පළමු වෙඩි මුරය තැබීමට පාපන්දු ක්‍රීඩකයෝ සීරුවෙන් පෙළ ගැසෙති

64

2022 දී කටාර් රාජ්‍ය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට නියමිත FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුස්සන් තේරීමේ තරග මේ දිනවල ලොව පුරාම ක්‍රියාත්මක වෙමින් පවතී. 

ආසියානු කලාපය නියෝජනය කරමින් ලෝක කුසලානය සඳහා සටන් වඳින කණ්ඩායම් කිහිපය අතරට සුදුසුකම් ලබා ගැනීමට වසර ගණනාවකට පසු ශ්‍රී ලංකා කණ්ඩායමට අනගි අවස්ථාවක් උදා වී තිබෙන්නේ තෝරාගැනීමේ තරගාවලියේ දෙවන වටය දක්වා එක් වැදගත් ඉදිරි පියවරක් තැබීමට සමත්කම් දැක්වූ නිසාවෙනි.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට හිසරදයක්

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හා 2023 ආසියානු පාපන්දු කුසලානය සඳහා සුදුස්සන් තේරීමේ තරගාවලියේ..

ඒ අනුව H කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (05) දිනයේ දී දෙවන වටයේ තම මංගල සටන ටර්ක්මෙනිස්තානය කණ්ඩායමට එරෙහිව දියත් කිරීමට හොඳ සූදානමකින් පසුවන අතර අද (04) දිනයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් කණ්ඩායම් දෙකේම පුහුණුකරුවන් තරගය ජය ගැනීම සඳහා තම කණ්ඩායම් ඉතාමත් හොඳ පෙර සූදනමකින් පසුවන බව සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන නිසාම් පකීර් අලී මහතා විශේෂයෙන් සඳහන් කර සිටියේ තම ක්‍රීඩකයින් අවසන් මොහොත දක්වා තරගය ජය ගැනීමේ අභිලාශයෙන් ඔවුන්ගේ උපරිමය කණ්ඩායම වෙනුවෙන් ලබා දෙනු ඇතැයි තමා දැඩි ලෙස විශ්වාස කරන බවයි.

“අපේ ක්‍රීඩකයින් හෙට දිනයේ දී හොඳ තරගයක් ලබා දෙයි කියලා මගේ ලොකු විශ්වාසයක් තියෙනවා, මොකද පහුගිය කාලසමයේ දී අන්තර්ජාතික මට්ටමේ තරග අත්දැකීම් කිහිපයක්ම ලබා ගැනීමේ අවස්ථාව මටත්, මගේ කණ්ඩායමටත් උදා වුනා. විශේෂයෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි ආසියානු කලාපයේ ඉහළින්ම සිටින කණ්ඩායමක් එක්ක තරග වැඳිලා ගත්ත තරග අත්දැකීම් අපිට බොහෝ සෙයින් වැදගත් වුනා කියලා මම හිතනවා.”

තරගාවලිය ආරම්භ වීමට මත්තෙන් හදිසියේම කණ්ඩායමේ නායකත්වයෙහි වෙනසක් සිදු වූයේ කවර හේතුවක් නිසා දැයි මාධ්‍යවේදියෙකු නැඟූ පැනයට පිළිතුරු දෙමින් පකීර් මහතා සඳහන් කර සිටියේ කණ්ඩායමක් සාර්ථකත්වය කරා රැගෙන යාමේ කාර්‍යභරයෙහි වැඩි බරක් නායකයා වෙත පැවරෙන බැවින් ඒ සඳහා සුදුසුම පුද්ගලයා පත්කරගත යුතු බවයි.

ශ්‍රී ලංකා සටනින් ප්‍රබල ටර්ක්මෙනිස්තානුවන් දෙදෙනෙකු ඉවතට

කටාර් හීදී පැවැත්වීමට නියමිත 2022 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සහ 2023 ආසියානු කුසලාන තරගාවලිය…

“සුජාන් කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක් කියන එක අවිවාදයෙන් පිළිගත යුතුයි. නමුත් ඔහු මාලදිවයිනේ ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කරන නිසා ජාතික කණ්ඩායමත් එක්ක ගැටෙන්න තියෙන කාලසීමාව සාපේක්ෂව සීමිත වෙලා තිබුණේ. ඉතින් නායකයා කියන්නේ සෑම අවස්ථාවක දී ම කණ්ඩායමත් එක්ක එකට ඉඳගෙන කණ්ඩායමේ අවශ්‍යතාවන් සපුරාගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕන පුද්ගලයෙක්. ඒක නිසා තමයි කවිඳු ඉෂාන්ට නායකත්වය ලබා දෙන්න මූලිකවම හේතු වුනේ.”

H කාණ්ඩයේ සිටිනා අනෙක් කණ්ඩායම් සමඟ සසඳා බැලීමේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවනුයේ ජාත්‍යන්තර මට්ටමේ තරග අත්දැකීම් ඉතාමත් අල්ප ප්‍රමාණයක් නිසා ඔහු සඳහන් කර සිටියේ කණ්ඩායමේ ඉදිරි ගමන රඳා පවතිනුයේ ක්‍රීඩකයෙකු හෝ දෙදෙනෙකුගේ තනි දක්ෂතා මත නොව මුළු කණ්ඩායමේම  හැකියා දක්ෂතාවන්ගේ එකතුව මත පමණක් බවයි.

පළමු වටය සඳහා ක්‍රීඩා කළ සංචිතයේ කිසියම් වෙනසක් සිදුව ඇත් දැයි ඉදිරිපත් කළ පැනයට පිළිතුරු දෙමින් පකීර් මහතා කියා සිටියේ එම යොදා ගත් ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් සංචිතය ඒ අයුරින්ම දෙවන වටයේ තරග සඳහා ද යොදාගන්නා බවයි.

“කණ්ඩායමට නවකයින් කවුරුත් ඇතුළත් වෙලා නැහැ .කලින් යොදාගත්ත සංචිතයම මෙවරත් ක්‍රීඩා කරවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ක්‍රීඩකයින් 20ගෙන් සැදුම්ලත් සංචිතයක් මම දැනටමත් කළමණාකාරීත්වයට සහ ලේකම්තුමාට යොමුකරලා තියෙන්නේ. මගේ පැත්තෙන් සමබර කණ්ඩායමක් තෝරා පත්කරගැනීම මම කටයුතු කළා.”

ලෝක කුසලානයට සුදුසුකම් ගන්න ශ්‍රී ලංකාව තරමක් අපහසු කාණ්ඩයකට

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම FIFA ලෝක කුසලානයට හා 2023 ආසියානු කුසලානයට සුදුස්සන් තේරීමේ…

කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ආබාධයන්ට ගොදුරුව ඇති බැවින් ඔවුන්ගේ වත්මන් තත්වයන් පිළිබඳ විමසා බැලීමේ ඒ මහතා සඳහන් කර සිටියේ ජූඩ් සුමන් සහ උපනායක මොහොමඩ් ෆාසාල් හෙට දිනයේ තරග වැඳීම සඳහා හොඳ ශාරීරික යෝග්‍යතාවකින් පසුවන බවය.

“ආබාධවලට ලක්වෙලා සුව අතට හැරීමෙන් පස්සේ කණ්ඩායම සමඟ එකතු වුනු සෑම ක්‍රීඩකයෙක් එක්ක වගේම පෞද්ගලිකව මම කතා කළා. භෞතික චිකිත්සකවරයාගේ ද සහය ඇතිව කරපූ ශාරීරික යෝග්‍යතාව පිරික්සන පුහුණු පරීක්ෂණ කිහිපයකින්ම පස්සේ ෆසාල් සහ ජුඩ්ගේ ආබාධ සම්පූර්ණයෙන්ම සුව අතට හැරිලා ක්‍රීඩා කරන්න පුළුවන් උචිත මට්ටමක ඉන්නවා කියලා අපිට පසක් වුනා.”

ජාතික කණ්ඩායමට ලැබෙන තරග අත්දැකීම් සාපේක්ෂව අඩු මට්ටම පවතින නිසා ඉදිරියේ දී නව අවස්ථාවන් නිර්මාණය කරදෙමින් ක්‍රීඩකයින්ට තමන්ගේ අඩුපාඩු හඳුනාගෙන, තවදුරටත් ඔවුන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් ඔප්නංවා ගැනීමට ඉඩප්‍රස්තාව විවර කරදිය යුතු බව ද ඔහු සඳහන් කර සිටියේය.

අභිනවයෙන් පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කවිඳු ඉෂාන් ද මාධ්‍ය අමතමින් සඳහන් කර සිටියේ තමා ඇතුළු කණ්ඩායම සිය ආදරණීය ප්‍රේක්ෂක ජනයා ඉදිරියේ හොඳ සටනක් ටර්ක්මෙනිස්තාන කණ්ඩායමට එරෙහිව ලබා දීමට අපේක්ෂාවෙන් පසුවන බවයි.

“පිරිමි ළමයිනුත් එක්ක සෙල්ලම් කරනවා කියලා තාත්තා මට ගැහුවා.” – අන්ජු

බිලියනයකට වැඩි ජනගහනයක් සහිත ඉන්දියාවේ ළාබාලතම ‘A’ ශ්‍රේණියේ පුහුණුකාරිනිය බවට අන්ජු තුරඹේකර්…

“මේ අභියෝගය සාර්ථකව ජය ගැනීම සඳහා කායික වශයෙන්ම මානසිකවත් අපි ඉතාමත් ශක්තිමත් තැනක ඉන්නේ කියලා මට නොබියව කියන්න පුළුවන්. අපි අපේ උපරිමය හෙට දිනයේ දී පිටිය තුල ලබා දීලා මව්බිමට කීර්තියක් අත්කර දෙන්න තමයි වෑයම් කරන්නේ.”

මේ අතර ටර්ක්මෙනිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය හොඹවන අන්තේ මිස්සේ මහතා ද තරගය සහ තම කණ්ඩායමේ සූදානම පිළිබඳ ප්‍රකාශයන් කිහිපයක් ලබා දෙමින් සඳහන් කර සිටියේ හෙට දිනයේ පැවැත්වෙන තරගය එතරම් පහසු එකක් නොවනු ඇති බවයි.

“ඕනම තරගාවලියක පළමු තරගය කියන්නේ ඉතාමත් තීරණාත්මකයි ඒ වගේම අභියෝගාත්මකයි. මේ ගැන අපි කලින්ම හඳුනා ගෙන ඒ සඳහා හොඳින් පුහුණුවීම් කටයුතු වල නියැලුණා. ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳවත් අපි තරගයට පෙර හොඳ අධ්‍යයනයක් සිදු කළා. ඔවුන්ගෙත් නව මුහුණු කිහිපයක් තිබෙනවා.”

“අපි ශ්‍රී ලංකාවේ දේශගුණික තත්වයන් පිළිබඳ කල්තියා දැනගෙන සිටිය නිසා ඩුබායි වල පස්දින පුහුණු කඳවුරකට සහභාගී වෙලා ඒ තත්වයන්ට අනුගත වෙන්න ලොකු උත්සාහක නිරත වුනේ. නමුත් අපි ලංකාවට එනකොට නම් කාලගුණ තත්වයේ පැහැදිලි වෙනස් වීමක් තමයි දැකගන්න ලැබුණේ.”

“පිරිමි ළමයිනුත් එක්ක සෙල්ලම් කරනවා කියලා තාත්තා මට ගැහුවා.” – අන්ජු

බිලියනයකට වැඩි ජනගහනයක් සහිත ඉන්දියාවේ ළාබාලතම ‘A’ ශ්‍රේණියේ පුහුණුකාරිනිය බවට අන්ජු තුරඹේකර්…

මෙම තරගයෙන් අනතුරුව දින පහක් වැනි කෙටි කාලපරිච්ඡේදයක් තුල දී දකුණු කොරියාව වැනි ප්‍රබල කණ්ඩායමක් සමඟ තරග වැඳීමට නියමිත බැවින් එය ඔබ ඇතුළු කණ්ඩායමට අමතර පීඩනයක් ගෙන දෙන්නේ දැයි යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මිස්සේ මහතා ප්‍රකාශ කර සිටියේ ප්‍රථමයෙන්ම තම සම්පූර්ණ අවධානය ශ්‍රී ලංකා තරගයට පමණක්ම ලබා දීමට වගබලා ගන්නා බවය.

“අපි දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතාවන් සහ දුර්වලතාවන් මොනවා ද කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා හොඳ තරගයක් ලබා දෙන්න දිනය අවසානයේ දී.”

ටර්ක්මෙනිස්තාන නායක අර්ස්ලාන්මයිරට් අමානෝව් මාධ්‍ය අමතින් ප්‍රකාශ කර සිටියේ තමන් ඇතුළු කණ්ඩායමට සත්කාරකත්වය සපයමින් සිදු කරනා කාර්‍යභරයට සියලුම ශ්‍රී ලංකිකයන් හට තම කෘතවේදීත්වය පළකොට සිටින බවය.

“කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයින් දෙදෙනෙකු එකවරම ආබාධයන්ට ලක්වීම අපිට දැවැන්ත පාඩුවක් නමුත් දක්ෂ නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ඉන්නවා ඔවුන්ගෙන් පුරප්පාඩු වන හිස්තැන පුරවන්න. අලුත් කළමනාකාරිත්වයක් සහ අළුත් කණ්ඩායමත් එක්ක ඉදිරියේ දී දිගු ගමනක් යන්න අපි අපේක්ෂා කරනවා.”

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<