ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කබලෙන් ලිපට

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

5448

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක් නියම කර තිබෙනවා. ඒ, ඉන්දීය කණ්ඩායම සමඟ පසුගිය 20 වැනිදා කොළඹ පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී නියමිත කාලයට පන්දුවාර 50 යවා නිම නොකිරීම හේතුවෙන්.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත කාලය තුළ එක් පන්දුවාරයක් යවා අවසන් කිරීමට නොහැකි වී ඇති බව එම තරගයේ තරග තීරක ලෙස කටයුතු කළ රංජන් මඩුගල්ල මහතා ICC වෙත දන්වා තිබෙනවා.

එයට දඬුවම් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් සහ ICC සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනින් එක් ප්‍රසාද ලකුණක් අඩු කිරීමට මඩුගල්ල මහතා පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට මේ ICC සුපර් ලීගය යටතේ මේ වන විට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු 12ක් පමණයි.

තවත් ක්‍රිකට් පුවත්:

සුපර් ලීගය යට‍තේ ශ්‍රී ලංකාව තරග 11කට ක්‍රීඩා කර ඉන් එක් ජයක් පමණක් ලබා කණ්ඩායම් 13ක් අතරින් මේ වන විට 12 වැනි ස්ථානයේ රැඳී සිටිනවා. මීට පෙර ද පන්දුවාර යැවීමට වැඩි කාලයක් ලබා ගැනීමේ වරද හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණු 2ක් කපා හැරුණා.

නායක දසුන් ශානක වරද පිළිගනිමින් ලබා දී ඇති දඬුවම පිළිගෙන තිබෙන නිසාවෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු නොවන බවත් ජගත් ක්‍රිකට් කවුන්සිලය සිය මාධ්‍ය නිවේදනය හරහා වැඩිදුරටත් පවසා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගය හෙට (23) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. කෙසේ මේ වන විටත් 2-0ක් ලෙස සංචාරක ඉන්දීය කණ්ඩායම මේ තරගාවලිය ජයග්‍රහණය කර තිබෙනවා.

ICC සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහන මෙසේයි,

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<