දකුණු කොරියා සහ ලෙබනන් පාපන්දු සංග්‍රාමයට පෙර!

85

2022 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය හා 2023 ආසියානු පාපන්දු ශූරතාව සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දෙවැනි වටය යටතේ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම මීළඟට සහභාගී වන තරග පිළිවෙළින් ප්‍රබල දකුණු කොරියාවට සහ ලෙබනනයට එරෙහිව පැවැත්වෙනු ඇත. 

ශ්‍රී ලංකාව සමඟ තරග කරන දකුණු කොරියානු හා ලෙබනන සංචිත

2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හා 2023 ආසියානු කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා…

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ දෙවැනි වටය යටතේ මේ වන විට තරග දෙකකට සහභාගී වී සිටින අතර එම තරග දෙකම අවසන් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වෙමිනි. 

කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු එම තරග දෙකේ දී ම හුරුපුරුදු තත්වයන් යටතේ ක්‍රීඩා කිරීමේ වාසිය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට හිමිවුවත් ඔවුන් ඉන් යහපත් ප්‍රතිඵල ළඟා කර ගන්නට සමත් වූයේ නැත. 

ඒ අනුව පළමු තරගයේ දී ශ්‍රී ලංකාව තරගය පුරාවට ප්‍රදර්ශනය කළ දුර්වල ක්‍රීඩා විලාශය හමුවේ ටර්ක්මෙනිස්තානය ගෝල 2-0ක පහසු ජයග්‍රහණයක් හිමිකර ගන්නට සමත් විය. 

කෙසේ නමුත් එහි දී ලෝක ශ්‍රේණිගත කිරීම්වල 113 වන ස්ථානයේ පසුවන ප්‍රබල උතුරු කොරියානු කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ පරිදි ඉහළ දක්‍ෂතා දක්වන්නට සමත් විය. 

වේගවත් උතුරු කොරියානු ඉදිරිපෙළ ක්‍රීඩකයින්ගේ අභියෝගය සාර්ථකව මැඩලන්නට ඔවුන් සමත් වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක සුජාන් පෙරේරා ද විශිෂ්ට ගෝල රැකීමක නිරත වන්නට විය. 

අවසානයේ උතුරු කොරියාව මෙම තරගයෙන් ගෝල 1-0ක ජයක් හිමිකර ගන්නට සමත් වුවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට තරගය පුරාවට ලැබුණු අවස්ථා වලින් ඔවුන් ප්‍රයෝජන ගත්තේ නම් මෙම තරගයේ තීරණය වෙනස් වන්නට ඉඩ තිබුණි.

කෙසේ නමුත් ඔවුන් එම දක්‍ෂතා මැලේසියානු කණ්ඩායම හමුවේ එරට දී පැවති සුහද තරගයේ දී ප්‍රදර්ශනය කිරීමට අපොහොසත් වූ අතර එහි දී ශ්‍රී ලංකාවට ගෝල 6-0ක අමිහිරි පරාජයක් අත්විඳීමට සිදු විය.

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම මේ වන විට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 202 වන ස්ථානයේ පසුවන අතර එහි ආසියානු රටවල් අතරින් ඔවුන්ට පසුපසින් සිටින්නේ 203 වන ස්ථානයේ පසුවන පාකිස්තාන කණ්ඩායම පමණි. 

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් තත්වය සැලකිල්ලට ගැනීමේ දී පෙනී යන්නේ දකුණු කොරියාව සහ ලෙබනනය ඉදිරියේ ශ්‍රී ලංකාවට ඇති අභියෝගය ඉතා විශාල සහ අසීරු එකක් වන බවයි. 

City සහ United අසාර්ථක වෙද්දී Barcelona හට රතු කාඩ්පත්

එංගලන්ත Premier League සහ ස්පාඤ්ඤ La Liga තරගාවලිවල අටවන සතියේ හා ඉතාලි Serie A…

ශ්‍රී ලංකාව – දකුණු කොරියාව   

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ දෙවැනි වටයේ සහභාගී වන තෙවැනි තරගය පැවැත්වෙන්නේ ප්‍රබල දකුණු කොරියානු කණ්ඩායමට එරෙහිව එළඹෙන 10 වන දින එරට Hwaeseong Auxiliary ක්‍රීඩාංගණයේ දී ය. 

ලෝක ශ්‍රේණිගත කිරීම්වල 37 වැනි ස්ථානයේ පසුවන දකුණු කොරියාව එහි ආසියානු රටවල් අතරින් තෙවැනි ස්ථානය හිමිකරගෙන සිටී. 

පසුගිය වසරේ පැවති ආසියානු තරගාවලියේ පාපන්දු ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් වූ ඔවුන් මෙම වසර ආරම්භයේ දී පැවති ආසියානු පාපන්දු ශූරතාවයේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලබා ගන්නට ද සමත් විය. 

1986 සිට 2018 වසර දක්වා පැවති සෑම FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියකටම සුදුසුකම් ලබා ගන්නට සමත්ව ඇති ඔවුන් පසුගිය වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ දී එවකට ලෝක ශූරයින්ව සිටි ජර්මනිය හමුවේ ගෝල 2-0ක සුවිශේෂී ජයග්‍රහණයක් ද වාර්තා කරගන්නට සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකාවට මෙහි දී එල්ල වන්නේ ලෝක තලයේ අභියෝගයක් වන බව නොඅනුමාන ය. 

තරගාවලියට එක්වන දකුණු කොරියානු සංචිතය පසුගිය දා ප්‍රකාශයට පත්කෙරුණු අතර ඊට ඔවුන්ගේ නායක Tottenham Hotspur ප්‍රබල ක්‍රීඩක Son Heung Min සහ පසුගිය දා UEFA ශූරයින්ගේ කුසලාන තරගාවලියේ දී Liverpoolට එරෙහිව Red Bull Salzburg වෙනුවෙන් ගෝලයක් වාර්තා කර ගත් Hwang Hee-chan ද ඇතුළත් කර ඇත. 

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඔවුන්ගේ සුපුරුදු ප්‍රබල සංචිතය නම් කර තිබීම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට විශාල අභියෝගයක් වනු ඇත.

තරගාවලියේ දෙවන වටයේ පළමු තරගයේ දී දකුණු කොරියානු ක්‍රීඩකයින් ටර්ක්මෙනිස්තානය හමුවේ ගෝල 2-0ක ජයග්‍රහණයක් වාර්තා කරගන්නට සමත් වූ අතර ශ්‍රී ලංකාව සමඟ තරගය මෙහි ඔවුන්ගේ දෙවන තරගය වීම හේතුවෙන් ඔවුන් සිය උපරිමයෙන් මෙහි දී ක්‍රීඩා කරනු ඇති බව නොඅනුමාන ය. 

ඒ අනුව ඔවුන් මෙම තරගයේ දී ඔවුන්ගේ ගෝල වාර්තාව ඉහළ නංවා ගැනීමට උත්සාහ දරන අතරතුර ආදේශ ක්‍රීඩකයින් හට අවස්ථාවක් ලබා දීමට ද බලාපොරොත්තු වනු ඇත. 

තවදුරටත් මේ දිනවල දකුණු කොරියාවේ පැවැත්වෙන තරමක් ශීත දේශගුණ තත්වයට අනුගත වීම මේ වන විටත් එරට බලා ගොස් ඇති ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල අභියෝගයක් වනු ඇත. 

Llorisට දරුණු ආබාධයක්; Liverpool අපරාජිත වාර්තාව තවදුරටත්

එංගලන්ත Premier League තරගාවලියේ අටවැනි සතියේ, ජර්මානු Bundesliga ලීග් තරගාවලියේ…

ශ්‍රී ලංකාව – ලෙබනනය

තරගාවලියේ දෙවැනි වටයේ දී ශ්‍රී ලංකාව සහභාගී වන සිව්වැනි තරගය ලෙබනන් කණ්ඩායමට එරෙහිව එළඹෙන 25 වන දින කොළඹ තුරඟ තරග ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත. 

ලෝක ශ්‍රේණිගත කිරීම්වල 94 වැනි ස්ථානයේ පසුවන ලෙබනන් කණ්ඩායම එහි ආසියානු කණ්ඩායම් අතරින් 13 වැනි ස්ථානයේ පසුවන අතර ඔවුන් මෙම වසර ආරම්භයේ දී පැවති ආසියානු පාපන්දු ශූරතාවට ඔවුන්ගේ ඉතිහාසයේ දෙවන වරට සුදුසුකම් ලබා ගනිමින් උතුරු කොරියාවට එරෙහිව ගෝල 4-1ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරගන්නට ද සමත් විය. 

කෙසේ නමුත් මෙම තරගාවලියේ දෙවන වටයේ ඔවුන් සහභාගී වූ පළමු තරගයේ දී ඔවුන්ට උතුරු කොරියාව හමුවේ ගෝල 0-2ක පරාජයකට මුහුණ දෙන්නට සිදු විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය මෙහි ඔවුන්ගේ ද දෙවැනි තරගය වන අතර තරගාවලියේ පළමු ජයග්‍රහණය තහවුරු කරගැනීමේ අරමුණින් ඔවුන් මෙම තරගයට ඔවුන්ගේ සුපුරුදු හොඳම සංචිතය නම් කිරීමට කටයුතු කර ඇත. 

ලෙබනන් කණ්ඩායමේ ක්‍රීඩා විලාශය බොහෝ සෙයින් ඔවුන්ගේ අත්දැකීම් බහුල ඉදිරිපෙළ ක්‍රීඩකයින් දෙදෙනෙක් වන Rabih Ataya සහ Hassan Maatouk මත රඳා පවතිනු ඇති අතර ලෙබනනයෙන් පිටත ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කරමින් දක්‍ෂතා දක්වන Melki සොහොයුරන් වන Felix Michel Melki සහ Alexander Michel Melkiගේ ක්‍රීඩා විලාශය ද ඔවුන්ට අතිශය වැදගත් වනු ඇත. 

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට හුරුපුරුදු තත්වයන් යටතේ ක්‍රීඩා කිරීමේ වාසිය හිමිව තිබුනත් ඊට පෙර 10 වන දින දකුණු කොරියාවට එරෙහිව පැවැත්වෙන තරගයත්, අනතුරුව නැවතත් ශ්‍රී ලංකාව බලා පැමිණීමට ඇති ගුවන් ගමනත් හේතුවෙන් ඔවුන්ට මුහුණ පෑමට සිදු වන විඩාව සහ කාලය මදිකම ඔවුන්ට ප්‍රබල අභියෝගයක් වනු ඇත. 

අනෙක් පසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් උතුරු කොරියාව හමුවේ තුරඟ තරග ක්‍රීඩාංගණයේ දී දැක්වූ දක්‍ෂතා පිළිබඳව ද ලෙබනන් කණ්ඩායමට විශේෂ අවධානයක් යොමු කිරීමට සිදු වනු ඇති බව නොඅනුමාන ය.

ඒ අනුව ප්‍රබල දකුණු කොරියාව සහ ලෙබනනය හමුවේ ශ්‍රී ලංකාවට එල්ල වන අභියෝගය ඉතා අසීරු සහ විශාල එකක් වන අතර ඉන් සුබවාදී ප්‍රතිඵලයක් ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්‍ෂක ක්‍රීඩකයින් අතින් පසුගිය තරගවල දී සිදු වූ අත්වැරදීම් උපරිමයෙන් අඩුකරගන්නා අතරතුර ඉදිරිපෙළ ක්‍රීඩකයින් හට ද ඔවුන්ට ලැබෙන අවස්ථාවන් සියල්ලෙන් ම පාහේ උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට සිදු වනු ඇත. 

මෙම තරගවල සියලුම තොරතුරු, පුවත්, වීඩියෝ පට වෙනුවෙන් රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 වෙබ් අඩවිය ThePapare.com සමඟින්.   

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<