තියුණු සටනකින් පසු සුපිරි පන්දුවාරයේ දී ජය ශ්‍රී ලංකාවට

611

බිඳ වැටීම් රැසක් මැද ඉදිරියට යන නවසීලන්ත සංචාරයේ පළමු ජයග්‍රහණය සොයා ගැනීමට අද (02) ශ්‍රී ලංකාවට හැකි වුනා. ඒ සුපිරි පන්දුවාරය දක්වා ඇදී ගිය තියුණු තරගයකින් පසු දෙරට අතර පැවැත්වුනු පළමු විස්සයි විස්ස තරගය ජය ගනිමිනුයි.

අද තරගයේ කාසියේ වාසිය ජය ගැනීමට Tom Latham සමත් වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම සංචාරයේ දී පෙන්වූ පිතිකරණ වැරදිවලින් ප්‍රයෝජන ගැනීමට සිතූ ඔහු මුලින් පන්දු යැවීම තෝරා ගත්තා. ඒ තම ප්‍රතිවාදීන් පහසුවෙන්ම අඩු ලකුණකට දවා ගැනීමේ බලාපොරොත්තු ඇතිවයි.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්:

නවසීලන්තය: Tom Latham (නායක), Chad Bowes, Tim Seifert, Mark Chapman, Daryl Mitchel, James Neesham, Rachin Ravindra, Henry Shipley, Adam Milne, Ish Sodhi, Ben Lister.

ශ්‍රී ලංකාව: දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ඩිල්ශාන් මධුශංක, ප්‍රමෝද් මදුශාන්.

Lathamගේ සිහින මල්ඵල ගන්වමින් ඉනිමේ පළමු පන්දුවෙන්ම පැතුම් නිශ්ශංකගේ තීරණාත්මක කඩුල්ල බිඳ හෙලීමට Adam Milne සමත් වුනා. මෙය විනිසුරු දැවී යාමක් ලෙස නම් නොකළ ද, තෙවැනි විනිසුරුගේ පුනරූපන මගින් පැහැදිලි වුනේ පන්දුව පැතුම්ගේ පිත්තේ හොඳින් දැවටෙන බවයි.

නමුත් එම කඩුල්ලෙන් පසුබට නොවූ ශ්‍රී ලංකා පිතිකරුවන් වෙනදාට නොදකින ආකාරයේ ආක්‍රමණශීලී ප්‍රහාරයක් අද නවසීලන්ත පන්දු යවන්නන්ට එල්ල කළා. ආබාධ රොත්තකින් දීර්ඝ කාලයක් පීඩා විඳි කුසල් ජනිත් පෙරේරා නැවත ජාත්‍යන්තර පිටියට පය තැබූ විගස සාර්ථක වීම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ නෙතට රසඳුනක් වුනා.

කුසල් පෙරේරා සමඟ එක්වුනු කුසල් මෙන්ඩිස් අද දෙවැනි කඩුල්ලට වේගවත් ලකුණු 47ක් එකතු කළේ පන්දුවාර 3.2ක් පමණක් වැය කරමින්. පහසුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් මෙල්ල කිරීමේ බලාපොරොත්තුවෙන් සිටි නවසීලන්තය මෙම අනපේක්ෂිත ප්‍රහාරයෙන් පසු පන්දුවේ පතිතය සහ එල්ලය පවා වෙනදා තරම් ප්‍රශස්ත මට්ටමක පවත්වා ගත්තේ නැහැ.

එහි ප්‍රතිඵලය වුනේ චරිත් අසලංක ඇතුළු සෙසු පිතිකරුවන් ද අත දිගහැර කිවියන්ට පහර දීමයි. තරග දිනවන විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අද පන්දු 41කට පමණක් මුහුණ දෙමින් ලකුණු 67ක් රැස් කළේ හතරේ පහර 2ක් සහ වෙඩි උණ්ඩ බඳු අලංකාර හයේ පහර 6ක් සමඟයි.

සිව්වැනි කඩුල්ල ලෙස ඔහු දැවී යන විට ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 16.3ක් අවසානයේ ලකුණු 168ක් ලෙස සටහන් වූ නිසා බොහෝ දෙනා ශ්‍රී ලංකාව ලකුණු 200 සීමාව ඉක්මවනු ඇතැයි බලාපොරොත්තු වුවත්, නවසීලන්තය පන්දු යවන්නන් අවසන් පන්දුවාර කිහිපය ඉතා හොඳින් ක්‍රියාත්මක කිරීමට සමත් වුනා.

දසුන් ශානක එක් ලකුණකට දැවී ගොස් කුසල් පෙරේරාත් කල් මැනීම වරද්දා ගන්නා අවස්ථාවක ලකුණු 180කින් සීමා වන්නට යන ශ්‍රී ලංකා ඉනිම ලකුණු 196ක් දක්වා ගෙන යන්නට වනිඳු හසරංග සමත් වුනා. ඒ කලකට පසු අවස්ථාවට උචිත ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 11කින් ලකුණු 21ක් රැස් කරමින්.

Shipley ක්‍රියාත්මක කළ අවසන් පන්දුවාරයේ දී පිට පිටම හයේ පහර 2ක් එල්ල කිරීමට වනිඳුට හැකි වුනා. පන්දු යැවීමේ දී ලකුණු 30කට කඩුලු 2ක් දවා ගත් James Neeshamට හැරෙන්නට අනෙක් පන්දු යවන්නන්ට ශ්‍රී ලංකා පිළ පහර දෙද්දී සමස්ත ඉනිම පුරාවටම නොදැවී සිටි කුසල් පෙරේරා පන්දු 45කින් ලකුණු 53ක් ලබා ගත්තා.

මෙම දැවැන්ත ලකුණු පුවරුව හඹා යාමට උත්සාහ කළ නවසීලන්ත කණ්ඩායමේ ආරම්භය එතරම් සාර්ථක වුනේ නැහැ. පළමු පන්දුවාරයේ දී ම මහීෂ් තීක්ෂණ අතට පන්දුව ලබා දීම ශ්‍රී ලංකාවට වාසනාව ගෙන ආ අතර ඔහුගෙන් බේරෙන්නට ගිය Tim Seifert කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවුනා.

ඩිල්ශාන් මධුශංක Chad Bowes ලකුණු 2කට පිටියෙන් ඉවත් කරන්නේ නවසීලන්ත ආරම්භය ලකුණු 3ට කඩුලු 2ක් බවට පත් කරමිනුයි. නමුත් එතැන් පටන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ග්‍රහණය තරමක් ලිහිල් වෙද්දී ඉන් ප්‍රයෝජන ගත් නවසීලන්තය අර්ධ ශතක සබඳතාවයක් සමඟින් ඉනිම නැවතත් ගොඩ නැංවූවා.

අතරින් පතර කඩුලු දැවී ගියත්, අවශ්‍ය දැවැන්ත ලකුණු වේගය කෙසේ හෝ පාලනයේ තබා ගැනීමට නවසීලන්තය මේ වන විට පියවර ගනිමින් තිබුණා. එහි දී Tom Latham ලකුණු 27ක් රැස් කරද්දී, Daryl Mitchell ශ්‍රී ලංකාවට එරෙහි තම සුපුරුදු ප්‍රහාරය දියත් කළේ පන්දු 44කින් ලකුණු 66ක් ලබා ගනිමින්. Chapman ලකුණු 33යි.

ශ්‍රී ලංකාවට තරගය හරවා ගැනීමට උත්සාහ කළ මොහොතේ ක්‍රියාත්මක වූ Rachin Ravindra අදත් හතරේ පහර සහ හයේ පහර 2 බැගින් එල්ල කරමින් නවසීලන්තය ජයග්‍රහණය ආසන්නයටම රැගෙන ගියා.

මේ අනුව ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දුවට ලකුණු 7ක් අවශ්‍ය වූ අතර වයිඩ් යෝකර් පන්දුවක් යොදාගෙන තරගය බේරා ගැනීම වෙනුවට පා ඉන්න දෙසින් පන්දුව යොමු කිරීමට ගිය දසුන් ශානකට හයේ පහරක් එල්ල කරමින් තරගය සම කිරීමට නවසීලන්තය සමත් වුනා.

මේ අනුව ශ්‍රී ලංකාව නැවත වරක් ගලවා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව පන්දුව භාර දෙන්නේ මහීෂ් තීක්ෂණ අතටයි. එහි දී විශිෂ්ට පන්දු යැවීමක යෙදුණු ඔහු ලකුණු 8ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ Neesham සහ Chapmanවත් දවා ගනිමින්.

මෙම පහසු ඉලක්කය පසු කිරීමට පිටියට පිවිසි චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස් කිසිදු කඩුල්ලක් බිඳ නොවැටීම පන්දු 3ක් තුල දී ජයග්‍රහණය තහවුරු කර ගත්තා.

තරගාවලියේ දෙවැනි එක්දින තරගය එළඹෙන බදාදා (05) Dunedin හිදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එගි උණුසුම් තතු විත්ති වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<