Home Sinhala Seifertගේ ප්‍රහාරය නිසා තෙවැනි තරගයත් කිවියන්ට සින්න වෙයි

Seifertගේ ප්‍රහාරය නිසා තෙවැනි තරගයත් කිවියන්ට සින්න වෙයි

203

අවසන් පන්දුවාරය දක්වාම ඇදී ගිය උණුසුම් තෙවැනි විස්සයි විස්ස තරගය කඩුලු 4කින් ජය ගත් නවසීලන්තය අද (08) ශ්‍රී ලංකාවට එරෙහිව පැවති විස්සයි විස්ස තරගාවලියේත් ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් වුනා. ඒ Tim Seifertගේ ප්‍රවේගකාරී ඉනිමේ උපකාරයෙනුයි.

මනස්කාන්ත කඳු පන්තියකින් වටවී ඇතිවා සේම නිරන්තයෙන්ම ගුවන් යානා පිටිය අසලින්ම පියාසර කරන Queenstown ක්‍රීඩා පිටිය ඕනෑම ප්‍රේක්ෂකයෙකු තරග නැරඹීමට මහත් සේ ප්‍රිය කරන ක්‍රීඩාංගණයක් ලෙස සැලකිය හැකි. එහි දී කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායකයා ශ්‍රී ලංකාවට මුලින් පිතිකරණයේ යෙදීමේ අවස්ථාව ලබා දුන්නා.

කණ්ඩායම් දෙකම තීරණාත්මක තුන්වැනි විස්සයි විස්ස තරගය වෙනුවෙන් තම වේගපන්දු යවන්නන්ගේ එක් වෙනස්කමක් සිදුකර තිබුණා. ඒ අනුව නවසීලන්තය Henry Shipley වෙනුවට Matt Henry කණ්ඩායමට කැඳවද්දී, ශ්‍රී ලංකාව ඩිල්ශාන් මධුශංක වෙනුවට ලහිරු කුමාරව අද තරගයට කැඳවා තිබුණා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්:

නවසීලන්තය: Tom Latham (නායක), Chad Bowes, Tim Seifert, Mark Chapman, Daryl Mitchel, James Neesham, Rachin Ravindra, Matt Henry, Adam Milne, Ish Sodhi, Ben Lister.

ශ්‍රී ලංකාව: දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද් මදුශාන්, කසුන් රාජිත, ලහිරු කුමාර.

අද ශ්‍රී ලංකා ඉනිම ඇරඹුණේ ලකුණු 76ක සුපිරි සබඳතාවයක් සමඟිනුයි. එහි දී කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කළ ඉනිම මනරම් හතරේ පහර 6කින් සහ දැවැන්ත හයේ පහර 4කින් සමන්විත පරිපූර්ණ ඉනිමක් වුනා. පන්දු 48ක් පමණක් වැය කරමින් මෙන්ඩිස් ලකුණු 73ක් රැස් කළේ නවසීලන්ත පන්දු යවන්නන්ට හතර අතට පහර දෙමින්.

අනෙක් අන්තයේ සිටි පැතුම් නිස්සංක පන්දු 25කින් රැස් කළේ ලකුණු 25ක් පමණක් වුව ද, ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර කරන්නට එය හේතු වුනා. අවසානයේ තම ලකුණු වේගය වැඩි කරන්නට උත්සාහ කළ පැතුම් එල්ල කළ වේගවත් පහරක් ඉදිරියට පැන දක්ෂ අයුරින් රැක ගැනීමට James Neesham සමත් වුනා. ශ්‍රී ලංකාවට තම පළමු කඩුල්ල අහිමි වන්නේ එලෙසයි.

අදත් කුසල් පෙරේරා ඉතාමත් හොඳ ඉනිමක් ක්‍රීඩා කරමින් තම රිද්මය එලෙසින්ම පවත්වා ගැනීමට සමත් වුනා. පන්දු 21කට පමණක් මුහුණ දී ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 33ක්. තවදුරටත් නවසීලන්ත පන්දු යවන්නන්ට තලා පෙලන්නට පෙර Adam Milne ඩීප් මිඩ්-විකට් හි සිට හරියටම පන්දුව කඩුල්ලට එල්ල කරමින් කුසල් පෙරේරාව දවා ගත්තා.

ධනංජය ද සිල්වා ලකුණු 20ක් රැස් කිරීමට වැය කළේ පන්දු 9ක් පමණයි. දසුන් පන්දු 8කින් ලකුණු 15ක් රැස් කළා. මේ සියල්ල මැද ශ්‍රී ලංකාව පන්දුවාර 19ක් අවසන් වනවිට ලකුණු 179ක් ලබා සිටි අතර ඔවුන් අවසන් පන්දුවාරයට හොඳින් මුහුණ දී ලකුණු 200 සීමාවට ආසන්න වනු ඇතැයි ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වුනා.

නමුත් Matt Henry ක්‍රියාත්මක කළ එම පන්දුවාරයට චරිත් අසලංක ඇතුළු පිතිකරුවන් ලබා ගත්තේ ලකුණු 3ක් පමණයි. මේ නිසා ශ්‍රී ලංකාවට නොසිතූ අයුරින් ලකුණු 182කින් සෑහීමකට පත් වන්නට සිදු වුනා. පන්දු යැවීමේ Ben Lister කඩුලු 2ක් දවා ගත්තේ ලකුණු 37කටයි. මීට අමතරව Adam Milne සහ Ish Sodhi එක් කඩුල්ල බැගින් බිඳ හෙළුවා.

ලකුණු 183ක ඉලක්කයක් හඹා යාමට නම් තිබිය යුතුම ආරම්භක කඩුල්ලේ සබඳතාවය Chad Bowes සහ Tim Seifert නවසීලන්ත කණ්ඩායමට ලබා දුන්නා. ඒ පළමු කඩුල්ලට ලකුණු 53ක් එකතු කරමින්. කෙසේ වෙතත් Bowesව පළමු පන්දුවාරයේ දී ම දවා ගැනීමට ලැබුණු පහසු උඩපන්දුවක් ප්‍රමෝද් මදුශාන් බිම අත හැරියේ ශ්‍රී ලංකා බලාපොරොත්තු බොඳ කරමින්.

පසුව ක්‍රමයෙන් තම ලකුණු වේගය වැඩි කළ නවසීලන්තයේ දෙවැනි කඩුල්ල දැවී යද්දී ඔවුන් පන්දුවාර 14.1ක් තුල ලකුණු 137ක් ලබාගෙන සිටියා. ඒ පහසු ජයක් සඳහා අවශ්‍ය ශක්තිමත් අඩිතාලමක් සකස් කරමින්. එක් අන්තයක සිට විශිෂ්ට අන්දමින් පන්දුවට පහර දෙන Tim Seifertට සහය දුන් Latham පන්දු 23කින් ලකුණු 31ක් රැස් කළා.

තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වූ Seifert අද දැවී ගියේ පන්දු 48කින් ලකුණු 88ක් රැස් කිරීමෙන් අනතුරුවයි. 18 වැනි පන්දුවාරයේ මුල්ම පන්දුවට ඔහු දැවී යාමෙන් පසු ප්‍රමෝද් මදුශාන් සහ කසුන් රාජිත යැවූ එම පන්දුවාර 3ටම ලබා දුන්නේ එක් හතරේ පහරක් පමණයි. මේ නිසා අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය වෙනුවෙන් සත්කාරකයින්ට ලකුණු 10ක් අවශ්‍ය වුනා.

නායක දසුන් ශානක අද කිසිදු පන්දුවාරයක් ක්‍රියාත්මක නොකළ අතර ධනංජය ද සිල්වා හෝ අද පන්දු යැවීමේ යෙදුණේ නැහැ. මේ අනුව නිත්‍ය පන්දු යවන්නන් පස් දෙනෙක් පමණක් භාවිතා කරමින් සිටි ශ්‍රී ලංකාව ඉතිරිව ඇති පන්දුවාරය ලහිරු කුමාරට ලබා දුන්නා. ඔහු යැවූ මුල්ම පන්දුවම මිඩ්-විකට් ඔස්සේ හයේ සීමාව කරා යැවීමට Mark Chapman සමත් වුනා.

එතැන් පටන් උඩපන්දු දෙකක් සහ දුවද්දී දවා ගැනීමක් මගින් නවසීලන්ත කඩුලු 3ක් පිට පිටම බිඳ හෙළීමට ශ්‍රී ලංකාව සමත් වුනත් මුල් පන්දුව වරද්දා ගැනීමේ පව ගෙවා ගැනීමට ඔවුන්ට හැකිවුනේ නැහැ. Rachin Ravindra පස්වෙනි පන්දුවට ලකුණු 2ක් ලබා ගැනීමත් සමඟ අද තරගය අවසන් වුනේ නවසීලන්තයට කඩුලු 4ක ජයක් හිමිකර දෙමින්.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර ලකුණු 38කට කඩුලු 3ක් බිඳ හෙළුවා. අද දිනයේ ප්‍රහාරයට ලක් නොවූ එකම පන්දු යවන්නා ලෙස සැලකිය හැක්කේ ලකුණු 22කට එක් කඩුල්ලක් බිඳ හෙළු මහීෂ් තීක්ෂණ පමණයි. සංචාරය පුරාවටම ශ්‍රී ලංකා වේපන්දු යවන්නන් සතුටුදායක දස්කම් නොදැක්වූ වටපිටාවක මතීෂ පතිරණ වැනි ක්‍රීඩකයෙකු සංචාරයම බංකුව රත් කිරීමෙන් පසු IPL සඳහා පිටත්ව යාම කණගාටුවට කරුණක්.

Result


New Zealand
183/6 (19.5)

Sri Lanka
182/6 (20)

Batsmen R B 4s 6s SR
Kusal Mendis c James Neesham b Ish Sodhi 25 25 4 0 100.00
Pathum Nissanka c Ish Sodhi b Benjamin Lister 73 48 6 5 152.08
Kusal Perera run out (Adam Milne) 33 21 2 2 157.14
Dhananjaya de Silva c Tim Seifert b Benjamin Lister 20 9 1 2 222.22
Dasun Shanaka c Chad Bowes b Adam Milne 15 8 2 0 187.50
Charith Asalanka run out (Mark Chapman) 3 6 0 0 50.00
Wanindu Hasaranga not out 0 1 0 0 0.00
Mahesh Theekshana not out 0 2 0 0 0.00


Extras 13 (b 2 , lb 1 , nb 0, w 10, pen 0)
Total 182/6 (20 Overs, RR: 9.1)
Bowling O M R W Econ
Matt Henry 4 0 33 0 8.25
Adam Milne 4 1 30 1 7.50
Benjamin Lister 4 0 37 2 9.25
Ish Sodhi 4 0 30 1 7.50
James Neesham 2 0 22 0 11.00
Rachin Ravindra 2 0 27 0 13.50


Batsmen R B 4s 6s SR
Chad Bowes c Kusal Mendis b Lahiru Kumara 17 18 2 0 94.44
Tim Seifert c & b Pramod Madushan 88 48 10 3 183.33
Tom Latham b Mahesh Theekshana 31 23 1 1 134.78
Daryl Mitchell c Dasun Shanaka b Lahiru Kumara 15 16 0 0 93.75
Mark Chapman c Charith Asalanka b Lahiru Kumara 16 12 1 1 133.33
James Neesham run out (Kusal Mendis) 0 0 0 0 0.00
Rachin Ravindra not out 2 1 0 0 200.00
Adam Milne not out 0 1 0 0 0.00


Extras 14 (b 1 , lb 9 , nb 0, w 4, pen 0)
Total 183/6 (19.5 Overs, RR: 9.23)
Bowling O M R W Econ
Kasun Rajitha 4 0 34 0 8.50
Mahesh Theekshana 4 0 22 1 5.50
Pramod Madushan 4 0 38 1 9.50
Lahiru Kumara 3.5 0 38 3 10.86
Wanindu Hasaranga 4 0 41 0 10.25



අද තරගයේ වීරයා ලෙසින් මෙන්ම තරගාවලියේ වීරයා ලෙසත් සම්මාන හිමිවුනේ ආරම්භ පිතිකරු Tim Seifertටයි. ඔහු තරග 3ක දී ලකුණු 167ක් ලබා ගැනීමට සමත් වුනා. ඒ අනුව 2-0ක් ලෙස ටෙස්ට් සහ එක්දින තරගාවලිවල ජයත්, 2-1ක් ලෙස විස්සයි විස්ස තරගාවලියේත් ජයත් නවසීලන්තයට හිමිකර දෙමින් ශ්‍රී ලංකාවේ නවසීලන්ත තරග සංචාරය අවසන් වනවා.

ශ්‍රී ලංකාවට මීලඟට ඇති අභියෝගය වන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග ද්විත්වයයි. එහි අලුත්ම තරග තොරතුරු සහ දේශීය, විදේශීය ක්‍රිකට් පිටියේ පුවත් එසැණින් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<