යුධ හමුදා, මලියදේව බාලිකා, මියුසියස් හා ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය ශූරතා දිනති

1854

2018 ‘Eva’ සමස්ත ලංකා විවෘත දැල්පන්දු තරගාවලිය කොළඹ 2 ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනු අතර A කාණ්ඩයේ කාන්තා ශූරතාවය යුධ හමුදා ක්‍රීඩා සමාජය දිනාගද්දී, වයස අවුරුදු 19න් පහළ ශූරතාවය දිනා ගැනීමට කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සමත් විය.

මියුසියස් – ගේට්වේ මංගල දැල්පන්දු සංග්‍රාමයට සියල්ල සූදානම්

කොළඹ මියුසියස් විද්‍යාලය හා ගේට්වේ ජාත්‍යන්තර පාසල (Gateway College) පාසල් දැල්පන්දු පිටිය නවමු මානයකට ගෙන යමින් ඉතිහාසයේ පළමු වරට දැල්පන්දු…

මලියදේව බාලිකා විද්‍යාලය හා මියුසියස් විද්‍යාලය පිළිවෙළින් වයස අවුරුදු 17න් පහළ හා වයස අවුරුදු 15න් පහළ ශූරතා දිනා ගන්නා ලදි.

බස්නාහිර පළාත් දැල්පන්දු සංගමය තරගාවලිය සංවිධානය කළ අතර 13 වන වතාවටත් ‘International Cosmetics’ පෞද්ගලික සමාගම තරගාවලිය සඳහා අනුග්‍රහය දක්වන ලදි.

තරගාවලිය කාණ්ඩ හතරක් යටතේ පැවැත්වුණු අතර A කාණ්ඩය, B කාණ්ඩය, පාසල් කාණ්ඩය හා ප්‍රවීණයන්ගේ කාණ්ඩය යටතේ තරග පැවැත්විය. A කාණ්ඩය විවෘත කාන්තා හා විවෘත පිරිමි අංශවලින් සමන්විත වූ අතර B කාණ්ඩය විවෘත කාන්තා අංශයෙන් පමණක් සමන්විත විය.  

පාසල් කාණ්ඩය වයස අවුරුදු 15න් පහළ, 17න් පහළ, 19න් පහළ ලෙස වයස් කාණ්ඩ තුනක්  යටතේ පැවැත්වුණු අතර ප්‍රවිණයින්ගේ කාණ්ඩයට වයස අවුරුදු 40ට ඉහළ අංශය අයත් විය.

A කාණ්ඩය (කාන්තා) – EVA අභියෝගතා කුසලානය

එක්ස්පෝ ලංකා කණ්ඩායම ලකුණු 72-58ක් ලෙස පරාජය කළ යුධ හමුදා ක්‍රීඩා සමාජය A කාණ්ඩයේ කාන්තා ශූරතාව දිනා ගත් අතර ආරම්භයේ සිටම යුධ හමුදා ක්‍රීඩිකාවෝ තරගයේ පෙරමුණ ගැනීමට සමත් වූහ.

එක්ස්පෝ ලංකා කණ්ඩායමේ ෂෙරීන් නුගේරා A කාණ්ඩයේ වටිනාම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත් අතර යුධ හමුදා ක්‍රීඩා සමාජයේ තාරුකා අශ්විනි දැල්පන්දු රැජින ලෙස සම්මාන දිනා ගන්නා ලදි.  

පාසල් කාණ්ඩය (වයස අවුරුදු 19න් පහළ) – ‘Speed Birds’ අභියෝගතා කුසලානය  

කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය වයස අවුරුදු 19න් පහළ පාසල් ශූරතාවය දිනා ගත් අතර ඔවුන්ගේ අතින් ලකුණු 26-12ක් ලෙස ගම්පහ සිරිකුරුස විද්‍යාලය පරාජයට පත්විය.

ඔවුන් අවසන් පූර්ව වටයේ දී ලකුණු 11-09ක් ලෙස මහනුවර උසස් බාලිකා විද්‍යාලය පරාජය කළ අතර සිරිකුරුස විද්‍යාලය ලකුණු 15-13ක් ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය පරාජය කරමින් අවසන් මහා තරගයට පිවිසුණි.

කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ පබසරා තෙන්නකෝන් වයස අවුරුදු 19න් පහළ වයස් කාණ්ඩයේ වටිනාම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගන්නා ලදි.

පාසල් කාණ්ඩය (වයස අවුරුදු 17න් පහළ) – බස්නාහිර පළාත් අභියෝගතා කුසලානය  

කුරුණෑගල මලියදෙව බාලිකා විද්‍යාලය වයස අවුරුදු 17න් පහළ කාණ්ඩයේ ශූරතාව දිනාගත් අතර ඔවුන් අවසන් මහා තරගයේ දී ලකුණු 16-13ක් ලෙස ගෝතමී බාලිකා විද්‍යාලය පරාජය කරන ලදි.

ගෝතමී බාලිකා විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයේ දී මහනුවර හිල්වුඩ් විද්‍යාලය පරාජය කළ අතර මලියදේව බාලිකා විද්‍යාලය අවසන් පූර්ව තරගයේ දී ලකුණු 18-17ක් ලෙස ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය පරාජය කරන ලදි.

මලියදේව බාලිකා විද්‍යාලයේ සජිනි යාපා වයස අවුරුදු 17න් පහළ කාණ්ඩයේ වටිනාම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගන්නා ලදි.

පාසල් කාණ්ඩය (වයස අවුරුදු 15න් පහළ) – බස්නාහිර පළාත් අභියෝගතා කුසලානය  

ලකුණු 14-13ක් ලෙස තියුණු සටනකින් පසු කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය පරාජය කළ මියුසියස් විද්‍යාලය වයස අවුරුදු 15න් පහළ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

කිරිල්ලවල මධ්‍ය විද්‍යාලය ලකුණු 15-03ක් ලෙස පරාජය කරමින් කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය අවසන් මහා තරගයට පිවිසුණු අතර මහනුවර උසස් බාලිකා විද්‍යාලය ලකුණු 8-5ක් ලෙස පරාජය කරමින් මියුසියස් ක්‍රීඩිකාවෝ අවසන් තරගයට පිවිසියහ.

මියුසියස් විද්‍යාලයේ නෙතඟි ගුණරත්න මේ වයස් කාණ්ඩයේ වටිනාම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගන්නා ලදි.

A කාණ්ඩය (පිරිමි) – මැල්කම් අන්ද්රේ අනුස්මරණ අභියෝගතා කුසලානය

පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 14-9ක් ලෙස නෙට් ෆයර් ක්‍රීඩා සමාජය පරාජය කරමින් පිරිමි අංශයේ ශූරතාවය දිනා ගන්නා ලදි.

ගියවර ශූරයින් වූ යුනයිටඩ් ක්‍රීඩා සමාජය ලකුණු 33-27ක් ලෙස පරාජය කරමින් නෙට් ෆයර් ක්‍රීඩා සමාජය අවසන් තරගයට පිවිසුණු අතර අනුරාධපුර සමගි ක්‍රීඩා සමාජය ලකුණු 27-10ක් ලෙස පරාජය කරමින් පොලිස් ක්‍රීඩා සමාජය අවසන් වටයට පිවිසුණි.     

නෙට් ෆයර් ක්‍රීඩා සමාජයේ ප්‍රසන්න ඇලෝසියස් කාණ්ඩයේ වටිනාම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත් අතර පොලිස් ක්‍රීඩා සමාජයේ බණ්ඩාර සමරකෝන් දැල්පන්දු රජු ලෙස සම්මාන දිනා ගන්නා ලදි.

B කාණ්ඩය (කාන්තා) – Ulrika Fernando bar – Kumarakulasingham අනුස්මරණ අභියෝගතා කුසලානය  

නෙට් ෆයර් ක්‍රීඩා සමාජය B කාණ්ඩයේ කාන්තා ශූරතාවය දිනා ගත්තේ ලකුණු 16-11ක් ලෙස කැම්බල් පාක් ක්‍රීඩා සමාජය පරාජය කරමිනි.

අර්ධ අවසන් පූර්ව වටයේ දී නෙට්ෆයර් ක්‍රීඩා සමාජය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කණ්ඩායම ලකුණු 11-12ක් ලෙස පරාජය කළ අතර කැම්බල් පාක් ක්‍රීඩා සමාජය යුනයිටඩ් ක්‍රීඩා සමාජය ලකුණු 14-10ක් ලෙස පරාජය කරන ලදි.

මල්කි දිල්ශානි B කාණ්ඩයේ වටිනාම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගන්නා ලදි.

ප්‍රවීණයන්ගේ කාණ්ඩය (කාන්තා) – බස්නාහිර පළාත් අහියෝගතා කුසලානය

Panthas ක්‍රීඩා සමාජය ලකුණු 14-03ක් ලෙස පරාජය කරමින් Speed Birds ක්‍රීඩා සමාජය මෙම කාණ්ඩයේ ශූරතාවය දිනා ගන්නා ලදි.

චම්පා පෙරේරා මෙම කාණ්ඩයේ වටිනාම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගන්නා ලදි.

කුසලාන හා ජයග්‍රහණයන්

  • දැල්පන්දු රැජින – තාරුකා අශ්විනි (යුධ හමුදා ක්‍රීඩා සමාජය)
  • දැල්පන්දු රජු – බණ්ඩාර සමරකෝන් (පොලිස් ක්‍රීඩා සමාජය)

A කාණ්ඩය (කාන්තා)

  • ශූරතාවය – යුධ හමුදා ක්‍රීඩා සමාජය
  • අනුශූරතාවය – එක්ස්පෝ ලංකා
  • වටිනාම ක්‍රීඩිකාව – ශේරීන් නුගේරා (එක්ස්පෝ ලංකා)

A කාණ්ඩය (පිරිමි)

  • ශූරතාවය – පොලිස් ක්‍රීඩා සමාජය
  • අනුශූරතාවය – නෙට් ෆයර් ක්‍රීඩා සමාජය
  • වටිනාම ක්‍රීඩකයා – ප්‍රසන්න ඇලෝසියස් (නෙට් ෆයර් ක්‍රීඩා සමාජය)

B කාණ්ඩය (කාන්තා)

  • ශූරතාවය- නෙට් ෆයර් ක්‍රීඩා සමාජය
  • අනුශූරතාවය- කැම්බල් පාක් ක්‍රීඩා සමාජය
  • වටිනාම ක්‍රීඩිකාව – මල්කි දිල්ශානි (නෙට් ෆයර් ක්‍රීඩා සමාජය)

ප්‍රවිණයින්ගේ කාණ්ඩය (කාන්තා)

  • ශූරතාවය- ස්පීඩ් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය
  • අනුශූරතාවය- පැන්තාස්
  • වටිනාම ක්‍රීඩිකාව – චම්පා පෙරේරා (ස්පීඩ් බර්ඩ්ස්)

පාසල් කාණ්ඩය (19න් පහළ)

  • ශූරතාවය-ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය
  • අනුශූරතාවය-සිරි කුරුස විද්‍යාලය
  • වටිනාම ක්‍රීඩිකාව -පබසරා තෙන්නකෝන් (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය)

පාසල් කාණ්ඩය (17න් පහළ)

  • ශූරතාවය- මලියදේව බාලිකා විද්‍යාලය
  • අනුශූරතාවය-ගෝතමී බාලිකා විද්‍යාලය
  • වටිනාම ක්‍රීඩිකාව – සජිනි යාපා (මලියදේව බාලිකා විද්‍යාලය)

පාසල් කාණ්ඩය (15න් පහළ)

  • ශූරතාවය – මියුසියස් විද්‍යාලය
  • අනුශූරතාවය – ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය
  • වටිනාම ක්‍රීඩිකාව – නෙතඟි ගුණරත්න (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය)

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<