තහනමට ලක් වූ ශූරියට නැවත පැමිණීමට දින නියම වේ

447

Cannabis භාවිතා කර තිබූ බවට තහවුරු වීම නිසාවෙන් ඇමරිකානු කෙටි දුර ධාවන ශූරී Sha’Carri Richardson හට මාසයක මලල ක්‍රීඩා තහනමක් පැනවීමට පසුගිය දා බලධාරීන් කටයුතු කළා.

එම තහනම නිසාවෙන් ඇයට මෙවර ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වීමේ අවස්ථාව අහිමි වූ අතර ඇයව ඔලිම්පික් උළෙල සඳහා නම් කළ ඇමරිකානු කාන්තා මීටර් 100 සහය දිවීමේ කණ්ඩායමට ද ඇතුළත් වුනේ නැහැ.

ඇයගේ තරග තහනම මෙම මස 28 වැනිදායින් අවසන් වීමට නියමිතව ඇති අතර එම තහනමෙන් පසු පළමු තරගාවලිය ලෙස ඇය ඇමරිකාවේ පැවැත්වෙන Diamond League Prefontaine Classic මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වන බව තහවුරු කර තිබුණා.

මෙම තරගාවලිය අගෝස්තු 20 සහ 21 යන දෙදින තුළ Eugene හිදී පැවැත්වීමට නියමිතව ඇති අතර ඔලිම්පික් උළෙලෙන් පසු “Diamond League” තරගාවලි හී ආරම්භක තරගාවලිය වන්නේ ද මෙයයි.

තහනමින් පසු නැවත තරග බිමට පිවිසීම පිළිබඳව අදහස් දක්වමින් Sha’Carri Richardson ප්‍රකාශ කර සිටියේ ඇය හැකි උපරිම වේගයෙන් තරග වදිමින් සියල්ලන් පුදුමයට පත් කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවෙන බවයි.

මේ වන විට 21 වැනි වියේ පසුවන Sha’Carri Richardson පසුගිය කාලසීමාවේ කෙටිදුර ධාවන පිටියේ ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ අතර ඇය නිමා වූ ඇමරිකානු ඔලිම්පික් තේරීම් තරගවල දී මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කිරීමට ද සමත් වුනා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<