යොවුන් දැල්පන්දු තරගාවලිය යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

326

ශ්‍රි ලංකා දැල්පන්දු සම්මේලනය (Netball Federation of Sri Lanka- NFSL) විසින් මෙම වසරේ ජපානයේ පැවැත්වීමට නියමිත 11 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු සංචිතය නම් කර තිබේ. 

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතියෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩිකාවන් 12 දෙනෙකු ඇතුළත් වේ. 

ඇමති සජිත්ගෙන් දැල්පන්දු ක්‍රීඩිකාවන්ට තල්ලුවක්

2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට ……..

මෙම සංචිතයට කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ සෙත්මි දනෝශි ඇතුළත් නොවීම කැපී පෙනෙන කාරණයක්. ඇය මෙරට ප්‍රබල යොවුන් ක්‍රීඩිකාවන් අතර ඉදිරියෙන්ම සිටි ක්‍රීඩිකාවක් වන නමුත් තේරීම් තරගවල දී ඇයට කණ්ඩායමේ ස්ථානය අහිමිවී ඇත. 

නම් කරන ලද 12 දෙනෙකුගෙන් යුත් සංචිතයට කොළඹ විශාඛා විද්‍යාලය නියෝජනය කරමින් තරුෂි ඉලංගරත්න, මෙලනි විජේසිංහ හා දිලානි පෙරේරා ඇතුලත්ව සිටී. 

කණ්ඩායමේ නායකත්වය තරුෂි ඉලංගරත්නට හිමිව ඇති අතර ඇය 2017 වසරේ ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට සහභාගි වූ කණ්ඩායමේ සාමාජිකාවක් විය. 2017 දැල්පන්දු යොවුන් ශූරතාවයට ද ඇය සහභාගි වී ඇත. 

2017 යොවුන් දැල්පන්දු කුසලානයට සහභාගි වූ මෙලනි විජේසිංහට කණ්ඩායමේ උපනායකත්වය හිමිව ඇත. ඇය තවමත් 17 හැවිරිදි ක්‍රීඩිකාවක් වීම විශේෂත්වයකි. 

කොළඹ ගේට්වේ විද්‍යාලය නියෝජනය කරමින් විශ්මිකා රත්නායක හා අනීශා පෙරේරා ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වන අතර දෙහිවල ප්‍රෙස්බටිරියන් බාලිකා විද්‍යාලය නියෝජනය කරමින් කාවින්දි රන්දිමා මෙම සංචිතයට ඇතුලත්ව සිටී. පාසල් නියෝජනය නොකරන ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ද මෙම සංචිතයට ඇතුළත් අතර ඒ නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ඉමාශා පෙරේරා හා සෙලාන් බැංකු කණ්ඩායම නියෝජනය කරන දිමිත්‍රි ගූනියන්ගොඩයි. 

කොළඹ කාන්තා විද්‍යාලය නියෝජනය කරමින් ගන්‍යා සේනානායක ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කරන අතර ඇය එම විද්‍යාලයෙන් ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කරන පළමු ක්‍රීඩිකාව වේ. කළුතර බාලිකා විද්‍යාලයේ දෙව්නා රන්දෙණි, කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ සජිනි රත්නායක හා මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ කුසලිකා අළුවිහාරේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන සෙසු ක්‍රීඩිකාවන් වේ. 

11 වැනි ආසියානු යොවුන් ශූරතා දැල්පන්දු තරගාවලිය ජුනි මස 29 සිට ජූලි මස 7 වැනිදා දක්වා ජපානයේ දී පැවැත්වේ. 

ශ්‍රී ලංකාව තරගාවලියේ දී තුන්වරක් කිරුළ පැලඳීමට සමත්ව ඇත. ඒ 1998, 2002 හා 2015 දී ය. 2004, 2006, 2008, 2010 හා 2013 වසරවල දී අනුශූරයන් වීමට ද ශ්‍රී ලංකාව සමත් විය. අවසන් වරට 2017 දී දකුණු කොරියාවේ පැවති යොවුන් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට හිමි වූයේ සිව්වැනි ස්ථානයයි. 

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම බොට්ස්වානා සංචාරයක

2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට ………

පසුගිය වසරේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කිරීම සඳහා 60 දෙනෙකු තෝරාගත් අතර මෙම වසරේ පෙබරවාරි වන විට එයින් 38 දෙනෙකු තෝරාගෙන තිබුණි. පසුව එම සංචිතය 20 දෙනෙකු දක්වා අඩුකෙරිනි. 

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස මලිඳු කුමාරි ගමගේ පත්කර ඇත. ඇය බදුල්ල දැල්පන්දු සම්මේලනය නියෝජනය කර ඇති අතර පසුගිය වසරේ සිව්කොන් තරගාවලියකට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් සිව්දෙනාගෙන් එක් අයෙකු ද වේ.  

12 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු සංචිතය 

තරුෂි ඉලංගරත්න (කොළඹ විශාඛා විද්‍යාලය), මෙලනි විජේසිංහ (කොළඹ විශාඛා විද්‍යාලය), ඩිලානි පෙරේරා (කොළඹ විශාඛා විද්‍යාලය), කාවින්දි පෙරේරා (දෙහිවල ප්‍රෙස්බටිරියන් බාලිකා විද්‍යාලය), සජිනි රත්නායක (කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය), ඉමාශා පෙරේරා (නාවික හමුදා ක්‍රීඩා සමාජය), ගන්‍යා සේනානායක (කාන්තා විද්‍යාලය) , විශ්මිකා ‍රත්නායක (කොළඹ ගේට්වේ විද්‍යාලය), අනීශා පෙරේරා (කොළඹ ගේට්වේ විද්‍යාලය), දිමිත්‍රි ගූනියන්ගොඩ (සෙලාන් බැංකුව), දෙව්නා ‍රන්දෙණි (කළුතර බාලිකා විද්‍යාලය), කුසලිකා අළුවිහාරේ (මහනුවර හිල්වුඩ් විද්‍යාලය) 

අතිරේක ක්‍රීඩිකාවන්

නටාශා අළුවිහාරේ (කොළඹ විශාඛා විද්‍යාලය), රශ්මි අන්ජලිකා තිලකරත්න (දෙහිවල ප්‍රෙස්බටිරියන් බාලිකා විද්‍යාලය), කෞශි ඩිලානි පෙරේරා (කොළඹ විශාඛා විද්‍යාලය) 

ජුනි 29 වැනිදා ජපානයේ දී ආරම්භ වන යොවුන් දැල්පන්දු තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<