ශ්‍රී ලංකා ප්‍රබලයෙක් දෙවැනි ටෙස්ට් තරගයට නැහැ?

78

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (15) දිනයේ දී රාවල්පිණ්ඩි හිදී නිමා වූයේ ජය පරාජයෙන් තොරවයි. එම තරගය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ආබාධයකට ලක්ව තිබෙන බැවින් ලබන 19 වැනිදා කරච්චි හිදී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතියි.

වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා පළමු ඉනිමට පමණක් සීමා වුණු පළමු ටෙස්ට් තරගයේ පන්දු යවන අතරතුර දී රාජිත මස් පිඬු ඉරී යෑමේ ආබාධයකට මුහුණ දී තිබේ. ශ්‍රී ලංකාවේ ආරම්භක පන්දු යවන්නා ලෙසින් කටයුතු කළ රාජිත තරගයේ පස්වැනි සහ අවසන් දිනයේ දී එක දිගට පන්දුවාර 6ක් ක්‍රියාත්මක කළේය. 

එහි දී  නිලකුණු පන්දුවාර 2ක් ද සමඟ ලකුණු 5කට කඩුල්ලක් දවා ගත් රාජිත අනතුරුව පාකිස්තානය ක්‍රීඩා කළ පන්දුවාර 70 ඇතුළත එකම අවස්ථාවක හෝ පන්දු යැවීමෙන් වැළකී සිටියේය. 

මේ පිළිබඳව අදහස් දක්වා සිටි කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් මහතා, ඉදිරි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව කසුන්ට බොහෝ විට අහිමි වනු ඇති බව තමා විශ්වාස කරන බව පැවැසීය. මෙහි දී කසුන් බොහෝ විට ශ්‍රී ලංකාව බලා පිටත්ව යෑමට නියමිත බව ද කළමනාකරු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

කෙසේ වෙතත් රාජිතගේ ස්ථානය සඳහා ආදේශ කරන්නේ කවුරුන්ද යන්න මේ වන තෙක් තීරණයකට එළඹ නැති බව ද තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් ද කටයුතු කරන ද මෙල් මහතා අවධාරණය කර තිබේ. 

කෙසේ නමුත් දෙවන තරගය පැවැත්වෙන කරච්චි තණතීරුව වේගපන්දු යවන්නන්ට වඩා දඟපන්දු යවන්නන්ට හිතකර බැවින් ලසිත් ඇඹුල්දෙණිය ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් ඇත.

ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු 308 පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානු කණ්ඩායම ජය පැරදුමෙන් තොරව අවසන් වන විට කඩුලු 2කට ලකුණු 252ක් ලබා සිටියේය.

ඒ අනුව දෙරට අතර පළමු ටෙස්ට් තරගය නිමාවට පත්වූයේ ලෝක ටෙස්ට් ශූරතා ලකුණු සටහනේ කණ්ඩායම් දෙකටම ලකුණු 20 බැගින් තෑගි කරමිනි. මෙම ප්‍රතිඵලයත් සමඟින් ටෙස්ට් ශූරතාවලියේ තරග 3කට මුහුණ දී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 80ක් ලබා ගනිමින් නවසීලන්තය පසුකර යමින් තෙවැනි ස්ථානය දක්වා උසස්වීම් ලැබීය. කෙසේ වෙතත් මේ වන විට එම සටහනේ මුල් ස්ථාන දෙකේ සිටින ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව තරග 7 බැගින් ක්‍රීඩා කරමින් පිළිවෙළින් ලකුණු 360ක් සහ 176ක් ලබා සිටියි.

එබැවින් මෙම පරතරය හැකිතාක් අවම කිරීමට නම් ලබන 19 වැනිදා කරච්චි හිදී ඇරඹෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා පිළ ජයග්‍රහණයක් වාර්තා කිරීම වැදගත් වනු ඇත. 

කරුණු කාරණා ඒ ආකාරයෙන්ම ඉටු වුවහොත් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 140ක් සහ මෙම ඓතිහාසික ටෙස්ට් තරගාවලියේ කුසලානය ද සමඟින් නැවතත් දිවයිනට ළඟා වන්නට හැකි වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<