහොතකට පසු දඬුවම් පහරක් මගින් තවත් ලකුණු 3ක් එක් කර ගැනීමට සමත් විය (15-10).

CR&FC කණ්ඩායම තරමක් දුරට Line out අවස්ථා තුලදී අසාර්ථක වනු දක්නට ලැබිණි.  නමුත් යුධ හමුදාව එහිදී සාර්ථක වනු දක්නට ලැබිණි. කෙසේ වෙතත් සුපුන් වර්ණකුලසූරිය යොමු කරන ලද පන්දුවක් රැකගත් ශේන් සමන්දප්පෙරුම යුධ හමුදා ආරක්ෂක වලල්ල බිඳ හෙලමින් මීටර් 20 ට ආසන්න ප්‍රමාණයක් පන්දුව රැගෙන ගිය අතර ඔහු ඉන් පසු පන්දුව ඩිලංක පෙරේරාට ලබා දුන්නේය. ඩිලංක පෙරේරා ද පන්දුව තවදුරටත් තබාගෙන සිටි අතර කවිඳු ද කොස්තා අගනා යොමු කිරීමක් තරින්ද රත්වත්තේට ලබා දුන්නේය. නමුත් ඔහු ව මනා ලෙස පාලනය කල යුධ හමුදාවේ අශාන් බණ්ඩාර පන්දුව ලබාගෙන විශිෂ්ට ධාවනයක යෙදෙමින් අනපෙක්ෂිත CR&FC ආරක්ෂක වලල්ල බිඳ හෙලමින් තම කණ්ඩායම වෙනුවෙන් දෙවන උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් විය. ශානක කුමාරගේ ප්‍රවර්තනය සාර්ථක වූයෙන් ලකුණු 2ක ඉදිරියක් ලබා ගැනීමට යුධ හමුදාවට හැකි විය (15-17).

යුධ හමුදා කණ්ඩායමේ පසු පෙල ක්‍රීඩකයන් තිදෙනා වන ඉරංග ආරියපාල, සුදාරක දික්කුඹුර හා ශානක කුමාර විසින් මනා ලෙස පන්දුව හසුරවමින් අගනා ක්‍රීඩා විලාසයක නිරත වූ අතර ඔවුන් CR ආරක්ෂක වලල්ල මනා ලෙස බිඳ දමමින් යුධ හමුදා කණ්ඩායම ඉදිරියට ගෙන ඒමට උත්සහ කල නමුත් එම උත්සහය අසාර්ථක වන්නේ දනුෂ්ක තල්වත්තගේ අසාර්ථක පන්දු හැසිරවීම හේතුවෙනි.

ඔහු එම පන්දුව සාර්ථක ලෙස හසුරුවා ගත්තේ නම් එය යුධ හමුදාවට නියත උත්සාහක දිනුමක් වනු ඇති. ඔහුගේ අවාසනාවට මෙන් එම අවස්ථාවෙන් සුළු මොහොතකට පසු නැවතත් එවැනිම ආකාරයේ දුර්වල පන්දු හැසිරවීමක් හේතුවෙන් යලිත් යුධ හමුදාවට උත්සාහක දිනුමක් අහිමි විය. රීසා මුබාරක්ගේ CR&FC කණ්ඩායමේ ආගමනය ඔවුනට මහත් ශක්තියක් වූ බව නොඅනුමානය. මන්ද ඔහු ආරක්ෂක වලල්ලේ අවසාන ක්‍රීඩකයා ලෙස සිටිමින්  විශාල වශයෙන් පන්දුව ගුවනට යොමුකරමින් ඉදිරි පෙල ක්‍රීඩකයන්ට මහත් අස්වැසිල්ලක් ගෙන දීම හේතුවෙනි. එමෙන්ම ඔහු නැවතත් ක්‍රියාත්මක වී දඬුවම් පහරක් මගින් CR කණ්ඩායම ඉදිරියට ගෙන ඒමට සමත් විය (18-17).

යුධ හමුදා ක්‍රීඩක ඉරංග ආරියපාල ඉතාමත් විශිෂ්ට ක්‍රීඩා රටාවක නිරත වන බව පෙනෙන්නට තිබිනි. ඔහු සතුව පන්දුව තිබෙන සෑම අවස්ථාවක්ම CR ක්‍රීඩකයන්ට මහත් හිසරදයක් බඳු විය. යුධ හමුදා Half Back ක්‍රීඩක මොහොමඩ් රිස්විගේ Box පාපහර මගින් ලබා ගත් පන්දුව හොඳින් හසුරවා ගත් ආරියපාල, CR ක්‍රීඩකයන් අතරින් ඉදිරියට යනු පෙනෙන්නට තිබිනි. නමුත් යුධ හමුදා ක්‍රීඩකයන්ට සාර්ථක වීමට CR ක්‍රීඩකයන් ඉඩ ලබා දුන්නේ නැත. එමෙන්ම ආරියපාල විසින් ලබා ගත් අවස්ථා ව්‍යර්ත වී ගියේ යුධ හමුදා ක්‍රීඩකයන් අතින් සිදුවූ වැරදි හේතුවෙන් දඬුවම් පහර රැසක් CR පිලට හිමි වීමත් සමඟය. තරඟයේ අවසන් මිනිත්තු 10 දී නැවත වරක් ක්‍රියාත්මක වූ CR&FC කණ්ඩායම Rolling Maul අවස්ථාවක් මගින් ඩිලංක පෙරේරා උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. රීසා මුබාරක් මෙවර ද සාර්ථක වෙමින් තවත් ලකුණු දෙකක් තම කණ්ඩායමට ලබා දුන්නේය (25-17).

යුධ හමුදා කණ්ඩායම ද මෙවර තරඟ සමය ජයග්‍රහණයක් සමඟ ආරම්භ කිරීමට අධිෂ්ඨානයක් ඇතිව තරඟයට පිවිසි හෙයින් ඔවුන් ද අවසන් මොහොතේ හෝ තවත් ලකුණු කිහිපයක් ලබා ගෙන තරඟය ජය ගැනීමට උත්සාහ කලහ. යුද හමුදා Half back ක්‍රීඩක රිස්වි විසින් තම කණ්ඩායම ක්‍රීඩා පිටියේ අනෙක් අන්තය වෙත යොමු කරන සේයාවක් දිස්විනි. ඔහු ගෙන ආ පන්දුව යුධ හමුදා නායක මනෝජ් ද සිල්වාට ලබා දුන් අතර මනෝජ් ද සිල්වා ඉතාමත් ජව සම්පන්න ධාවනයක යෙදෙනු දක්නට ලැබිනි. එම ජවසම්පන්න ධාවනය කෙලවර වූයේ යුධ හමුදාවේ තුන් වැනි උත්සාහක දිනුමද වාර්තා කරමිනි. මෙම සිදුවීම CR ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් මදකට නතර කරන්නට සමත් වූවා යැයි කිව හැක. මෙවර ද සාර්ථක වූ ශානක කුමාර තම කණ්ඩායම ලකුණක පරතරයක් දක්වා ගෙන ඒමට සමත් විය. නැවතත් ක්‍රියාත්මක වූ යුධ හමුදා ක්‍රීඩකයන් 80 වැනි මිනිත්තුවේදී ධවල රේඛාව අසලටම පැමිණියද, දුර්වල පන්දු හැසිරවීම හේතුවෙන් ඔවුනට තරඟය අහිමි විය. විනිසුරු වරයා අවසන් නලා හඬ ශබ්ද කිරීමත් සමග කණ්ඩායම එක් ලකුණක තියුණු ජයක් සමඟ CR&FC කණ්ඩායම පලමුවැනි සතිය නිමා කරනු දක්නට ලැබිණි.

අවසන් ලකුණු තත්ත්වය: CR&FC ක්‍රීඩා සමාජය 25-24 යුද හමුදා ක්‍රීඩා සමාජය

CR&FC ක්‍රීඩා සමාජය

  • උත්සාහක දිනුම් 3
  • රෙහාන් සිල්වා 1 තරින්ද රත්වත්තේ 1 ඩිලංක පෙරේරා 1
  • රීසා මුබාරක් – ප්‍රවර්තන 2 දඬුවම් පහර 2

යුද හමුදා ක්‍රීඩා සමාජය

  • උත්සාහක දිනුම් 3
  • ඉරංග ආරියපාල 1 අශාන් බණ්ඩාර 1 මනෝජ් ද සිල්වා 1
  • ශානක පෙරේරා – ප්‍රවර්තන 3 දඬුවම් පහර  1

ThePapare.com තරඟයේ වීරයා – කවිඳු ද කොස්තා (CR&FC)

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට

තරගයේ වීඩියෝව