සුපර් ලීගයට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ඇගයීමක්

189

කොරෝනා වසංගතය හමුවේ පැමිණි අභියෝග ජය ගනිමින් ශ්‍රී ලංකාව ඵලදායී වෘත්තීය පාපන්දු ලීගයකට අවශ්‍ය මුල් පියවර තබා ඇතැයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පසුගිය වසරේ පැවති සුපර් ලීග් පාපන්දු ශූරතාවය පිළිබඳව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ වෙබ් අඩවියේ ලිපියක් තබමින් මේ පිළිබඳව ප්‍රකාශ කර තිබුණා.

මෙරට පළමු වෘත්තීය පාපන්දු ලීගය වූ සුපර් ලීග් 2021 පාපන්දු තරගාවලිය සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ඇමරිකානු ඩොලර් 500,000ක ආධාර මුදලක් හිමි වූ අතර කණ්ඩායම් 10 සහභාගී කරමින් සාර්ථක තරගාවලියක් නිමා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට හැකි වුනා.

එම ලීගය ආසියානු පාපන්දු සම්මේලනයේ මාර්ගෝපදේශ මත ක්‍රීඩා සමාජ බලපත්‍ර ලබා ගත් කණ්ඩායම් පමණක් සහභාගී කර ගැනීම විශේෂ වූ අතර එම නිසාවෙන් තරගාවලියට කණ්ඩායම් 10ක් තෝරා ගැනීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට හැකි වුනා.

එම ආසියානු පාපන්දු සම්මේලනයේ නීතිවලට අනුව තරුණ සංවර්ධනය, වෛද්‍ය සත්කාර ඇතුළු බිම් මට්ටමේ වැඩසටහන්, ළමා ආරක්ෂාව සහ ජාතිවාදයෙන් තොරවීම වැනි මූලික ප්‍රතිපත්ති ක්‍රීඩා සමාජයට ඇතුළත් විය යුතුයි.

මෙම සුපර් ලීග් තරගාවලිය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයෙ සභාපති ජස්වර් උමාර් මහතා විසින් ආරම්භ කළ අතර එම තරගාවලිය ආරම්භ කර මාස කිහිපයකට පසුව ඔහු පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ලෙස පත්වුනා.

මෙය හුදෙක්ම පාපන්දු තරගාවලියකට සීමා නොකර ක්‍රීඩකයින්, පුහුණුකරුවන් ඇතුළු 300කට අධික පිරිසකට කොන්ත්‍රාත් ලබා දී දේශීය ව්‍යවසායකයන්ට ද නව අවස්ථා නිර්මාණය කළ පාපන්දු කර්මාන්තයක් ඔහු විසින් ආරම්භ කළා.

මෙම තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා ප්‍රකාශ කළේ,

“සුපර් ලීග් තරගාවලිය ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ මූල්‍ය දායකත්වය යටතේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ආරම්භ කළ නව අර්ධ වෘත්තීය ආකෘතියක්. මෙය වසර 80ක විතර කාලයක් තිස්සේ ශ්‍රී ලංකා පාපන්දු ව්‍යුහයේ අතුරුදන් වුන කොටසක්.

තාක්ෂණික සහ සංවිධායක මට්ටම වැඩි දියුණු කරමින් මෙම තරගාවලිය දැනටමත් ශ්‍රී ලංකා පාපන්දු පිටියට බලපෑමක් එල්ල කර තියෙනවා. කොරෝනා වසංගතය මධ්‍යයේ මෙම තරගාවලිය අවසන් කිරීමට හැකි වීම පිළිබඳව මම සතුටු වෙනවා”.

මෙම වසරේ දී අවසන් වූ මෙම තරගාවලියේ ශූරතාවය ප්‍රසාද ලකුණු 22ක් ලබා ගනිමින් ජයග්‍රහණය කරමින් 2022 AFC Cup තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට සුදුසුකම් ලබා ගැනීමට කළුතර Blue Star SC කණ්ඩායමට හැකි වූ අතර එහි ක්‍රීඩක සෙනාල් සංදේශ් ගෝල 10ක් සමඟින් තරගාවලියේ වැඩිම ගෝල ලාභියා බවට පත්වුණා.

මෙම තරගාවලියට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් රැසක් සහභාගී වූ අතර නයිජීරියාව, කැමරූන්, ඝානා සහ ජපානය නියෝජනය කරමින් ක්‍රීඩකයින් කිහිප දෙ‍ෙනක් මෙයට සහභාගී වීම ද විශේෂත්වයක්.

මෙම නව ලීගයට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පාපන්දු ලීගය ලෙස ශූරයන්ගේ කුසලානය 2009 සිට 2018 දක්වා සෑම වසරකම පැවති අතර 2016 වසරේ දී එය සඳහා කණ්ඩායම් 22ක් සහභාගී වුනා.

ශ්‍රී ලංකාවේ පාපන්දු කණ්ඩායම් දියුණු කිරීම සඳහා පාපන්දු සම්මේලනයේ විශාල අවධානයක් හිමිව ඇති අතර ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති Gianni Infantino මහතා පසුගිය නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරයේ දී ද එය පිළිබඳව අවධානය ලබා දී තිබුණා.

FIFA ඇසුරෙනි

>>පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න<<