ICC මුල් පුටුව තිලංග සුමතිපාලට?

255
Thilanga

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) සභාපති ධුරයට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි අනාවරණය වේ. මේ වන විට ඔහුට පක්‍ෂව රටවල් 04ක් (ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය හා සිම්බාබ්වේ) සහයෝගය දැක්වීමට ඉදිරිපත්ව ඇති අතර, බටහිර ඉන්දීය කොදෙව් හෝ දකුණු අප්‍රිකාවේ සහයෝගය ලබාගෙන එම තනතුරට පත්වීමේ වැඩි අවස්ථාවක් ඔහුට හිමිව තිබේ.

කමිඳුගේ නායකත්වය යටතේ යොවුන් ක්‍රිකට් පිළ ඔස්ට්‍රේලියාවට

එළඹෙන ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා සහභාගි වන පහළොස් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යොවුන් ජාතික ක්‍රිකට් සංචිතය, ක්‍රිකට් ආයතනය විසින් මේ වනවිට නම්කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික රටවල සහභාගිත්වයෙන් මීළඟට පැවැත්වෙන සැසිවාරයේ දී තිලංග සුමතිපාල මහතාට එම තනතුර ලබා දීමට නියමිත බව ද වාර්තා වේ. මීට දින කිහිපයකට ඉහත දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයෙන් ඉන්දියාවේ ශෂාන්ක් මනෝහර් මහතා ඉල්ලා අස්වීමත් සමඟ එම තනතුරට පුරප්පාඩුවක් පවතින අතර, දැනට පූර්ණ සාමාජික රටවල නියෝජිතයන්ගෙන් ජ්‍යේෂ්ඨතම පරිපාලකයා ලෙස ද සුමතිපාල මහතාව හැඳින්විය හැකිය. ඒ නිසා බොහෝ දුරට අයි.සී.සී. සභාපති ධුරය සුමතිපාල මහතාට හිමි වීමට වැඩි අවස්ථාවක් ඇත.

මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලයක් දරන පුද්ගලයෙකු පවසා සිටියේ, මෙය ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ඉහළට ඔසවා තැබිය හැකි අවස්ථාවක් බවයි. එමෙන්ම ආසියානු රටවල් 04ක සහාය වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාට හිමිව ඇති පසුබිමක, කොදෙව්වන් හෝ දකුණු අප්‍රිකානුවන්ගේ සහාය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

තිලංග සුමතිපාල මහතා අදාළ තනතුර සඳහා පත්කිරීමට දකුණු ආසියානු කලාපයේ රටවල් එකඟතාව පළකර ඇත්තේ ‘බිග් ත්‍රී’ සංකල්පය ඔස්සේ අනෙකුත් සාමාජික රටවලට දැඩි අසාධාරණයක් සිදුවූ බවට පෙන්වා ඊට එරෙහිව කටයුතු කිරීම නිසාය. ‘බිග් ත්‍රී’ සංකල්පය ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් හිටපු සභාපති ශෂාන්ක් මනෝහර්ට තනතුරෙන් ඉල්ලා අස්වීමට පවා සිදුවූ අතර, සුමතිපාල මහතා අදාළ තනතුරට පත්වුවහොත් සියලු සාමාජිකයන්ට සමානව සැලකීමට හැකිවේ යැයි අදාළ ක්‍රිකට් ආයතන ඉහළ නිලධාරියා පවසා සිටියේය.

අයි.සී.සී. සභාපති තනතුර ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා දකුණු ආසියානු රටවල (ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය) සහාය ලබා ගැනීමේ සාකච්ඡා වට කිහිපයක් ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන අතරතුර දී පවත්වා ඇති අතර, එම සාකච්ඡා සාර්ථක වී තිබේ. ඒ අනුව අදාළ දකුණු ආසියානු රටවලට අමතරව සිම්බාබ්වේ රාජ්‍යය ද ශ්‍රී ලංකාවට එම තනතුර ලබා ගැනීම සඳහා සහාය දැක්වීමට එකඟතාව පළකර තිබේ.

කෙසේ වෙතත් යම් හෙයකින් තිලංග සුමතිපාල මහතා අයි.සී.සී. සභාපති ධුරයට පත්වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයෙන් ඉවත් විය යුතු අතර, මේ වන විට එම තනතුර ලබා ගැනීම සඳහා පාර්ශ්ව කිහිපයක් අතර සීතල යුද්ධයක් ද නිර්මාණය වී තිබේ. වාර්තා වන පරිදි ක්‍රිකට් ආයතනයේ ඉහළම නිලධාරීන් තිදෙනෙකු සභාපති ධුරයට ලබා ගැනීමේ උත්සහයක නිරතව සිටින අතර, සුමතිපාල මහතාගේ සමීපතමයෙකුට සභාපති තනතුර ලබා දීමේ සැලසුමක් ද පවතින බව හෙළිවේ.

මේ පිළිබඳව තොරතුරු විමසීමට අප (ADA) ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාව කිහිප වතාවක්ම සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරූව ද ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීමෙන් එම උත්සාහය ව්‍යර්ථ විය.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට