කාසියේ වාසිය 3-0ක් කර ගත් ශ්‍රී ලංකාවට 3-0ක පරාජයක්

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

203
Getty images

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (26) Southampton හිදී නිමා වුනා. 

එම තරගයෙන් ලකුණු 89ක දැවැන්ත ජයක් හිමිකරගත් එංගලන්තය 3-0ක් ලෙස මේ විස්සයි විස්ස තරගාවලිය පහසුවෙන්ම ජය ගැනීමට සමත් වුනේ ශ්‍රී ලංකා කණ්ඩායම ගැටලු ගොඩකට ඇද දමමිනි.

මේ තරගාවලි ජයත් සමඟම එංගලන්තය විස්සයි විස්ස කණ්ඩායමක් ලෙස තරගාවලි 5ක් 3-0ක් ලෙස ජය ගෙන තිබෙන නමුත් සිය මව් රටේ දී 3-0ක් ලෙස විස්සයි විස්ස තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාව මෙය වුනා.

විස්සයි විස්ස තරගාවලියේ කාසියේ වාසිය තුන්වැනි වරටත් ජයග්‍රහණය කළ කුසල් පෙරේරා පළමු තරග දෙකේ දී පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් මේ තරගයේ දී පළමුව පන්දු යැවීමට තීරණය කළා. 

අකිල දනංජය සහ ආබාධයකට ලක්ව සිටින අවිශ්ක ප්‍රනාන්දු වෙනුවට ලක්ෂාන් සඳකැන් සහ ඕෂද ප්‍රනාන්දු මේ තරගයට කැඳවා තිබුණු අතර එංගලන්ත කණ්ඩායම ද වෙනස්කම් දෙකක් සිදු කරමින් මේ තරගයට අවතීර්ණ වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ කාලය මැනීම සහ දෝලනය වන වේගවත් පන්දු සඳහා පහර දීම ඉතාමත් දුර්වල මට්ටමක පැවති අතර දනුෂ්ක ගුණතිලක එල්ල කළ 4 පහර, කුසල් මෙන්ඩිස් එල්ල කළ 6 පහර සහ බිනුර ප්‍රනාන්දු එල්ල කළ 6 පහර හැරෙන්නට අනෙක් එකඳු පහරක්වත් කිසිදු විශ්වාසයකින් තොරව සහ කල් යල් මැනීම ඉතාමත් අසාර්ථක වුනු පහරවල් වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

සිය පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයේ දී පාකිස්තානයට එරෙහිව නොදැවී ලකුණු 78*ක් ලබා ගත් ඕෂද ප්‍රනාන්දු මාස 18ක පමණ දිගු විරාමයකට පසුව නැවත ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කළ අතර එහි දී ඔහු පන්දු 27කට මුහුණ දෙමින් ලකුණු 19ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වුනා.

ශ්‍රී ලංකා පිතිකරුවන් හට මනා ආදර්ශයක් ලබා දුන් වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු පන්දු 14ක් තුල එක් 6 පහරක් සහ 4 පහරක් ලබා ගනිමින් ලකුණු 20ක් ලබාගෙන ශ්‍රී ලංකා ලකුණු සටහනේ වැඩිම ලකුණු ලාභියා වුනා. 

එසේම එංගලන්ත වේගපන්දු යවන්නන් නව පන්දුව සහ පරණ පන්දුව කියා භේදයකින් තොරව ඉතාමත් දක්ෂ ලෙස පන්දුව දෝලනය කළා. ක්‍රීඩාංගණය හරහා හමා ගිය සුළඟ ද නිසා එම දෝලනය තව තවත් වැඩි වුනු අතර ශ්‍රී ලංකා පිතිකරුවන්ට නිසියාකාරව පිත්තේ මුහුණත යොමා වැරෙන් පහරක් එල්ල කිරීමට ලැබුණු අවස්ථා ඉතාමත් විරල වුනා.

අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය ලබා ගත් ලකුණු 180ට පිළිතුරු ලෙස ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 91ක් පමණයි. පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් David Willey කඩුලු 3ක් දවා ගනිමින් වැඩි දස්කම් අතරට පැමිණියා.

එංගලන්තය වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දීමට Jonny Bairstow (ලකුණු 51) සහ ලොව දැනට අංක 1 විස්සයි විස්ස පිතිකරු වන Dawid Malan (ලකුණු 76) සමත් වුනේ පළමු කඩුල්ල සඳහා පන්දු 70ක දී ලකුණු 105ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමිනි. ඔවුන් දෙදෙනා පිළිවෙළින් සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ 7 වැනි සහ 10 වැනි අර්ධ ශතක වාර්තා කරගනිමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කළා.

පළමු කඩුල්ලේ සබඳතාවය බිඳ වැටීමෙන් පසුව නම් පළමු පන්දුවාර 12ට සාපේක්ෂව තරගයේ වැඩි පාලනය තමන් සතු කරගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාව ලැබුණු අතර අවසන් පන්දු 50 තුල ලකුණු 75කට එංගලන්ත කඩුලු 5ක් බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා. 

එහි දී සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීමේ දස්කම සටහන් කර ගත් දුෂ්මන්ත චමීර ලකුණු 17කට කඩුලු 4ක් දවා ගනිමින් සිය නියමිත පන්දුවාර 4 අවසන් කළා. එහි දී Dawid Malan, Sam Billings, නායක Eoin Morganගේ සහ Moeen Ali යන ප්‍රබල කඩුලු 4 දවා ගැනීමට චමීර හට හැකියාව ලැබුණා.

එසේම මේ තරගාවලිය තුල දී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ සමස්ත ප්‍රහාරාත්මක වේගය (strike rate) 85.02ක වැනි ඉතාමත් අවම මට්ටමක පැවතුණු අතර, එය ICC පූර්ණ සාමාජිකත්වය හිමි කණ්ඩායමක් විස්සයි විස්ස තරගාවලියක දී දැනට දක්වා තිබෙන දුර්වලතම ප්‍රහාරාත්මක වේගය ද වෙනවා.

  • තරගයේ වීරයා – Dawid Malan  (එංගලන්තය)
  • තරගාවලියේ වීරයා – Sam Curran (එංගලන්තය)

එංගලන්තය – 180/6 (20): Dawid Malan 76, Jonny Bairstow 51, දුෂ්මන්ත චමීර 4/17.

ශ්‍රී ලංකාව – 91 (18.5): බිනුර ප්‍රනාන්දු 20, ඕෂද ප්‍රනාන්දු 19, David Willey 3/27, Sam Curran 2/14

දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ICC එක්දින සුපර් ලීගයේ එක්දින ක්‍රිකට් තරගාවලිය මේ මස 29 වැනිදා Chester-le-Street හිදී ආරම්භ වන අතර එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එහි තොරතුරු ද ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<