ජීවන්, සුරංග සහ වැන්ඩර්සේ හට මූලික සංචිතයේ දොර වැසේ

28883

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසානයත් සමඟ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය සහභාගී වන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය මේ මස 26 වැනිදා සිට 31 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා සහභාගී වන  ක්‍රීඩකයන් 22 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මූලික සංචිතය මේ වන විට තෝරාගෙන  තිබෙන බව ThePapare.com වෙත වාර්තා වේ.

ශ්‍රී ලංකාවට එන බංග්ලාදේශ එක්දින සංචිතය නම් කරයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසානයත් සමඟ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය සහභාගී වන පළමු…

“අපි ක්‍රීඩකයින් 22 දෙදෙනෙකුගෙන් සමන්විත සංචිතයක් දැනටමත් තෝරාගෙන තිබෙනවා. අපි තරගාවලිය පටන් ගන්න කලින්ම මූලික සංචිතයක් තෝරාගත්තේ අපිට මේ ක්‍රීඩකයින්ව ටිකක් අධ්‍යනය කරන්න ඕන නිසයි. මේ තරගාවලිය තියෙන්නේ අපේ රටේ නිසා අපි තරගයෙන් තරගයට අපේ සංචිත නම් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා වන අසන්ත ද මෙල් මහතා ThePapare.com වෙත පැවසීය. 

ඒ අනුව පසුගිය දා අවසන් වූ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ජීවන් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩර්සේ හා මිලින්ද සිරිවර්ධන යන ක්‍රීඩකයින් හට මේ මූලික සංචිතයේ සිය ස්ථානය අහිමි වී ඇත.

වයස අවුරුදු 36ක් වන ජීවන් මෙන්ඩිස් හට මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එතරම් සුබදායි නොවුනේ තරගාවලිය තරග 3කට ක්‍රීඩා කළ ඔහුට එකඳු කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකි වීම නිසාවෙනි. පිතිකරණයෙන් ද ඔහුට වාර්තා කරගැනීමට හැකි වූයේ ලකුණු 19ක් පමණි. සිරිවර්ධන හා වැන්ඩර්සේ යන දෙදෙනාට ද එසේම විය.

බ්‍රීස්කිගේ ශතකයෙන් ශ්‍රී ලංකා නැගී එන පිළට අභියෝගයක්!

දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමට එරෙහිව අද (18) ඇරඹුනු සිව් දින ටෙස්ට් තරගයේ මුල් දිනය…

ලසිත් මාලිංග මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුල ශ්‍රී ලංකාවේ ප්‍රධාන පන්දු යවන්නා ලෙස තරගාවලියට එකතු විය. සිය අවසන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ මාලිංග මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසානයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු දවා ගත් ක්‍රීඩකයා (තරග 7ක දී කඩුලු 13ක්) ලෙස තරගාවලිය නිමා කරන ලදි. 

“අපිට ඔහුව (ලසිත් මාලිංග) ඕන මේ තරග තුනම ක්‍රීඩා කරන්න. කොහොම වුනත් ඔහු මේ තරගාවලියේ දී විශ්‍රාම යනවා ද, එහෙම විශ්‍රාම යනවා නම් ඒ මොන තරගය ද, කියලා අපිට තවමත්  දැනුම් දීලා නැහැ.” යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ ද මෙල් මහතා පැවසීය.

ලෝක කුසලාන සංචිතයේ නොසිටි ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙක් වන නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ලහිරු කුමාර හා ශෙහාන් ජයසූරිය වැනි ක්‍රීඩකයින් හට නැවතත් ශ්‍රී ලංකා සංචිතයේ සිය ස්ථානය දිනා ගැනීම වෙනුවෙන් අවස්ථාව ලැබී තිබෙන්නේ බංග්ලාදේශ තරගාවලියට තරග වදින ශ්‍රී ලංකා මූලික සංචිතයට ඔවුන් තේරී පත්ව ඇති නිසාවෙනි. 

ශ්‍රී ලංකා A කණ්ඩායම පසුගිය දා ඉන්දීය A කණ්ඩායම සමඟ තරග කළ අතර එහි දී තරග 6කට සහභාගී වී ලකුණු 216ක් රැස්කර ගැනීමට දික්වැල්ල සමත් විය. තුන් ඉරියව් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය එම තරගාවලියේ ඉනිම් 4ක දී ලකුණු 320ක් වාර්තා කළේ ශතක දෙකක් ද සමඟිනි. 

දඟපන්දු යවන්නන්ගේ බල ඇණිය සවිමත් කිරීම වෙනුවෙන් ලෝක කුසලාන සංචිතයේ නොසිටි අකිල දනංජය, ලක්ෂාන් සඳකැන් හා අමිල අපොන්සු මේ මූලික සංචිතය සඳහා ඇතුළත් කොට තිබේ.

සිම්බාබ්වේ ඇතුළු රටවල් කිහිපයක ක්‍රිකට් සාමාජිකත්වය අහෝසි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක නිලධාරීන් ඇතුළු සාමාජිකයින්ගේ විශේෂ හමුවක් අද (19)…

එක්දින තරග 3කින් සමන්විත මෙම තරගාවලිය සඳහා බංග්ලාදේශ කණ්ඩායම ලබන 23 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත අතර ඔවුන් දින 10ක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇත. ලබන මස 26, 28 සහ 31 යන දිනයන්හි පැවැත්වීමට නියමිත මෙම තරග තුනම දිවා/රාත්‍රි තරග වශයෙන් පැවැත්වේ.

ශ්‍රී ලංකා මූලික සංචිතය  – දිමුත් කරුණාරත්න, කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු මදුසංක, ලහිරු තිරිමාන්න, ශෙශාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, අකිල දනංජය, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, අමිල අපොන්සු, දසුන් ශානක, තිසර පෙරේරා, ඉසුරු උදාන, ලසිත් මාලිංග, කසුන් රාජිත, ලහිරු කුමාර, නුවන් ප්‍රදීප්.

තරග කාලසටහන

  • ජූලි 23 – පුහුණු එක්දින ක්‍රිකට් තරගය කොළඹ පී. සරා ඕවල් ක්‍රිකට් පිටියේ දී
  • ජූලි 26 – පළමු එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී
  • ජූලි 28 – දෙවැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී
  • ජූලි 31 – තෙවැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී 

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් පුවත් ක්‍රිකට් සඳහා පිවිසෙන්න <<