රිච්මන්ඩ් විද්‍යාලය ඉනිමක ජයග්‍රහණයක් ලබමින් මෙවර තරග වාරය නිමා කරයි

1062

ආදරවන්තයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සතියක් පමණක් ඉතිරිව තිබිය දී 2018 පාසල් ක්‍රිකට් තරග වාරයේ අවසන් තරගයට සහභාගී වූ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම, එම පාසල් වාරය නිමා කරන්නේ ජයග්‍රාහී මානසිකත්වයෙන් යුක්තව ය.

සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (09) නිමා වූ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සමඟ වූ තරගයේ දී රිච්මන්ඩ් ක්‍රීඩකයෝ ඉනිමක සහ ලකුණු 27ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වෙන්නේ තරගයේ උදෑසන කාර්තුව සම්පූර්ණයෙන්ම අයහපත් කාලගුණ තත්ත්වයට බිලිව තිබිය දී වීම විශේෂ වේ.

ධනංජය කළ දේ ම හරීන් කරයි

සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (08) ආරම්භ වූ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය…

පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත ඇලෝසියස් විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබාගත් ලකුණු 34ට පිළිතුරු ලෙසින් පළමු ඉනිමට සියලුම දෙනා දැවී රිච්මන්ඩ් ක්‍රීඩකයෝ ලකුණු 202ක් ලබා ගත්හ. ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 168ක් පිටුපසින් සිටිමින් අද පිටියට පිවිසි සාන්ත ඇලෝසියස් විද්‍යාලයට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී 141ක් පමණි.

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පිටියේ විනිසුරුවන් වූ ජගත් නන්දකුමාර සහ අසංග ද සිල්වා යන මහත්වරුන්ගේ තීරණය වූයේ තරගයේ ආරම්භය දිවා විවේකය දක්වා පමා කිරීම ය. ඒ අනුව තරගය ආරම්භ වූයේ පස්වරු 12.40ට ය.

තම දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත ඇලෝසියස් ක්‍රීඩකයෝ තේ විවේකය වෙද්දී කඩුලු 6ක් දැවී ලකුණු 83ක් ලබා ඉතා අසරණ තත්ත්වයේ පසු වූහ. කඩා වැටෙන කඩුලු එකින් එක අතරේ යම් තරමකින් හෝ සාන්ත ඇලෝසියස් ඉනිම ගොඩ නැගුණේ 7 වැනි කඩුල්ලේ දී ය. ඒ පසිඳු කන්නංගර සහ මනුෂික සමිත් එක්ව එක් කළ ලකුණු 54යි. ඔවුන්ගේ දැවී යෑමත් සමඟ තේ විවේකයෙන් පසුව යැවුණ 21ක් වැනි පන්දු වාරයේ දී තරගයේ විසඳුම තමන්ට වාසිදායක කර ගැනීමට රිච්මන්ඩ් ක්‍රීඩකයෝ සමත් වූහ.

එම ඉනිමේ කැපී පෙණෙන පිතිකරු වූයේ පසිඳු නානායක්කාර ය. ඔහු පන්දු 64කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 30ක් වාර්තා කළේය. ඊට අමතරව මනුෂික සමිත් පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 23ක් ලබා ගන්නේය.

කළණගේ කඩුලු ත්‍රිත්වයෙන් වැඩි වාසිය සාන්ත තෝමස් කණ්ඩායමට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය අතීතයකට හිමිකම් කියන මෙරට පැරණිතම පාසල් ක්‍රිකට්…

සාන්ත ඇලෝසියස් ඉනිම පාලනය කිරීමේ දී දකුණතින් වේගපන්දු යැවූ අම්සි ද සිල්වා ලකුණු 24කට කඩුලු 5ක් දවා ගත්තේය. පළමු ඉනිමේ දී කඩුලු 6ක් ලබා ගනිමින් සාන්ත ඇලෝසියස් ඉනිම විනාශ කළ නායක ධනංජය ලක්ෂාන් දෙවැනි ඉනිමේ දී නැවත ක්‍රියාත්මක වෙමින් ලකුණු 55කට කඩුලු 3ක් ලබා ගත්තේය. එම දක්ෂතාවත් සමඟින් ඔහු තරගයේ දී ලකුණු 63කට කඩුලු 9ක් දවා ගැනීමට සමත් වෙන්නේය.

ඔවුන් දෙදෙනාට අමතරව සඳුන් මෙන්ඩිස් ද දෙවැනි ඉනිමේ දී අඩු ලකුණු ප්‍රමාණයක් ලබා දෙමින් කඩුලු 2ක් දවා ගන්නේය. ඒ ලකුණු 17ක් පමණක් ලබා දෙමිනි. සඳුන් මෙන්ඩිස් තරගයේ දී ලකුණු 25කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දක්වන්නේය.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 34 (27.4) ධනංජය ලක්ෂාන් 6/08, සඳුන් මෙන්ඩිස් 3/08

රිච්මන්ඩ් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 202 (67.5) ආදිත්‍ය සිරිවර්ධන 68, දිලුම් සුධීර 34, ධනංජය ලක්ෂාන් 36, හරීන් බුද්ධිල 6/48

සාන්ත ඇලෝසියස් විද්‍යාලය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 141 (52.0) පසිඳු නානායක්කාර 30, මනුෂ්ක සමිත් 23, අම්සි ද සිල්වා 5/24, ධනංජය ලක්ෂාන් 3/55, සඳුන් මෙන්ඩිස් 2/17

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<