ගිල්බර්ට් පන්දුවේ ලෝක කුසලාන සවාරිය!

2019 රග්බි ලෝක කුසලානයට ThePapare.com පෙරගමන්

1746
Rugby

රග්බි ලෝක කුසලානය මෙන්ම රග්බි ක්‍රීඩාව ගැන ද මතක් කළ සැණින් ඔබට සිහිවන නාමයක් “ගිල්බර්ට්” (Gilbert). ඔබ අනුමාන කළ ලෙසින්ම ThePapare.com හි මේ ලිපිය වෙන් කරන්නේ ඔබ සැවොම දන්නා රග්බි පන්දුවේ ලෝක කුසලාන ඉතිහාසය සොයා බැලීමටයි. ගිල්බර්ට් මහතාගේ ගිල්බර්ට් පන්දුව රග්බි ලෝක කුසලානයේ පුරාවෘත්තයක් වුනේ මෙහෙමයි.

රග්බි කියන්නේ චණ්ඩින්ගේ ක්‍රීඩාවක් නෙවෙයි – සුපිරි ක්‍රීඩක ඩෑන් කාටර්

ඩෑන් කාටර්ගේම සුන්දර සටහනක්… මට යාන්තමින් ……

ගිල්බර්ට් මහතා

රග්බි ක්‍රීඩාවට මෙන්ම රග්බි ලෝක කුසලානයට සමාන වචනයක් තිබේ නම් ඒ ගිල්බර්ට් මහතාගේ නමයි. ඒ තරම්ම ගිල්බර්ට් නාමය රග්බි ක්‍රීඩාවට බද්ධ වී තිබෙනවා.

19 වැනි ශතවර්ෂයේ එංගලන්තයේ වර්වික්ෂයර් හි වාසය කළ විලියම් ගිල්බර්ට් මහතා වෘත්තියෙන් බුට් හා සපත්තු නිෂ්පාදකයෙක්. ඔහුගේ ගිල්බර්ට් සමාගම වර්වික්ෂයර් හි රග්බි පාසලකට සපත්තු හා බූට් සපයන සමාගමක් ලෙස මුලදී කටයුතු කළා. 

එමෙන්ම එම පාසලට පන්දු නිෂ්පාදනය කර පන්දු ලබා දුන්නේ ද ඔහුගේ සමාගමයි. එම පාසලේම සිටි  William Webb Ellis, පන්දුව අතින් ඔසවා ගෙන යෑමෙන් ආරම්භ වූ රග්බි ක්‍රීඩාවට ගිල්බර්ට් නාමය ඉතිහාසගතව බැඳුණේ එලෙසින්.   

මුලදී නිපදවුණු ගිල්බර්ට් රග්බි පන්දුව පාපන්දුවම ලෙදර් ආවරණයකින් ආවරණය කර සකස් කළ පන්දුවක් ලෙස සඳහන්. එකල පැවති තාක්ෂණයට අනුව පන්දුවට හුලං ගැසීම සඳහා පන්දුව තුලට ඌරෙකුගේ මුත්‍රාශයක් බහා සාදනු ලැබුවා.

“රග්බි ක්‍රීඩාව ආරම්භ වූ කාලයේ පන්දුවේ විශාලත්වය හා හැඩය පිළිබඳව එතරම් නීති රීති තිබුණේ නැහැ.” ගිල්බර්ට් සන්නාම කළමනාකරුවෙකු වන Andrew Challis වරෙක පවසා තිබුණා.  මුලදී නිපදවුණු පන්දු පාපන්දු මෙන් ගෝලාකාර වුනා. ඒවා නිෂ්පාදනය කළේ ඌරෙකුගේ මුත්‍රාශ උපයෝගී කර ගනිමින්. ඔහු සඳහන් කර තිබුණා.

1875 දී මුත්‍රාශයේ කර්තව්‍යයම සිදු කරන රබර් සැකසුමක් සකස් කිරීම ඌරන්ට මෙන්ම රග්බි ක්‍රීඩාවටත් සතුටුදායක පුවතක් වුනා. එතැන් පටන් පන්දුවේ හැඩය වෙනස් කිරීමේ හැකියාවක් ද ගිල්බර්ට් පන්දු නිෂ්පාදකයින්ට හිමි වුනා. ගිල්බර්ට් පන්දුවේ කීර්ති නාමය ලොව පුරා පැතිර යද්දී ක්‍රීඩකයින්ගෙන් පන්දුවේ හැඩය වෙනස් කරන්නට ඉල්ලීම් රැසක් පැමිණියා. 

“දකුණු අර්ධ ගෝලයේ ක්‍රීඩකයින් කෙට්ටු හා දිග පන්දුවක් ඉල්ලා සිටිද්දී, උතුරු අර්ධගෝල ක්‍රීඩකයින් කෙටි මුත් වඩා ගෝලාකාර පන්දුවක් ඉල්ලා විවිධ ඉල්ලීම් සිදු කළා” Challis පවසා තිබුණා. “ඉලිප්සාකාර හැඩයකින් යුතු පන්දුවට තමයි වසර කිහිපයකින් පසු සියලු දෙනාගේම වගේ කැමැත්ත හිමි වුනේ. එම හැඩය නිසා පන්දුව හැසිරවීමේ පහසුවක් ක්‍රීඩකයින්ට ලැබුණා.” 

ගිල්බර්ට් සමාගමේ තිබූ දක්ෂතාවය නිසාම ඔවුන්ගේ ගිල්බර්ට් පන්දුව රග්බි පන්දුවලින් අංක එකේ පන්දුව බවට පත්වුනා. මුල් කාලයේ දී නිපදවුණු සෑම පන්දුවක්ම ගිල්බර්ට් සේවකයින් විසින් දෑතේ මසමින් නිර්මාණය කළ අතර පන්දු නිර්මාණයේ සෑම පියවරක්ම විලියම් ගිල්බර්ට් මහතා පෞද්ගලිකවම අධ්‍යයනය කළා. 

1875 වන විට වසරක පන්දු  2800ක් නිර්මාණය කරන තරමට ගිල්බර්ට් සමාගම විශාල වී තිබුණු අතර විලියම් ගිල්බර්ට් මහතා එංගලන්තයේ ඉතාම කාර්යබහුලම පුද්ගලයෙකු බවට පත් වුනා.

2015 ලෝක කුසලානයට යොදා ගත් පන්දුව

 “දැන් නම් අපි ඉස්සරට වඩා සෑහෙන පන්දු ප්‍රමාණයක් නිපදවනවා.” Challis මහතා පවසා සිටියා. “ නමුත් කුඩා කුඩා දේවල් නිවැරදිව ඉටු කිරීම තමයි ගිල්බර්ට් සමාගමේ ප්‍රධානතම ව්‍යාපාරික රහස. එම නිසයි අපි එක දිගටම එකම හොඳ තත්වයකින් රග්බි පන්දු නිපදවන්නේ. ලොව හොඳම රග්බි පන්දු අපේ. ක්‍රීඩකයින්ගේ තෝරාගැනීමත් ගිල්බර්ට් පන්දු.” 

කෙසේ වෙතත් ගිල්බර්ට් පන්දුව වසර ගණනක් යනතුරු ලෝක රග්බි සම්මේලනයේ (Rugby Union) ඇස නොගැටීම විශේෂත්වයක්. ඔවුන්ට රග්බි සම්මේලනයේ රාජකීය මුද්‍රාව හිමිවන්නේ 1995 වසරේ දීයි. එම වසරේ දී රග්බි ලෝක කුසලානයට ගිල්බර්ට් බාබේරියන් පන්දුව තෝරා ගත්තා. එම වසරේ සිට රග්බි වෘත්තීමය ක්‍රීඩාවක් බවට පත් වූ අතර ලෝක කුසලානයටත් ලොව හොඳම රග්බි පන්දුව යොදා ගැනීම අරුමයක් වූයේ නැහැ.

“සෑම ආකාරයකම රග්බි ක්‍රීඩා මට්ටම්වලට අපේ පන්දුවෙන් සහය දෙන්න ලැබීම පිළිබඳ අපි ඉතා සතුටුයි. නමුත් ගිල්බර්ට් නාමය ආරම්භ වූ දා පටන්ම අපේ ගෞරවාන්විත මොහොත ගිල්බර්ට් පන්දුව රග්බි ලෝක කුසලානයේ නිල පන්දුව ලෙස ප්‍රකාශයට පත් කළ දවසයි.” Challis පවසා සිටියා. “ඒ වගේම අපි එදා සිට අද දක්වා සෑම ලෝක කුසලානයකටම නිල පන්දු සපයන්නෝ ලෙස කටයුතු කරනවා.”

විලියම් ගිල්බර්ට්ගේ කාලයේ සිට අද දක්වා රග්බි ක්‍රීඩාව සෑහෙන වෙනසකට ලක්ව ඇති නමුත් රග්බි පන්දුවේ තාක්ෂණය හා හැඩය තවමත් ඔහුගේ අදහස්වලටම පවතින්නේ වසර ගණනක් දුර දුටු ඔහුගේ දුර දක්නා නුවණ හා චින්තනය නිසයි.

“පසුගිය වසර කිහිපයේ දී රග්බි ක්‍රීඩාව සෑහෙන වෙනස්කම් වලට ලක් වුනා. ක්‍රීඩකයින් තමන්ගේ උපරිම හැකියාවන් පෙන්විය හැකි පන්දුවක් ඉල්ලා සිටියා. ගිල්බර්ට් සමාගම ලෙස අපි එම ඉල්ලීම අපේ දැවැන්ත වගකීමක් ලෙස ගන්නවා. ක්‍රීඩාව නවීකරණය වන ලෙසම පන්දුවත් නවීකරණය විය යුතුයි. අපි කවදාවත් එය අමතක කරන්නේ නැහැ.”

තරග තීරකට විශේෂ මතක ඉතිරි කළ 2015 රග්බි ලෝක කුසලානය

2015 රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගය විනිශ්චය …….

ලෝක කුසලාන රග්බි පන්දුවේ පරිණාමය 

2015 තරගාවලිය ඇතුළු අවසන් තරගාවලි හයටම ගිල්බර්ට්, නිල පන්දු සපයන්නා ලෙස කටයුතු කළ අතර එම සෑම අවස්ථාවක දී ම ඔවුන් රග්බි පන්දුව තාක්ෂණයේ නවමු වෙනස්කම් වලින් වර්ණවත් කළා. 

1995 ලෝක කුසලානය – ගිල්බර්ට් බාබේරියන්

ඔවුන්ගේ පළමු රග්බි ලෝක කුසලාන පන්දුව එවකට පැවති තාක්ෂණයෙන් ඉහළම පන්දුව බවට සඳහන්. එමෙන්ම තරගාවලියට ඔවුන් සැපයූ පන්දු සියල්ලම එකම ආකාරයේ පන්දු වීම විශේෂත්වයක්. බාබේරියන් පන්දුව නව ඕවල් පන්දු සැලැස්ම පළමු වරට හඳුන්වා දුන් පන්දුවයි. 

1999 ලෝක කුසලානය – ගිල්බර්ට් රෙවලූෂන්

කුඩා නමුත් ඉතා ප්‍රබල වෙනස්කම් රැසක් සමඟින් රෙවලූෂන් පන්දුව රග්බි ලෝක කුසලානය කලඹන්නට සමත් වුනා. නව රබර් සංයුතිය නිසා පන්දුවේ තිබුණු තීන්ත සටහන් ප්‍රමාණය අඩු වී තිබුණු අතර ඒ නිසාම ක්‍රීඩකයින්ට පන්දුව ග්‍රහණය කිරීමේ දී අමතර සහයක් හිමිව තිබුණා.   

2003 ලෝක කුසලානය – ගිල්බර්ට් Xact 

එංගලන්තයේ අමරණීය ලෝක කුසලානයට එක්වුණු පන්දුව පෙර ලෝක කුසලානවලට වඩා එතරම් වෙනසක් දැක්වූයේ නැහැ. පන්දුව මදක් දිගින් වැඩි වී තිබුණේ ක්‍රීඩකයින්ගේ පහසුව උදෙසාමයි.

2007 ලෝක කුසලානය – ගිල්බර්ට් සිනර්ජි 

ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වතාවට ගිල්බර්ට් පන්දුවෙන් ඔවුන්ගේ නිල සලකුණ වූ ඉලිප්ස දෙක ඉවත් කර තිබුණා. පන්දුවේ ග්‍රහණය වැඩි කරන්නට නව තාක්ෂණය යොදාගෙන තිබුණු අතර පන්දුවේ වර්ණවත් බව මදක් අඩු වී තිබුණා.

2011 ලෝක කුසලානය – ගිල්බර්ට් Virtuo


මෙම පන්දුව ලෝක රග්බි ප්‍රේක්ෂකයින් අතර ඉතා ජනප්‍රිය වූ පන්දුවක් වුනා. නවසීලන්ත මඕරි ගෝත්‍රික කැටයම් වලින් පන්දුවේ කෙළවරවල් හැඩ කර තිබුණා. පන්දුවේ ඇතුළත සුළං කුටීරය හා වෑල්වය නවීකරණය කර තිබුණු අතර ඒ නිසාම පන්දුවට සැලකිය යුතු ස්ථාවර බවක් හිමි වුනා. ඒ නිසාම තරගය අතරතුර පන්දුවේ හුලං අඩු වීම අඩු වූ අතර පන්දු හුවමාරුවේ දී ක්‍රීඩකයින්ට අමතර සහයක් හිමි වුනා.  

2015 ලෝක කුසලානය – ගිල්බර්ට් Gilbert Match-XV 

පළමුවෙන්ම නිපදවුණු ගිල්බර්ට් පන්දුව හැඳින්වුණේ “මැච්” (Match) නමින්. එම නමින්ම 2015 රග්බි ලෝක කුසලානයේ පන්දුවත් නම් කර තිබීම විශේෂත්වයක්. “අපි හිතුවා ලෝක කුසලානය 2015 දී නැවත රග්බි නිජ බිමට පැමිණීම සමරන්න. ඒ නිසාම අපි එම පන්දුව 2015/XV ලෙස නම් කළා. 

එයට තවත් හේතුවක් වුනේ රග්බි ක්‍රීඩාවේ නිජ බිමත්, රග්බි ක්‍රීඩාවේ ආරම්භයට ගිල්බර්ට් පන්දුවේ ඇති සබඳතාවත් පෙන්නුම් කරන්න.” Andrew Challis මහතා පවසා තිබුණා. එම පන්දුව ඉතා විශේෂ වුනා. එහි ජලය රැඳීම ඉතා අඩු වූ නිසා ක්‍රීඩකයින්ට තෙතමනය සහිත කාලගුණයන් හිදී ක්‍රීඩා කිරීම ඉතා පහසු වුනා. පන්දුව වඩා මෘදු වී තිබුණේ ක්‍රීඩකයින්ට අනගි සහයක් ලබා දෙමින්. 

2019 රග්බි ලෝක කුසලානයේ පන්දුව කෙබඳු වෙයි ද?

රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ රස කතා සොයා යන්න ඔබත් එක්වන්න ක්‍රීඩාවේ අංක එකේ වෙබ් අඩවිය Thepapare.com සමගින්.

තොරතුරු / ඡායාරූප – robmunro.photoshelter.com / www.coca-cola.co.uk / Gilbert Rugby / irishrugby.ie

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<