පාපන්දුවේ පාලන බලය අනුර සහ පිරිවරට

108

වසර 19කට පසුව පාපන්දු සම්මේලනය වෙනුවෙන් ඡන්ද විමසීමක් ඔස්සේ පිහිටුවන ලද පළමු පරිපාලනයේ සභාපති ධුරය ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම කළමනාකරුවකුද වූ අනුර ද සිල්වා මහතාට හිමි විය.

එහිදී අනුර ද සිල්වා මහතාට ඡන්ද 88ක් ලැබී තිබූ අතර ඔහුගේ ප්‍රතිවාදී අපේක්‍ෂක එන්. පකීර් අලී මහතාට ලැබී තිබුණේ ඡන්ද 50ක් පමණි.

ඒ අනුව අනුර ද සිල්වා මහතා අභිනව සභාපතිවරයා ලෙස වැඩි ඡන්ද 38ක් සහිතව ජය ලැබීය.

මේ අතර ලේකම් තනතුර සඳහා පැවැති ඡන්ද විමසීමේදී කොළඹ ශාන්ත ජෝශප් විදුහලින් බිහිවූ පාපන්දු ක්‍රීඩකයකු මෙන්ම ශ්‍රී ලංකා පිලේ පුහුණුකරුවකු ලෙසද කටයුතු කර තිබූ බාලේන්ද්‍ර ඇන්තනී මහතා වැඩි ඡන්ද 31ක් ලබමින් ජයගෙන තිබිණි.

ඇන්තනී මහතාට ඡන්ද 84ක්ද ඔහුගේ ප්‍රතිවාදියාවූ ක්ලෙමන්ට් ද සිල්වා මහතාට ඡන්ද 53ක්ද ලැබිණ.

මීට අමතරව භාණ්ඩාගාරික තනතුර සඳහා පැවැති තරගයේදී එම්.එස්.එම්. ෆස්ලාන් මහතා ඡන්ද 98ක් ලබමින් වැඩිම ඡන්ද ලාභියා බවට පත්වෙද්දී ඔහු සමඟ තරග වැදුණු යූ.එම්. පෙරේරාට ලැබී තිබුණේ ඡන්ද 37කි.

උප ලේකම් (පරිපාලන) හා උප ලේකම් තාක්‍ෂණික යන තනතුරු දෙකට හා උප භාණ්ඩාගාරික තනතුර සඳහා නාම යෝජනා භාරදී තිබූ පී.ජී.පී. පීරිස්, ටී.එන්.එච්. ආමධීන් හා එම්. නිමලදාසන් යන අපේක්‍ෂකයන් එදින ඉල්ලා අස්වූ බැවින් එම තනතුරුවලට යූ.එල්. රස්වර්, එම්.එස්.එම්. ෆායිස් හා සාගර පියතිලක නිතරගයෙන් තේරී පත්වූහ.

උප සභාපති ධුර 5 වෙනුවෙන් ඉදිරිපත්ව සිටි අපේක්‍ෂකයන් 10 දෙනාගෙන් එස්. ඇන්තනීපිල්ලේ (97), කේ.පී.පී. පතිරණ (96), එච්.ඩී.ඩබ්ලිව්. කාරියවසම් (86), නලීන් සිල්වා (83), රොබට් පීරිස් (82) අනුපිළිවෙලින් තේරී පත්වූ අතර ඇන්තනී ඩේවිඩ්සන් (48), එම්.අයි. මුතාලිෆ් (37), හසන් මෆුර් (34), තුවාල් ෆරීඩ් කාසීම් (29) හා ඒ.ජී. සුනිල් (26) යන අය පරාජයට පත්වූහ.

ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ ඉතා සාමකාමීව පැවැති මෙම නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනකුගේ හා එක් නිලධාරිනියකගේ අධීක්‍ෂණය යටතේ පැවැති අතර ඒ සඳහා විශේෂ අමුත්තකු ලෙස ආසියානු පාපන්දු සම්මේලනය නියෝජනය කරමින් මුම්.සී. සොන්ග් මහතා සහභාගි වී සිටීම විශේෂත්වයක් විය. තවද මෙම නිලවරණය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට අනුබද්ධ ක්‍රීඩා සමාජ 47න් 46කට ඡන්ද බලය හිමිව තිබූ අතර එක ක්‍රීඩා සමාජයකට ඡන්ද 3 බැගින් ඡන්ද 138ක් භාවිත වූහ.

සම්මේලනයට අනුබද්ධිත පාපන්දු විනිසුරුවන්ගේ සංගමය ඡන්ද බලය හිමිකම් නැති එකම සංගමය ලෙස සඳහන්ය.