ශ්‍රී ලංකා ක්‍රිකට්වලට නව නායකත්වයක්

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

1479

29 හැවිරිදි ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක එළඹෙන ඉන්දීය තරගාවලියේ දී ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම මෙහෙයවීමට සූදානමින් සිටින බව ThePapare.com වෙත වාර්තා වෙනවා. 

ඒ අනුව කුසල් ජනිත් පෙරේරා වෙත ලබා දී තිබූ  ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායකත්වයේ වගකීම් ඔහුගෙන් ඉවත් කරනු ඇත.

2019 වසරේ පැවති ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ දී පැවති විස්සයි විස්ස තරග තුනම ජයග්‍රහණය කරමින් එවකට විස්සයි විස්ස ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයේ පසුවුණු පාකිස්තානය පරාජයට පත් කිරීමට ශානක ඇතුළු තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

කෙසේ නමුත් ඉන්පසුව පැවති කොදෙව් තරගාවලියේ දී ශානක හට වීසා ගැටලුවක් මතු වීම නිසාවෙන් ඔහුට කොදෙව්වන් සමඟ පැවති විස්සයි විස්ස තරගාවලියේ නායකත්වය මඟ හැරී ගිය අතර එහි දී ශ්‍රී ලංකාව මෙහෙයවනු ලැබුවේ ඇන්ජලෝ මැතිව්ස් විසිනි.

තවත් ක්‍රිකට් පුවත්

ඒ අනුව එළඹෙන 13 වැනිදායින් ආරම්භ වන ඉන්දියාවට එරෙහි එක්දින සහ විස්සයි විස්ස තරග තුනකින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ දී දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වන විට, එහි උපනායකත්වය දක්ෂ මැදපෙළ පිතිකරු සහ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා වෙත ලබා දීමට නියමිතයි.

අවසන් වරට බංග්ලාදේශ සහ එංගලන්තය සමඟ ශ්‍රී ලංකාවෙන් එපිට පැවති තරගාවලි දෙකක දී තරග 9ක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වනු ලැබුවේ කුසල් පෙරේරා විසිනි. නමුත් එම තරග 9න් තරග 7ක්ම අවසන් වුනේ ශ්‍රී ලංකාවට පරාජය උරුමකර දෙමිනි. 

තවද කුසල් ජනිත් පෙරේරාගේ පිතිකරණය සහ කඩුලු රැකීම සඳහා නායකත්වය යම් පීඩනයක් වන බවක් තේරීම් කමිටුවට පෙනී තිබීම ද දසුන් ශානක හට නායකත්වයේ වගකීම් ලබා දීම සඳහා හේතුව තිබෙන තවත් සාධකයක් වෙනවා.

මේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයක් තෝරාගෙන සිටියි. මේ අතරට අන්තර්ගත වූ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඉන් ඉවත් වීමට කටයුතු කර තිබෙන්නේ පුද්ගලික හේතුවක් නිසාවෙනි. ඔහු ඒ බව දන්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ඉන්දීය සංචාරය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම අද (8) නම් කිරීමට නියමිත අතර ඔවුන් (එංගලන්තයේ සිට පැමිණි පිරිස) සිය නිරෝධායනය අවසන් කර මේ මස 10 වැනිදා සිය පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතව සිටිනවා.

ශ්‍රී ලංකා – ඉන්දීය තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – ජූලි 13
  • දෙවැනි එක්දින තරගය – ජූලි 16
  • තුන්වැනි එක්දින තරගය – ජූලි 18
  • පළමු විස්සයි විස්ස තරගය – ජූලි 21
  • දෙවැනි විස්සයි විස්ස තරගය – ජූලි 23
  • තුන්වැනි විස්සයි විස්ස තරගය – ජූලි 25

තරග සියල්ලම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර එක්දින තරග තුන දිවා/රාත්‍රි තරග ලෙසත් (පස්වරු 2.30 සිට), විස්සයි විස්ස තරග රාත්‍රි තරග (පස්වරු 7 සිට) ලෙසත් පැවැත්වෙනවා.

තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<