ශ්‍රී ලංකා අන්තර් සමාජ රග්බි පිටිය තුළ පවා ඔවුන්ගෙන් තරම් නිර්වද්‍ය සහ අලංකාර රෝලින් මෝල්ස් (Rolling-mauls) අන්කවරෙකුගෙන් වත් දැකිය නොහැකිය. ඔවුන්ට තරම් අසැබි වදන් අන්කිසිවෙකුට නොලැබෙන්නේය. එහෙත් ඔවුන්ට තරම් ආඩම්බර පුහුණු කාර්ය මණ්ඩලයක් ද අන් කිසිවෙකුට නැත. සාපේක්ෂව ඔවුන්ගේ ප්‍රේක්ෂකයන් තරම් අනෙකාගේ විසුළු ඉවසිය හැකි ප්‍රේක්ෂකයන් මෙරට රග්බි ප්‍රේක්ෂකාගාරය තුළ අන් නැත. ඒ රාජකීය විද්‍යාලයීය රග්බි සංස්කෘතියයි.

ශ්‍රී ලංකා පාසල් රග්බි ඉතිහාසයේ සාර්ථකම ලීග් ශූරයන් කවුරුන් දැයි විමසන විට ලැබෙන පිළිතුරු විෂමාකාර වුවත්, පාසල් රග්බි ලීගයේ පැහැදිලි ගෞරවය හිමි විය යුතු කණ්ඩායමක් සිටියි. ඒ කොළඹ ඇකඩමිය ලෙස ඇරඹී පසුව එලිසබෙත් මහ රැජිණගේ “රාජකීය නම්බු නාමය” නිල වශයෙන් හිමි කර ගත් කොළඹ රාජකීය විද්‍යාලයයි.

lh3.googleusercontent.com – රාජකීය විද්‍යාලය

2000 වසරින් පසු 2018 වසර වන තෙක් සය වතාවක් පාසල් රග්බි ලීග් ශූරතාවය ජයග්‍රහණය කළ රාජකීය විද්‍යාලය 2017 සහ 2018 ශූරතාවයන් සනිටුහන් කරන්නේ පිට පිට ය. උක්ත කාලය තුළ ලීග් ශූරතාවය දෙවසරක් (2004-2005) පිට පිටම රැක ගත් අනෙක් කණ්ඩායම් දෙක වන්නේ ෆාසිල් මරීජා, එරන්ද වීරක්කොඩි, ගයාන් වීරරත්න වැනි සුපිරි ක්‍රීඩකයන්ගෙන් සමන්විත වූ කිංග්ස්වුඩ් විද්‍යාලය සහ රනුක ජයසූරිය, හරේන් ආරියවර්ධන නායකත්වය දුන් 2006-2007 සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම් පමණි.    

ඉතිහාසය කෙටියෙන්…

island.lk – රාජකීය සහ ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායම් (1924)

ශ්‍රී ලංකාවේ හොඳම පාසල් අතරින් නරකම ඇනුම් බැනුම් වලට ලක්වන පාසල රාජකීය විද්‍යාලයයි කීවාට වරදක් නැත. ශ්‍රී ලංකාවේ ප්‍රථම පාසල මෙය නොවුනත්, පාසලකින් සමාජයකට කළ හැකි වෙනස්කම් ගැන අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාවේ සියලුම පාසල් වලට ආදර්ශ සැපයුවේ රාජකීය විද්‍යාලයයි. බ්‍රිතාන්‍යයන්ගෙන් ලද ආභාසය නිසා රාජකීයයන් “සුදු මහත්වරුන්” ලෙස හැසිරෙනයුරු ආදර්ශයට ගත් අවශේෂ පාසල් ද අදාළ සම්ප්‍රදායන් තමන්ගේ ක්‍රමයකට ඈඳා ගැනීමට දැඩි උත්සාහයක් ගනු මේ වන විට දැකිය හැකිය. ඊට හොඳම උදාහරණය පාසල් මහා ක්‍රිකට් තරගාවලි වේ. රග්බි ක්‍රීඩාවට ද එසේම ය.

ඔවුන් විනෝදකාමී ය

ලොවටම මහා ක්‍රිකට් තරග සංස්කෘතිය හඳුන්වා දුන් අභිමානවත් රාජකීය විදුහල, රග්බි ක්‍රීඩාවට පිවිසෙන්නේ L.E. බ්ලසේ මැතිතුමන් විසින් ශ්‍රී ලංකා පාසල් වලට රග්බි ක්‍රීඩාව හඳුන්වා දීමෙන් පසු ය. මුලින් සුහද තරග ලෙස පැවැත්වුණු පාසල් රග්බි තරග විවිධ නම් වලින් පැවැත්විණි. උදාහරණයක් ලෙස බ්‍රැඩ්බි පළිහ (රාජකීය – ත්‍රිත්ව), L.E. බ්ලසේ කුසලානය (වෙස්ලි – කිංස්වුඩ්) අද වන විටත් සාම්ප්‍රදායිකව පැවැත්වේ. එහෙත් අද ඒවායේ තරගකාරී බව අතිශයින්ම ඉහළ මට්ටමක පවතියි.

රාජකීය විද්‍යාලයීය ධජය

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ සෑම ඓතිහාසික පාසල් සංධිස්ථානයකම සටහන් වන පරිදි රාජකීය විද්‍යාලයීය නාමය පාසල් රග්බි ක්‍රීඩාව තුළ ද සටහන් විය.

පැරණිතම කණ්ඩායම?

1906 වසරේ මහනුවර දී ආරම්භ වූ පළමු පාසල් රග්බි තරගයට ක්‍රීඩා කළේ කිංග්ස්වුඩ් විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය වුවත්, එය එක දිගට ක්‍රීඩා කෙරුණේ නැත. කිංග්ස්වුඩ් – ත්‍රිත්ව රග්බි තරගය 1920 දශකය වන විට නැවතීමකට ලක්වූවත් ශ්‍රී ලංකා පාසල් රග්බි ප්‍රේක්ෂකයන්ට කනගාටුවන්නට කිසිවක් ඉතිරි නොකරමින් රාජකීය – ත්‍රිත්ව බ්‍රැඩ්බි පළිහ තරග මාලාව ඇරඹිණි. මේ වන විට ප්ලැටිනම් ජුබිලිය ද (වසර 74) පසුකොට ඇති ශ්‍රී ලංකා පාසල් රග්බි ක්‍රීඩාවේ මල් මාලය නොහොත් බ්‍රැඩ්බි පළිහ රග්බි තරග මාලාව, පාසල් මහා ක්‍රිකට් තරගයෙන් පසුව රාජකීයයන් අතින් සැමරෙන මීළඟ “මහා තරග ඉසව්වයි”.

එය ඇතැම් විට බරපතළ ප්‍රේමයකි

ශත වර්ෂයකට ආසන්න ඉතිහාසයක් තුළ රාජකීය විද්‍යාලයීය රග්බි කණ්ඩායම 16 වතාවක් පාසල් ලීග් ශූරතාවය තමන් සතුකරගෙන ඇත. 1973 වසරේ ඇරඹි පළමු නිල පාසල් ලීග් ශූරතාවයේ සම-ශූරතාවය ද ඇතුළුව අපරාජිත ශූරතාවයන් 3ක් ද ඊට ඇතුළත් ය.

2017 ජයග්‍රාහී රාජකීය කණ්ඩායම

රාජකීයයන් විශේෂ ඇයි?

රටකට වුවත් “උරුමය” අතිශයින් වැදගත් ය. මෙරට අප පවා සමහර වෙලාවල් වලදී වසර දහස් ගණනක අතීත වරුණාව වණන්නන් ය. ඉන් වර්තමානයට ලැබෙන පාඩම් සහ පන්නරය ගැන අමුතුවෙන් නොකිවමනා ය. කෙතරම් දේශපාලනික, ආර්ථික සහ සමාජීය ගැටලු මැද වුවද තිස් අවුරුදු සිවිල් යුද්ධයක් පවා යුධමය වශයෙන් පරාජය කරන්නට අවශ්‍ය පන්නරය මෙරට මහජනතාවට (ආරක්ෂක සේවා, බදු ගෙවන්නන්) ලැබෙන්නේ ඒ අතීත උරුමයට පින් සිදු වන්නට ය. සාමාන්‍ය ජනයා හැටියට අප යුද්ධ අගය කරන්නන් නොවේ. එහෙත් පැවති තත්වය යටතේ සොල්දාදුවන්ට සහ පීඩිත ජනයාට ශක්තිය ගෙන එන යම් හේතු කාරණාවක අවශ්‍යතාවය තිබිණි. එය උරුමයයි. ඕනෑම කාර්යයක් සාර්ථක කර ගැනීමට කයට පෙර සිතට ශක්තිය තිබිය යුතුය.

රාජකීයයන්ට ද එසේමය. වසර 183ක ඉතිහාසය තුළ දායාද වූ “උරුමයෙන් ලබන ශක්තිය” අන් කිසිවෙකුට තේරුම් ගත නොහැක්කකි. මෙරට මංගල පාසල් ලීග් ශූරතාවයේ ද සම-ශූරයන් වූ අභිමානය සහ වැඩිම වරක් පාසල් ලීග් ශූරයන් වූ අභිමානය රාජකීය කණ්ඩායම තුළ නොඅඩුව තැන්පත් ය. මෙරට ශ්‍රේෂ්ඨයන් නිර්මාණය කළ විද්‍යාලයේ අභිමානය ඔවුන් තුළ තැන්පත් ය.

හදේ තැන්පත් වූ රාජකීය අභිමානය

“We will learn of books and men and learn to play the game” යන පාඨය සෑම උදෑසනකම ගයන රාජකීයයන් එහි “game” යන කොටස පළමුවෙන්ම උගනින්නේ පාසලේ කණ්ඩායම් ක්‍රියාකාරකම් වලිනි. “ක්‍රීඩාව” එහි මූලිකාංගයයි. ඔවුන් පිටියට පැමිණෙන්නේ අභිමානවත් උරුමයක් සමඟින් වන බැවින් ඔවුන්ට එම අභිමානය රැක ගැනීමේ වගකීම හොඳින් දැනේ.

රැක ගත යුතු උරුමයක පණිවුඩය

තරග විනය

රාජකීය විදුහලේ සියයකට ආසන්න ක්‍රීඩා කණ්ඩායම් ගණනක් සිටිය ද පාසලේ සොහොයුරන් විසින් වඩාත්ම ගෞරවයෙන් වැළඳ ගන්නා පාසල් කණ්ඩායම් දෙක අවිවාදයෙන්ම ක්‍රිකට් සහ රග්බි කණ්ඩායම් දෙක ය. පාසල තුළ දී ලැබෙන ගෞරවය රැක ගැනීමේ වගකීම රාජකීය රග්බි ක්‍රීඩකයන්ට පිටිය මැද දී ලැබෙන්නකි. ඔවුන්ට නිතැතින්ම ලැබෙන ගෞරවය නිසා ඔවුන් ගෞරවය සඳහා චන්ඩිකම් පාන්නන් වන්නේ නැත. ඔවුන්ට ඊට වැඩි වගකීමක් ඇත.

සටන තමන් සමඟ ය

මෙම තරග වාරයේ (2018) අප ඔවුන්ගෙන් දුටු ප්‍රධානතම ශක්තිය විනය යැයි කිව හැකිය. පෙළ ආරක්ෂකයන් ලෙස ඔවුන් රග්බි පිටිය මැද කිසිදු කලබලයකින් තොරව ස්ථානගත වී සිටිනු ඔබ දකින්නට ඇති. ප්‍රතිවාදීන් කෙතරම් ඒ ආරක්ෂක බැම්ම බිඳලන්නට ප්‍රයත්න දැරුවත්, එය එතරම් පහසු කටයුත්තක් වූයේ නැත. එකවර ප්‍රතිවාදීන් දෙතුන් දෙනෙකුගේ අභියෝගයට පවා උර තැබීමේ කැපවීම ඔවුන්ගේ විනයේ කොටසක් යැයි කිව හැකිය. මතක හිටින අයුරින් රාජකීය ආරක්ෂක බැම්ම බිඳ හෙලූ එකම ක්‍රීඩකයා වෙස්ලි විද්‍යාලයේ මුර්ෂිඩ් සුබයිර් ය. රාජකීයයන්ට කරට-කර තරගයක් තිබූ එකම තරගය එයයි (රාජකීය 18-17 වෙස්ලි). ඒ හැරෙන්නට පන්දුව දෙපසට විහිදීම විනා, අනෙකුත් කණ්ඩායම් වලට රාජකීය ආරක්ෂක බැම්ම මැදින් රිංගීම කිසිසේත්ම කළ නොහැකි විය. මාස දෙකකට වැඩි මුළු තරග වාරය පුරාවටම රාජකීයයන් විසින් ප්‍රතිවාදීන්ට ලබා දුන් ලකුණු ප්‍රමාණය 78ක් පමණි. රාජකීයයන්ට එරෙහිව අංක දෙකේ ලකුණු වාර්තා කළේ කණ්ඩායම් හතරක් පමණ ය.

රාජකීය ආරක්ෂණයක්

එමෙන්ම අනවශ්‍ය කහ කාඩ්පත් සහ අනවශ්‍ය ගැටුම් මේ ශූර කණ්ඩායමෙන් දැකිය නොහැකි විය. පිටියේ දී සිදු වූ සුළු වැරදි කිහිපයකට ලද කහ කාඩ්පත් හැර, උවමනාවෙන්ම වැරදි වල පැටලීමේ අවශ්‍යතාවයක් ඔවුන්ට නොතිබිණි. සමහර අවස්ථාවන් වලදී ප්‍රතිවාදීන් විසින් උපක්‍රමිකව රාජකීයයන්ව සටනකට ඈඳා ගන්නට ගත් උත්සාහයන් ද ව්‍යර්ථ කරන්නට මේ ක්‍රීඩකයන්ගේ ඉහළ මානසික සූදානම හේතුවක් විය.

රාජකීය විද්‍යාලයීය රග්බි පුහුණුකරු දුෂාන්ත් ලෙව්කේ

රාජකීය විදුහලේ ක්‍රීඩකයන්ට ශක්තිය අතින් හෝ ක්‍රීඩා දස්කම් අතින් දියුණු කර ගැනීමට එතරම් යමක් නොතිබූ බැවින්, බුද්ධිමත් රග්බි ක්‍රීඩකයන්ගේ කණ්ඩායමක් නිර්මාණය කිරීමට රාජකීය විද්‍යාලයීය පුහුණුකරු දුෂාන්ත් ලෙව්කේ ගෙන තිබූ පියවරයන් සෑම අයුරකින්ම පැසසිය යුතුය. ඔහුගේ උත්සාහයේ සාර්ථකත්වය පිටිය මැද දී සෑම විටකම ප්‍රදර්ශනය විය. ඔවුන් ඉලක්ක කළේ ජයග්‍රහණය පමණ ය. වාග් සටන් හෝ මුෂ්ටි සටන් නොවේ.

සටන් කළයුත්තේ ක්‍රීඩා දස්කම් වලිනි

රාජකීය රග්බි උරුමයේ ප්‍රධාන කොටසක් ලෙස පෙර පෙළ ක්‍රීඩකයන්ව හැඳින්විය හැකිය. අනාදිමත් කාලයක සිට පෙර පෙළින් එන ශක්තිය උතුරු අර්ධගෝලයේ රග්බි කණ්ඩායම් (අයර්ලන්තය, එංගලන්තය, ස්කොට්ලන්තය) වලින් රාජකීයයන්ට උරුම වූවක් යැයි සිතිය හැකිය. එහි රහස් සූත්‍රය මේ වන තෙක් අන් කිසිදු පාසලකට හසුවී නොමැති අතර රාජකීයයන්ගේ පැත්තෙන් ඒ ශක්තිය දෙගුණ තෙගුණ වෙමින් පවතියි. හිමන්ත හිරුෂාන් ප්‍රමුඛ රාජකීය ඉදිරි පෙළ මේ තරග වාරයේ දී සිදු කළ දෑ සුවිශේෂී ය.

රාජකීය පෙර පෙළ

රෝලින් මෝල් (Rolling-maul) යන පෙර පෙළ උපක්‍රමය තිතටම ප්‍රගුණ කළ “ශ්‍රී ලංකාවේ එකම රග්බි කණ්ඩායම” රාජකීය විද්‍යාලයීය රග්බි කණ්ඩායම යැයි කිසිදු සැකයකින් තොරව කිව හැකිය. ප්‍රතිවාදී ගෝල සීමාවට මීටර 05-10 අතර ලැබුණු සෑම ලයින් අවුට් (Line-out) අවස්ථාවක දී ම රාජකීයයන් නොනවතින රැල්ලක් මෙන් පෙරළෙමින් ඉදිරියට ගොස් උත්සාහක දිනුම් වාර්තා කරන්නට විය. එහෙත් පෙර පෙළ දස්කම් රාජකීය විදුහලේ උපන්ගෙයි දස්කම් ය. මෙවර කණ්ඩායම විශේෂ වන්නේ කුමක් නිසා ද?

මේ අයර්ලන්ත, එංගලන්ත උරුමයක විශේෂතා ය

අප ඉස්සර කතාවට කියන්නේ “ලයින් එකේ හොඳ දෙන්නෙක් හිටිය නම් රෝයල් එක ලීග් එක ගහනවා” කියා ය. එතරම් රාජකීය පෙර පෙළ ශක්තිමත් ය. එහෙත් වසර ගණනාවක් පුරා රාජකීය විදුහලේ පසු පෙළ රේඛාවට අවශ්‍ය “විශේෂ ක්‍රීඩකයන්ගේ” අඩුවක් පවතියි. මේ වසර විශේෂ ය. එවන් “විශේෂ ක්‍රීඩකයන්” රාජකීය පසු පෙළට එක්වන සෑම වසරක දී ම රාජකීයයන් ලීග් තරගාවලිය අවසන් කළේ ශූරයන් ලෙස ය.

රාජකීය සෙන්ටර් ක්‍රීඩක, ජනිඳු ඩිල්ෂාන්

2002/03 තරග වාරයේ දී කිසිවෙකුට සම කළ නොහැකි රාජකීය විද්‍යාලයීය රග්බි කණ්ඩායමක් අපි දුටිමු. වත්මන් පුහුණුකරු දුෂාන්ත් ලෙව්කේ අංක 8 ක්‍රීඩකයා වූ එහි පසු පෙළ සමන්විත වූයේ සුල්කි හමීඩ්, රජිත් ජයසුන්දර, ලක්ෂ්මන් දිසානායක, ෂිහාබ් බහුඩීන් ආදී මෙරට සුපිරි ගණයේ රග්බි ක්‍රීඩකයන්ගෙනි. රාජකීයයන් ලීග් ශූරයන් බවට පත්වූ අතර බ්‍රැඩ්බි පළිහ ඔවුන් විසින් ජයග්‍රහණය කළේ 83-00ක මුළු ලකුණු එකතුවකිනි.

2002/03 නායක සුල්කි හමීඩ්

2011 ෂෙහාන් පතිරණගේ නායකත්වයෙන් රාජකීය කණ්ඩායම ලීග් ශූරතාවය දිනා ගන්නා විට ද අර්ෂාඩ් ජමාල්ඩීන්, ඩේමියන් රත්වත්තේ වැනි දක්ෂ පසු පෙළ ක්‍රීඩකයන් රාජකීයයන් සතු විය. මේ වසරේ දී සාබිත් ෆෙරෝස්, ජනිඳු ඩිල්ෂාන්, තුලෙයිබ් හසන් වැනි නමගිය පසු පෙළ පාසල් ක්‍රීඩකයන් රාජකීය විදුහල සතු වීම නිසා ඉහත කී කාරණය යළිත් සනාථ විය.

දුලාන් ගුණවර්ධන

එමෙන්ම මෙම තරග වාරයේ දී පාසල් ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ පළමු වසරට එක්වූ දුලාන් ගුණවර්ධන තම පාදයෙන් කණ්ඩායම් වෙනුවෙන් දැක්වූ දස්කම් ගැන විශේෂ ඇසකින් බැලිය යුතුය. කෙළින් ලද අවස්ථාවලට වඩා අපහසු ප්‍රවර්තන අවස්ථා සාර්ථක කර ගනිමින් රාජකීයයන්ට ලකුණු ගෙන ඒමට ඔහුට හැකි වීම නිසා ප්‍රතිවාදීන්ට තවත් අභියෝගයක් හිමි විය.

මේ තරග වාරය තුළ පමණක් තරග 9ක දී රාජකීය කණ්ඩායම රැස්කළ ලකුණු 328 සාමාන්‍යයක් ලෙස ගතහොත් රාජකීයයන් තරගයකට රැස්කළ ලකුණු සංඛ්‍යාව 36.44කි (සෑම මිනිත්තු දෙකකටම එක් ලකුණක්). තරගයකට වාර්තා වූ උත්සාහක දිනුම් සාමාන්‍යය 5.5කි. මේ සියල්ල ඔවුන් සිදු කළේ පාසල් තරග කාලය මිනිත්තු 70ක් දක්වා අඩු කළ පසුබිමකයි.

නායක සාබිත් ෆෙරෝස් පන්දුව අතැතිව

2018 අවසන් ලීග් තරගය සඳහා රාජකීයයන් හමු වූ සාන්ත පීතර විද්‍යාලය රාජකීය දස්කම් එළිය කරන්නට සුදුසුම අභියෝගය විය. දෙපිලටම ඒ තරගයේ ජයග්‍රහණයෙන් ලීග් ශූරතාවය කරා යෑමේ හැකියාව තිබිණි. අපරාජිත රාජකීය විද්‍යාලය සිය අපරාජිත බව රැක ගනිමින් තරගය ජයග්‍රහණය කළේ ලකුණු 32-13ක් වශයෙනි. දිවයිනේ තෙවැනි දීර්ඝතම රග්බි තරගය සේ සැලකෙන රාජකීය – පීතර රග්බි සටනේ (B.C. අංගි කුසලානය) ජයග්‍රහණය ඔවුන් වාර්තා කළේ 53 වැනි වරටයි.

එය දෙමසකට අධික කාලයක මෙහෙයුමකි

පෙර වසරේදීත් (2017) ප්‍රතිවාදී දැවැන්තයා (ත්‍රිත්ව) සමඟින් ලීග් තරග වාරයේ තීරණාත්මක අවසන් තරගය ජය ගත් රාජකීය විදුහල, එම ශූරතාවය මේ වසරේදීත් රැක ගැනීම සඳහා අවසන් තරගයේ දී “වසරේ ප්‍රතිවාදී දැවැන්තයා” (පීතර) හමුවී ජය ගැනීම රාජකීය කණ්ඩායමේ කායික සහ මානසික ශක්තිය මැනවින් විදහා පෑවේය.

ජයග්‍රාහී 2018 රාජකීය විද්‍යාලයීය රග්බි කණ්ඩායම

තරග වාරය අවසන් ය. ශූරතාවය කොළඹ – 07ට නතුවී අවසන් ය. නායක සාබිත් ෆෙරෝස්, උප නායක මලීෂ මධුමෙවන් ඇතුළු සම්පූර්ණ රාජකීය විද්‍යාලයීය කණ්ඩායම ද, දුෂාන්ත් ලෙව්කේ, මොහොමඩ් ෂෙරීෆ් ඇතුළු පුහුණු කාර්ය මණ්ඩලය ද රාජකීයයන්ට තවත් ප්‍රීතිජනක වසරක් අවසන් කිරීමේ වරම ලබා දී ඇත. එහෙත් මේ පොහොසත් උරුමයක තවත් එක් පියවරක් පමණි. රාජකීයයන්ගෙන් තව තවත් ඉදිරියට මෙරට පාසල් රග්බි ක්‍රීඩාව වෙනත් තලයකට රැගෙන යෑම සඳහා බොහෝ දේ බලාපොරොත්තු විය හැකිය. වැජඹේවා! (Floreat!)

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<