පොදු රාජ්‍ය මණ්ඩලීය මේස පන්දු ශූරතාවයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

252

“21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය මේස පන්දු ශූරතාවය” මෙවර පැවැත්වෙන්නේ ඉන්දියාවේ කතක් හිදී ය. කතක් හි ශ්‍රී ජවහර්ලාල් නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී එළඹෙන ජූලි 17 වනදා සිට 22 වනදා දක්වා තරගාවලිය පැවැත්වෙනු ඇත. 

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු තරගයේ දී හොඳ සටනක් දෙයි

ජාත්‍යන්තර දැල්පන්දු සම්මේලනය (International Netball Federation) විසින් සංවිධානය කරනු…

තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය මේස පන්දු සම්මේලනය සහ ඉන්දීය මේස පන්දු සම්මේලනයයි. 

මේ සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීම පසුගිය ජුනි 01 වනදා සහ ජුනි 02 වනදා අදියර දෙකකින් යුතුව පැවැත්වුනේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දීය. 

ක්‍රීඩකයින් සිව්දෙනෙකු සහ ක්‍රීඩිකාවන් සිව්දෙනෙකුගෙන් ශ්‍රී ලංකා මේස පන්දු සංචිතය සමන්විත අතර රොහාන් සිරිසේන පිරිමි කණ්ඩායමේ නායකයා ලෙස නම් කර තිබේ. කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස ඉෂාරා මධුරංගි කටයුතු කරයි. 

රොහාන් සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා පිරිමි මේස පන්දු කණ්ඩායමට ක්‍රිෂාන් වික්‍රමරත්න, නිර්මල ජයසිංහ සහ මිලින්ද ලක්ෂිත ඇතුළත්වන අතර ඉෂාරා මධුරංගි ගේ නායකත්වයෙන් යුතු කාන්තා කණ්ඩායමට බිමන්දී බණ්ඩාර, චමත්සරා ප්‍රනාන්දු සහ ජිතාරා වර්ණකුලසූරිය කටයුතු කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පිරිමි සහ කාන්තා කණ්ඩායම් ශූරතාවයන්ට, පිරිමි සහ කාන්තා කේවල ඉසව් වලට, පිරිමි සහ කාන්තා යුගල ඉසව් වලට, මිශ්‍ර යුගල ඉසව් වලට සහභාගී වීමට නියමිතය. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක රොහාන් සිරිසේන මෙවර තරගාවලියට පිවිසෙන්නේ කණ්ඩායමේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයෙකු ලෙසිනි. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන ඔහු 1996 වසරේ සිට ශ්‍රී ලංකා ජාතික මේස පන්දු කණ්ඩායම නියෝජනය කිරීම විශේෂත්වයකි. ලොව පුරා ජාත්‍යන්තර තරගාවලි 50 කට ආසන්න ගණනක් නියෝජනය කර ඇති ඔහුගේ අත්දැකීම් කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇත. 2006, 2010, 2016 යන වසර වල දකුණු ආසියානු ක්‍රීඩා උළෙලයන් හිදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් තුනක් දිනා දුන් ඔහු, 2014 Lusofonia තරගාවලියේ දී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය. තවත් ජාත්‍යන්තර තරගාවලි රැසක දීම ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනාගත් ඔහු කණ්ඩායමේ ප්‍රධානතම බලාපොරොත්තුවකි.  

කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරන ඉෂාරා මධුරංගි ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් බහුලම ක්‍රීඩිකාව ලෙස හැඳින්විය හැකිය. 2004 වසරේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරගාවලි රැසක් නියෝජනය කර තිබේ. 2004 වසරේ ආසියානු කනිෂ්ට මේස පන්දු ශූරතාවයේ කැඩෙට් කේවල ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනාගත් ඇය ඉතිහාසගත වන්නේ “ආසියානු පදක්කමක් දිනාගත් පළමු ශ්‍රී ලාංකික කාන්තාව” ලෙසයි. 2016 වසරේ දී ජාතික මේස පන්දු කණ්ඩායම නියෝජනය කරමින් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ද එක්වුනු ඇය කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල ඉසව් වලින් ලෝකඩ පදක්කම් දිනා ගන්නට සමත් විය. 

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් මේස පන්දු පිටියට පිවිසුනු ක්‍රිෂාන් වික්‍රමරත්න කණ්ඩායමේ සිටින දක්ෂතම ක්‍රීඩකයෙකි. 2016 වසරේ පකිස්තානයේ පැවැත්වුනු දකුණු ආසියානු කනිෂ්ට මේස පන්දු තරගාවලියේ දී රන් පදක්කම් දෙකක් සහ එක් රිදී පදක්කමක් දිනා ගත් ඔහු මෙවර ශ්‍රී ලංකා මේස පන්දු සංචිතයේ සිටින ප්‍රබල තුරුම්පුවක් බව කිව හැක. 

සම්මාන තුනක් සමඟින් පොලීසිය පෙරමුණ ගනී

ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජයේ බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වැඩි ගෞරව ලබා දෙමින් …

තවමත් පාසැල් වියේ සිටින ක්‍රීඩිකාවක් වන බිමන්දී බණ්ඩාර ශ්‍රී ලංකාවේ අනාගත මේස පන්දු බලාපොරොත්තුවකි. මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ ඉගෙනුම ලබන ඇය දේශීය තරග බිමේ මෙන්ම විදෙස් කෙළිබිමේ ද සුපිරි දක්ෂතා පෙන්වා තිබේ. 2016 වසරේ දකුණු ආසියානු හෝප්ස් මේස පන්දු තරගාවලිය සහ SET තායිලන්ත කනිෂ්ට සහ කැඩේට් මේස පන්දු තරගාවලිය 2018, 2019 යන වසර දෙකේ දීත් නියෝජනය කර ඇති ඇයට මෙම අවස්ථාව ඉතා වැදගත් වනු ඇත. 

නිර්මල ජයසිංහ කණ්ඩායමේ තවත් සුපිරි තරුවක් වන අතර ඔහු ද මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. 2016 වසරේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් ඔහු සය වතාවක් ශ්‍රී ලංකා යුගල ශූරතාව දිනූ කණ්ඩායමේ සාමාජිකයෙකි. 2014 වසරේ Lusofonia ක්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කමක් ද දිනාගත් ඔහු මෙවර කණ්ඩායමේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුවක් බව කිව හැක. 

නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ මෙන්ම කොළඹ D. S. සේනානායක විද්‍යාලයේ ආදී මේස පන්දු ක්‍රීඩකයෙකු වන මිලින්ද ලක්ෂිත මෙවර තරගාවලියට පිටව යන්නේ ජාත්‍යන්තර තරග අත්දැකීම් රැසක් සිය ගමන් මල්ලේ රඳවාගෙනයි. 2004 වසරේ දකුණු ආසියානු යොවුන් මේස පන්දු ක්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කමක් දිනාගත් ඔහු 2017 වසරේ ලෝක මේස පන්දු ශූරතාවයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේය. තරගාවලි රැසක අත්දැකීම් සමඟින් මෙවර කණ්ඩායමට එක්වන ඔහුද ශ්‍රී ලංකාවේ ප්‍රධානතම බලාපොරොත්තුවකි. 

චමත්සරා ප්‍රනාන්දු කොළඹ විශාකා විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩිකාවකි. 2014 වසරේ දී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ද ශ්‍රී ලංකාව නියෝජනය කළ ඇය 2016 වසරේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා කණ්ඩායම් ලෝකඩ පදක්කම දිනා ගන්නට ද සමත් විය.

කොළඹ කාන්තා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන ජිතාරා වර්ණකුලසූරිය ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන තවත් යොවුන් තරුවක්. දකුණු ආසියානු කනිෂ්ට මේස පන්දු තරගාවලි රැසක් නියෝජනය කර ඇති ඇය මෙවර තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ වැදගත්ම ක්‍රීඩිකාවක් ලෙස හැඳින්විය හැක.

කණ්ඩායමේ කළමනාකරු ලෙස චන්දන බණ්ඩාර මහතා කටයුතු කරන අතර ප්‍රධාන පුහුණුකරු වන්නේ ප්‍රවීණ මේස පන්දු පුහුණුකරුවෙකු වන බුද්ධික දික්කුඹුර මහතා ය. කාන්තා ක්‍රීඩිකාවන් භාරව ප්‍රියානි දිසානයක මහත්මිය කටයුතු කරනු ලබයි.

ඕස්ට්‍රේලියාව, එංගලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් රැසක් තරගාවලියට එක්වන අතර ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම අවසන් වරට පැවැත්වුනු පොදු රාජ්‍ය මණ්ඩලීය මේස පන්දු ශූරතාවයේ දී හත්වන ස්ථානය දිනාගත් අතර කාන්තා කණ්ඩායම පස්වන ස්ථානය දිනා ගන්නට සමත් විය.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ ආසියාවේ තෙවැනි තැනට

11 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා වන තරගය ශ්‍රී ලංකාව…

මෙම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් වන්නේ දෙසැම්බර් මස නේපාලයේ දී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට පෙර පුහුණුවක් ලෙස මෙම තරගාවලියට යොදාගන්නා බැවිනි.

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටි. රැඳී සිටින්න ක්‍රීඩාවේ අංක එකේ වෙබ් අඩවිය වන ThePapare.com සමඟ. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<