ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම බොට්ස්වානා සංචාරයක

114

2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සුදුසුකම් ලැබීම ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ලැබූ ඉහළම ජයග්‍රහණයක් ලෙස සැලකේ. ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය සඳහා මේ වන විට එංගලන්තය ලහි ලහියේ සුදානම් වෙමින් සිටි.

එළඹෙන ජූලි මස 12 ආරම්භ වීමට නියමිත ලෝක දැල්පන්දු තරගාවලිය ජූලි මස 21 වැනිදා දක්වා ලිවර්පූල් හි M&S Bank Arena හිදී පැවැත්වීමට නියමිතයි. 2018 හා 2019 වසරවල දැක්වූ දක්ෂතා නිසාවෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියට එක්වීමේ භාග්‍ය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි විය. ඒ ආසියානු ශූරයන් ලෙසිනි. ලෝක කුසලාන තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම බොට්ස්වානා හි තරග සංචාරයක් සඳහා එක්වීමට තීරණය කර ඇත.

Sri Lanka squad for Netball World Cup announced

The Netball Federation of Sri Lanka (NFSL) has announced the 12-player squad for the…

දින 11ක සංචාරයක් වන මෙම සංචාරය සඳහා පුහුණු තරග 6ක් ඇතුළත් වන අතර එයට බොට්ස්වානා ජාතික කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරග 2ක් ද ඇතුළත් වේ. අනෙක් තරග 4 එරට ප්‍රධාන පෙළේ ක්‍රීඩා සමාජ අතර පැවැත්වේ. ශ්‍රී ලංකාව මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 19 වැනි ස්ථානයේ රැඳී සිටින අතර බොට්ස්වානා කණ්ඩායම 23 වැනි ස්ථානය ලබාගෙන ඇත.

පසුගිය වසරේ ආසියානු කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මලාවි හි සංචාරයකට එක්වූ අතර එය සාර්ථකව නිමා කිරීමට ඔවුන් සමත් විය. වසර 10කට පසුව ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට එම සංචාරය මහඟු දායකත්වයක් සැපයීය.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකාරිණිය වන තිලංකා ජිනදාස ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගෙන ඇති ජයග්‍රහණවල වැඩි කාර්‍යභාරයක් ඉටු කරන අතර ඇය මෙලෙස ජාත්‍යන්තර තරගාවලිවලට පෙර කණ්ඩායම සංචාර සඳහා එක්කරමින් කණ්ඩායමට අවශ්‍ය ජාත්‍යන්තර අත්දැකීම් ලබාදෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බොට්ස්වානා සංචාරය

  • මැයි 23 – ශ්‍රී ලංකා කණ්ඩායම හා පොලිස් කණ්ඩායම
  • මැයි 24 – ශ්‍රී ලංකා කණ්ඩායම හා BDF Cats කණ්ඩායම
  • මැයි 25 – ශ්‍රී ලංකා කණ්ඩායම හා බොට්ස්වානා ජාතික කණ්ඩායම
  • මැයි 27 – ශ්‍රී ලංකා කණ්ඩායම හා UB Crystals කණ්ඩායම
  • මැයි 28 – ශ්‍රී ලංකා කණ්ඩායම හා Notwane කණ්ඩායම
  • මැයි 29 – ශ්‍රී ලංකා කණ්ඩායම හා බොට්ස්වානා ජාතික කණ්ඩායම

අප්‍රිකානු මහද්වීපය නියෝජනය කරමින් ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා පැවති තරගාවලියේ දී බොට්ස්වානා කණ්ඩායම සිව්වැනි ස්ථානයට පත්විය. එම තරගාවලියේ දී මලාවි කණ්ඩායම පරාජය කරමින් උගන්ඩා කණ්ඩායම පළමු ස්ථානයට පත්විය. තරගාවලිය අප්‍රිකානු දැල්පන්දු කුසලාන තරගාවලියට සමගාමීව පැවැත්විය. දෙවන ස්ථානය සිම්බාබ්වේ කණ්ඩායම ලබාගත් අතර තුන්වැනි ස්ථානය සැම්බියාව විසින් ලබා ගත්තේය. ඒ අනුව උගන්ඩාව හා සිම්බාබ්වේ කණ්ඩායම් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගත්හ.

අප්‍රිකානු කුසලාන තරගාවලියේ දී බොට්ස්වානා කණ්ඩායම මුහුණ දුන් තරග

  • සැම්බියාව 50 – 43 බොට්ස්වානා
  • සිම්බාබ්වේ 53 – 28 බොට්ස්වානා
  • මලාවි 58 – 32 බොට්ස්වානා
  • උගන්ඩා 65 – 35 බොට්ස්වානා
  • කෙන්යාව27 – 55 බොට්ස්වානා
  • නැමීබියාව 56 – 59 බොට්ස්වානා

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දා නිමා වූ තරගාවලියේ දී කෙන්යාව හමුවේ ලකුණු 54-35ක් ලෙස පරාජය වූ නමුත් තරගාවලියට පසුව පැවති පුහුණු තරගයක දී ලකුණු 50-41ක් ලෙස කෙන්යාව පරාජය කිරීමට සමත් විය.

ලෝක කුසලාන තරගාවලියේ දී පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම A කාණ්ඩයෙන් තරග වදින අතර එම කාණ්ඩයට ඕස්ට්‍රේලියාව, සිම්බාබ්වේ, උතුරු අයර්ලන්තය ද ඇතුළත් වේ. ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය සිම්බාබ්වේ සමගින් ජූලි 12 වැනිදා පැවැත්වීමට නියමිතයි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<