ශ්‍රී ලංකා හොකි කණ්ඩායමේ අපරාජිත ගමන අවසන්

339

ඕමානය හමුවේ ලද පරාජයත් සමඟ ශ්‍රී ලංකා හොකී කණ්ඩායමට 2022 ආසියානු කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමිව ගියා.

2022 ආසියානු හොකී සංගම් කුසලානයේ අද (19) පැවති ශ්‍රී ලංකාව සහ ඕමානය අතර අවසන් පූර්ව තරගයෙන් ගෝල 2-0ක ජයක් ලබා ගනිමින් 2022 ආසියානු කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට ඕමානයට හැකි වුනා.

ආරම්භයේ සිටම ඉතා උණුසුම් වූ මෙම තරගයේ පළමු ගෝලය පළමු අර්ධයේ රැස් කරමින් සිය කණ්ඩායමට අවශ්‍ය ආරම්භය ලබා දීමට ඕමාන ක්‍රීඩක Al Fazari Rashadට හැකි වූ අතර එම අර්ධයේ කිසිදු ගෝලයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුනේ නැහැ.

දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තුවක් ගතවෙද්දී සිය කණ්ඩායම වෙනුවෙන් දෙවැනි ගෝලය රැස් කිරීමට Ashrafට හැකි වූ අතර එයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩක සුරේෂ් රත්නායක ගෝලයක් රැස් කරමින් සිය කණ්ඩායම නැවතත් තරගයට ගෙන ආවා.

නමුත් එම ගෝලයෙන් පසු වෙනත් කිසිදු ගෝලයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට නොහැකි වීම නිසාවෙන් තරගයේ ජය ඕමානයට හිමි වුනා.

අද (19) පැවති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් Kazakhstan කණ්ඩායමට එරෙහිව ගෝල 8-1ක දැවැන්ත ජයක් ලබා ගනිමින් ආසියානු කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩකයින්ට හැකි වුනා.

ඒ අනුව හෙට (20) බංග්ලාදේශය සහ ඕමානය ආසියානු හොකී සංගම් කුසලානය වෙනුවෙන් තරග වැදීමට නියමිත අතර ශ්‍රී ලංකාව සහ Kazakhstan එහි තෙවැනි ස්ථානය සඳහා තරග වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ මූලික වටයේ තරගවල දී උස්බෙකිස්තානය (0-5), තායිලන්තය (2-6) සහ කසකස්තානය (0-4) පරදවමින් අපරාජිතව සිය කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට සමත්ව තිබුණා.

නමුත් මෙම අවසන් පූර්ව වටයේ ලද අවාසනාවන්ත පරාජයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩයමට 2022 ආසියානු කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ සිහිනයට තිත තැබීමට සිදු වුනා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<