ධනුෂ්ක රන්ජන්ට මැලේසියාව සමඟ තරගය අහිමි වේ

1450
Tuskers star Ranjan will miss the ARC decider

ආසියානු රග්බි ශූරතා තරගාවලියේ පළමු කාණ්ඩයේ ප්‍රථම ස්ථානය තීරණය කෙරෙන ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර තරගය එළඹෙන සෙනසුරාදා (20) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර සහභාගී වූ තරගවල දී පිලිපීනය ලකුණු 24-13ක් ලෙසත්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම ලකුණු 33-17ක් ලෙසත් පරාජය කිරීමට සමත් විය. අනෙක් පසින් මැලේසියානු කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම ලකුණු 36-22ක් ලෙසත්, පිලිපීන කණ්ඩායම ලකුණු 40-08ක් ලෙසත් පරාජය කිරීමට සමත් විය. බලාපොරොත්තු වූ පරිදි තරගාවලිය ශූරයා තීරණය කෙරෙන තරගය ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර පැවැත්වෙන අතර ජයග්‍රාහී කණ්ඩායමට ඉදිරි වසරේ දී ආසියාවේ හොඳම කණ්ඩායම් 3 අතරේ ක්‍රීඩා කරන්නට අවස්ථාව හිමි වේ.

ජයග්‍රාහී කණ්ඩායමට 2018 වසරේ දී හොං කොං සහ දකුණු කොරියානු කණ්ඩායම් සමඟ තම රටේ දී හා තම රටින් පිට තරග දෙකකට මුහුණ දීමේ අවස්ථාව හිමි වේ. 2019 වසරේ පැවැත්වෙන රග්බි ලෝක ශූරතා තරගාවලිය සඳහා තේරීමේ තරගාවලියක් මෙම වසරේ දී පැවැත්වෙන අතර තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම ලබන වසරේ පැවැත්වෙන ආසියානු රග්බි ශූරතා තරගාවලිය දක්වා උසස් කෙරේ. එහි දී ජයග්‍රාහක කණ්ඩායමට ලෝක ශූරතා තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ වටයට පෙනී සිටීමට අවස්ථාව හිමි වේ.

මහනුවර කණ්ඩායමේ ‘Center’ ස්ථානයේ ක්‍රීඩා කරන, ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ නායක ධනුෂ්ක රන්ජන් හට මැලේසියාව සමඟ පැවැත්වෙන තීරණාත්මක තරගය අහිමි වනු ඇත. ඔහු පෙර පැවති තරග දෙකේ දී උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරන්නට සමත් විය. පසුගිය බදාදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමඟ පැවති තරගයේ දී උත්සාහක දිනුමක් වාර්තා කර ගනිද්දී ඔහුගේ දකුණු උරහිස ආබාධයකට ලක්වී ඇත. ඔහු ක්‍රීඩා නොකිරීම රොෂාන් වීරරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් වනු නොඅනුමානයි.

මැලේසියානු කණ්ඩායමේ ජෝන් නසලෝ තරගාවලිය තුළ උත්සාහක දිනුම් තුනක් වාර්තා කරගෙන ඇති අතර ඔහු මේ වන විට සිය උපරිමයෙන් ක්‍රීඩා කරමින් සිටී. ‘Center’ ස්ථානයේ ක්‍රීඩා කරන ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට තර්ජනයක් වනු ඇත. කෙසේ නමුත් තරගාවලිය පුරාවට හොඳින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලී කීගල් ඔහුට ප්‍රබල අභියෝගයක් ගෙන ඒමට සමත් වෙයි.

තරගය ආරම්භයේ ෆසීල් මරීජා පළමු ‘Five-eight’ ස්ථානයේ ක්‍රීඩා කරනු ඇති අතර රිචඩ් ධර්මපාල හෝ ජේසන් දිසානායක ‘Center’ ස්ථානයේ ක්‍රීඩා කරන ලී කීගල් සමඟ එක්වනු ඇත. මීට පෙර පැවති තරග දෙකේ දී ධර්මපාල ‘Right wing’ ස්ථානයේ ක්‍රීඩා කළ අතර දිසානායක ‘Blindside flanker’ ස්ථානයේ ක්‍රීඩා කළේය. සංචිතය තුළ නිරෝෂන් ප්‍රනාන්දු සහ චානක චන්දිමාල් ක්‍රීඩකයින් දෙදෙනා අන්තර්ගත වන නිසා ෆසීල් මරීජා අංක 12 ස්ථානයේ ක්‍රීඩා කිරීමට යොමු කිරීමට ද ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව හිමි වේ.

“අපි පෙර තරගයේ දී වගේ හොඳින් ක්‍රීඩා කළොත් මට විශ්වාසයි මෙම තරගයේ දී සත්කාරක මැලේසියානු කණ්ඩායම පරාජය කරන්න අපිට පුළුවන් වෙයි කියලා.” ThePapare.com සමඟ අදහස් දක්වමින් ඉන්ති මරික්කාර් මහතා ප්‍රකාශ කළේය.

තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වන්නේ ලකුණු 29 (2C 7P) ක් රැස්කරගෙන සිටින ‘Full back’ ස්ථානයේ ක්‍රීඩා කරන තිලිණ විජේසිංහ යි. ඔහු අතින් ලකුණු රැස්කර ගැනීමට හිමි වූ අවස්ථා කිහිපයක් මඟ හැරුනත් ඔහු මේ වන විට ඉතා හොඳින් ක්‍රීඩා කරමින් සිටී. ඔහු හා ධර්මපාලගේ සුසංයෝගය මෙම තරගයේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් වනු ඇත. එමෙන්ම සශාන් මොහොමඩ් හට ප්‍රථම වරට ජාතික කණ්ඩායම තුළ ක්‍රීඩා කිරීමේ අවස්ථාව මෙම තරගයේ දී හිමි වනු ඇත.

“මට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමඟ පැවති තරගයේ දී අවස්ථා කිහිපයක්ම මඟ හැරුණා. තිබුණ සුළං තත්වයත් ඒකට හේතු වුණා. නමුත් අපි ඒ තරගයේ දී හොඳින් ක්‍රීඩා කළා. විශේෂයෙන් දෙවන අර්ධයේ දී. අපි ඒ තරගය ක්‍රීඩා කළ ආකාරයටම මැලේසියාව සමඟ තරගයත් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.” ThePapare.com සමඟ අදහස් දැක්වූ තිලිණ විජේසිංහ ප්‍රකාශ කළේය.

කෙසේ වුවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පසුගිය තරගයේ දී ‘lineout’ අවස්ථාවන් හිදී ක්‍රීඩා කළ ආකාරය පිළිබඳ සෑහීමකට පත්විය නොහැක. ප්‍රසාත් මදුසංක සහ අසෝක ජයලාල් එම අවස්ථාවන්වල දී පන්දුව යොමු කිරීමේ දී සාර්ථක වූයේ නැත. පසුගිය තරගයේ දී සුහිරු ඇන්තනි සහ ෂාරෝ ප්‍රනාන්දු හොඳින් ක්‍රීඩා කිරීමට සමත් වූ නමුත් ඔවුන් දෙදෙනාටම කහ කාඩ්පත් අවවාද වලට ලක්නොවීමට වගබලා ගැනීමට සිදුවේ. ඔවුන් දෙදෙනාම එම තරගයේ දී කහ කාඩ්පත් අවවාද වලට ලක්විය. ගියවර ද තරගාවලියේ පළමු කාණ්ඩයේ ශූරතාවය දිනා ගත් මැලේසියානු කණ්ඩායම මෙවර ද ශූරතාවය දිනා ගැනීමේ හැකියාවෙන් යුතු ප්‍රබල කණ්ඩායමක් නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කහ කාඩ්පත් අවවාද වලට ලක්වී ඔවුන්ට ක්‍රීඩකයින් සංඛ්‍යාවෙන් වාසි සලසා නොදීමට වගබලා ගත යුතුය.

කෙසේ නමුත් ශ්‍රී ලංකා සද්දන්තයින් ශූරතාවය දිනා ගැනීම සඳහා මැලේසියානු කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇත.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට