ගෙවුණු දවස පෙබරවාරි 09 – CH & FC තෙවැනි ස්ථානය දිනා ගනී

191
 

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

රොෂේන් සිල්වා ඉනිමේ ගැලවුම්කරු වෙයි

AFP PHOTO

මිර්පූර් පිටිය නැවත වතාවක් පන්දු යවන්නන්ටම යෝග්‍ය පිටියක් බැව් අනාවරණය කරමින් බංග්ලාදේශ – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (09) දිනයේ දී ද දෙපිලේම කඩුලු 14ක් බිඳ වැටුණ අතර පිතිකරුවන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 254ක් පමණි. ඉන් ලකුණු 200කම හිමිකාරීත්වය දෙවැනි ඉනිමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සතු වූහ.

පළමු ඉනිමේ සේ ම නැවත වතාවක් ශ්‍රී ලංකා ඉනිම කඩා වැටෙමින් තිබිය දී එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකා පිලේ ගැලවුම්කරු වීමට රොෂේන් සිල්වා සමත් විය. දෙවැනි දිනයට බේල්ස් ඉවත් කෙරෙන විට රොෂේන් පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් ද සමඟින් නොදැවී ලකුණු 58ක් ලබා සිටියේය.

සම්පූර්ණ වාර්තාව: රොෂේන් නැවත ගැලවුම්කරු වෙයි; ශ්‍රී ලංකාව ලකුණු 312ක් ඉදිරියෙන්


සාන්ත සෙබස්තියන්, තෝමස් හා තර්ස්ටන් විද්‍යාලවලට පූර්ණ ජයග්‍රහණ

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග රැසක් ඊයේ (9) අවසන් විය. ඒ අතුරෙන් මාතර සාන්ත තෝමස් විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාල පූර්ණ ජයග්‍රහණ ලබා ගන්නා ලදි.

මීට අමතරව අවසන් වූ තරග අතුරෙන් සාන්ත පීතර, ඉසිපතන සාන්ත මරියා, මහින්ද හා මහානාම යන විද්‍යාල පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගන්නා ලදි.

සම්පූර්ණ වාර්තාව: මුරලි – වාස් කුසලානයේ පළමු ඉනිමේ ජය ජෝසප්වරුන්ට


රග්බි –

CH, යුද හමුදා සහ නාවික හමුදාව ජය පැන් බොති

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන අදියරේ අවසන් සතිය යටතේ පොලිස් ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර ඊයේ (09) කොළඹ පොලිස් පාක් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් ලකුණු 36-43ක ජයග්‍රහණයක් හිමිකර ගන්නට යුද හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමඟ පැවති දෙවැනි තරගය ලකුණු 50-28ක් ලෙස ජය ගැනීමට නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත් විය. තරගය රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ දී පැවැත්විය.

CR & FC කණ්ඩායමත්, CH & FC කණ්ඩායමත් තුරඟ තරග පිටියේ දී තරග වැදුණු දිනයේ අවසන් තරගයේ දී ලකුණු 25-24ක තියුණු ජයක් ලබා ගැනීමට CH & FC ක්‍රීඩකයන් සමත් විය.

සම්පූර්ණ තරග වාර්තා සඳහා පිවිසෙන්න

දිනයක නිමාව