කොදෙව් සංචාරය ගැන අලුත් ආරංචියක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරය 2021

336
Sri Lanka to go ahead with West Indies tour 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලයේ 35 දෙනෙකු සඳහා සිදු කළ PCR පරීක්ෂණවල ප්‍රතිඵල සාමාන්‍ය වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරය පැවැත්වීමට තිබෙන ඉඩකඩ ඉතාමත් ඉහළ මට්ටමකට පැමිණ තිබෙනවා.

පසුගිය දා (පෙබරවාරි 3 වැනිදා) ශ‍්‍රී ලංකා ක්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්නට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වූ අතර ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ පළමු පෙළ ආශ්‍රිතයින් ඇතුළු ක‍්‍රීඩකයින් රැසක් නිරෝධායනයට ලක් කිරීමට සිදු වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

ඒ හේතුව නිසාවෙන් කල් දැමුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය ඊයේ (12) කොළඹ සුගතදාස පිටියේ දී සිදු කෙරුණු අතර ඊට ක්‍රීඩකයින් 32 දෙනෙකු සහභාගී වී සිටියා.

“ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය මැන බැලීම ඊයේ සිදු කළා. හැබැයි අපිට ඒකේ අන්තිම නිල ප්‍රතිඵල තවම ලැබිලා නැහැ. අද (13) ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල අපිට ලැබෙනවා. ඒ වගේම අපි PCR පරීක්ෂණයත් සිදු කළා එහි ප්‍රතිඵලත් සාමාන්‍යයි. එළඹෙන අඟහරුවාදා ඉඳන් කණ්ඩායම පුහුණුවීම් ආරම්භ කරනවා, ක්‍රිකට් කමිටුවේ අනුමැතිය අද (13) අපිට ලැබෙන්න තියෙනවා. ඒ අනුමැතියත් අපිට ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා Daily FT වෙත පවසා සිටියා.

මේ තරගාවලියේ පෙර සැලසුම් කර ගත් තරග කාලසටහනට අනුව ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුලත්ව තිබෙනවා.

“අපි තරග කාලසටහනේ තරග අඩු කරන්නත් මුලින් බැලුවා හැබැයි දැනට තියෙන විදිහට අපි තරග අඩු කරන්නේ නැතිව තරග පැවැත්වෙන ආකෘති වල අනුපිළිවෙළ පොඩ්ඩක් වෙනස් කර ගැනීමට තිබෙන හැකියාව පිළිබඳව කොදෙව් බලධාරීන්ගේ අවධානයට යොමු කරලා තියෙනවා. කලින් තිබ්බ සැලසුම්වලට අනුව මුලින්ම එක්දින 3, විස්සයි විස්ස තුන සහ අන්තිමට තමයි ටෙස්ට් දෙක තිබ්බේ, හැබැයි දැන් අපේ සැලසුම වෙලා තියෙන්නේ විස්සයි විස්ස තරග තුන මුලින් සෙල්ලම් කරලා ඊට පස්සේ එක්දින තරග තුන සහ ටෙස්ට් තරග දෙක ක්‍රීඩා කරන්න. 

අපි මේ ඉල්ලීම කොදෙව් පරිපාලනයට යොමු කරලා තියෙනවා, ඔවුන් යහපත් ප්‍රතිචාරයක් දක්වයි කියලා හිතනවා. මුලින් සැලසුම් කරගෙන හිටියේ අපි මේ මාසේ 18 වැනිදා එහාට (කොදෙව් දේශයට) යන්න, ඒත් ඒ සැලසුම් ඔක්කොම මේ සිදුවීම් නිසා වෙනස් වුනා. ඒක නිසා කොදෙව් ක්‍රිකට් පරිපාලනයෙන් පිළිතුරක් එනකම් තරග කාලසටහන ගැන මට දැන්මම හරියටම කියන්න බැහැ” යැයි ද සිල්වා මහතා එහි දී වැඩිදුරටත් පවසා සිටියා.

මේ අතර COVID-19 ආසාදනය වූ ලහිරු තිරිමාන්න සහ මිකී ආතර් යන දෙදෙනා අතරින් මිකී ආතර් සම්පූර්ණ සුවය ලබා තිබෙන අතර තිරිමාන්න තවමත් සුව අතට හැරෙමින් සිටින බව ද වාර්තා වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<