ගියවර අනුශූර මොරටු ක්‍රීඩකයෝ මෙවර ශූරතාවය වෙනුවෙන් කැපවෙති

600

පාසල් රග්බි පිටිය හා ක්‍රීඩා සමාජ පිටිය සේම අද වන විට විශ්ව විද්‍යාල පිටිය ද ජාත්‍යන්තරය ජය ගන්නට ක්‍රීඩකයන් නිපදවීම අරඹා ඇති අතර ThePapare.com අප ගෙන එන 2018 විශ්ව විද්‍යාල රග්බි ලීග් තරගාවලියේ තරග කරන කණ්ඩායම්වල ලිපි පෙළෙහි මේ ලිපිය වෙන් වන්නේ ගියවර විශ්ව විද්‍යාල රග්බි තරගාවලියේ අනුශූරතාව දිනූ මොරටුව විශ්ව විද්‍යාලය වෙනුවෙනි.

සිව්වැනි තැනින් ප්‍රථම තැනට එන්නට වෙර දරණ ජ’පුර සංචිතය

අන්තර් විශ්ව විද්‍යාල රග්බි තරගාවලියට තවත් ඉතිරිව ඇත්තේ සතියක පමණ කාලයකි. මෙවර..

“මෝරා රග්බි” නමින් රටම හඳුනා ගන්නා මොරටුව විශ්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායම සාමාන්‍යයෙන් අනෙකුත් විශ්ව විද්‍යාවල කණ්ඩායම්වලට සාපේක්ෂව තරමක් ඉදිරියෙන් සිටිනා බව පැවසිය යුතුය.

අන්තර් සමාජ මට්ටමේ ක්‍රීඩකයින් මෙන්ම පෞද්ගලික විශ්ව විද්‍යාල මට්ටමේ ක්‍රීඩකයින් පවා සහභාගී වන “මෝරා සෙවන්ස්” නම් තරගාවලියක් සංවිධානය කරමින් ඔවුන්, වසරක් පාසාම ශ්‍රී ලංකාවේ දක්ෂ රග්බි ක්‍රීඩකයින් සමඟ උරෙනුර ගැටෙමින් තම දක්ෂතා ඔප් නංවා ගනී.

ඔවුන්ගේ රග්බි ඉතිහාසය තුල ලබා ඇති ජයග්‍රහණ දෙස බැලීමේ දී විශ්ව විද්‍යාල ක්‍රීඩා පිටිය තුල අණසක පතුරවන්නට ඔවුන් සමත් වූ වාර අනන්තය. විශ්ව විද්‍යාල පිටියෙන් ඔබ්බට යමින් අන්තර් සමාජ මට්ටමේ දීත් ඔවුන් දස්කම් දක්වන්නට වීම සතුටට කරුණක්.

ඔවුන් ලබා ගත් ජයග්‍රහණ අතර 2016 වසරේ දී C කාණ්ඩයේ පලඟ ශූරතාවේ අවසන් පූර්ව වටයට පැමිණීමත්, 2017 සහ 2018 වසරවල කුසලාන අවසන් පූර්ව වටයට පැමිණීමත් දැක්විය හැකිය.

මොරටුව විශ්ව විද්‍යාලයේ ජයග්‍රාහී ඉතිහාසය දෙස හැරී බලන කල අන්තර් විශ්ව විද්‍යාල රග්බි ශූරතාව පිට පිට 4 වතාවක්ම (2013-2016) ද්විත්ව සමස්ත ශූරතාව ද සමඟින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාවේ එකම විශ්ව විද්‍යාලය ලෙස ද මොරටුව විශ්ව විද්‍යාලය වාර්තා පොත් අතරට  එක්වී තිබේ.

පසුගිය දා නිමා වූ ලෝක විශ්ව විද්‍යාල සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කළ ක්‍රීඩකයන් දෙදෙනෙකු වන අනූජ වීරකෝන්, සචින් නිශ්ශංකාරච්චි ද මෙවර මොරටුව කණ්ඩායම නියෝජනය කිරීම විශේෂත්වයකි. ගියවර තරගාවලියේ දී මොරටු කණ්ඩායම මහේෂ් වීරකෝන් විසින් මෙහෙය වූ අතර ඉතා හොඳ තරග වාරයක් අවසන් කරමින් තරගාවලියේ අනුශූරයන් බවට පත්වන්නට ඔවුන් සමත් විය.

මෙවර සංචිතයේ නායකත්වය සචින් නිශ්ශංකාරච්චි විසින් දරණ අතර දිවයිනේ ජනප්‍රිය පාසල් කණ්ඩායම් රැසක් නියෝජනය කළ ක්‍රීඩකයන්ගෙන් මෙවර සංචිතය සමන්විත වේ.

මොරටුව විශ්ව විද්‍යාලයේ නායක සචින් ThePapare.com වෙත අදහස් දක්වමින් පවසා සිටියේ මෙවැන්නක්.

“ඇත්තටම අපිට හොඳ කණ්ඩායමක් ඉන්නවා, ගිය පාර අපි Finals පැරදුණා, ඒත් හොඳ තරගයක් දුන්නා අපි, මේ පාර අපි වෙනස්ම විදිහකට තමයි එන්නේ, අපේ Pack එකත් හොඳයි, ඇත්තටම Line එකත් හොඳයි, ඒ හින්ද මේ  පාර අපිට දිනන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා.”

“නැමීබියාවේ තිබුණු තරගාවලියේ දීත් ගොඩක් අත්දැකීම් ලැබුණු නිසා අපි ඒවා මේ තරගාවලියට යොදා ගන්නා බලාපොරොත්තු වෙනවා,මාත් එක්ක අනූජත් ගියා, ඒ හින්දා අපි හොඳින් මේ පාර තරගාවලියට මුහුණ දෙනවා.”

කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස ශ්‍රී ලංකාවේ තවත් ප්‍රවීණ පුහුණුකරු දෙදෙනෙක් වන හිෂාම් ආබ්දීන් මහතා සහ චමින්ද රත්නායක මහතා කටයුතු කරයි.

“පුහුණුකරුවෝ ගැන කතා කළොත් අපිට ඉන්නවා ලංකාවේ බිහි කරපු හොඳම පුහුණුකරුවෙක්, ආබ්දීන් සර් ඒ වගේම චමින්ද සර් අපේ Trainer ගෙනුත් අපිට ලොකු සපෝර්ට් එකක් ලැබෙනවා, ඒ වගේම තමයි ලක්ෂ්මන් සර්, අපේ In-charge සර්, සර්වත් මතක් කරන්නම ඕන, ඒ හැමෝගෙම සහයෝගයෙන් මේ පාර ශූරතාවය මොරටුවට ගේන්න තමයි අපේ බලාපොරොත්තුව.” යැයි සචින් වැඩිදුරටත් පැවසීය.

සංචිතය මෙසේයි.

සචින් නිශ්ශංකාරච්චි, කෝලිත මිගාර, රවිඳු ජයසේකර, සචිත උපේක්ෂ, දමිත්‍ර තාඹුගල, අනූප ඒකනායක, චමල් පලිහදාරු, චතුක වික්‍රමසිංහ, සන්දීම සමරසිංහ, සහන් මාරසිංහ,  ලකිත රඹුක්කනගේ, සජීව දිල්ෂාන්, විජේසන්දිරන් දිනුෂාන්, විශ්ව පනාපිටිය, කේෂන් දුල්ෂර, මාලක ද සිල්වා, භානු මධුවන්ත, චරිත් තරංග, චන්දිමාල් මාඹුලගේ, සහන් සංජිව ජයරත්න, සඳරු හිමංග, දිනුක් බෙන්තරගේ, විරාජ් විකුම්සිරි, දිනිත් අතපත්තු, උෂාන් සම්පත්, අමල් පුෂ්පරවී, අනූජ වීරකෝන්, සමීර මනම්පේරි, නිපුන තෙන්නකෝන්, විදුර කනකරත්න, සහන් චින්තක, මලිත් කොස්වත්තේගෙදර, රවීෂ සේරසිංහ

Photo Album : University of Moratuwa Rugby Team Preview 2018

මෙවර තරගාවලියේ දී සිය උපරිම දක්ෂතා දක්වමින් ගියවර මග හැරුණු  විශ්ව විද්‍යාලයීය ශූරතාව දිනා ගැනීමට මොරටුව විශ්ව විද්‍යාලයීය කණ්ඩායමට හැකි වේවා’යි ThePapare.com සුබ පතන්නෙමු.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<