වනිඳුගේ උත්සාහයට කමිඳු තිරිංග දමයි

913

දඹුලු කණ්ඩායම නියෝජනය කළ වනිඳු හසරංගගේ දක්ෂ පන්දු යැවීම අපතේ දැමූ කොළඹ ක්‍රීඩකයෝ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ (25) නිමා වූ විස්සයි විස්ස තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුනා.

දඹුලු කණ්ඩායම වෙනුවෙන් දඟපන්දු යවන වනිඳු හසරංග ලකුණු 20කට කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූව ද, තරගයක් දීමට තරම් ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් නොවීමෙන් ඔවුන්ගේ පරාජය ආරම්භයේ සිටම දකින්නට තිබුණා. එක් අවස්ථාවක දී වනිඳු පිට පිට පන්දු දෙකක දී කඩුලු දෙකක් ලබා ගනිමින් තරගය තරමක් වෙනස් කිරීමට උත්සාහ කළ ද එය ද සාර්ථක වූයේ නැහැ.

දිමුත්ගේ ජවයෙන් ගාල්ලට නව ජීවයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන SLC T20 ක්‍රිකට් තරගාවලියේ ගාලු කණ්ඩායම ලබා ගත් පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට …

වනිඳුගේ කඩුලු ත්‍රිත්වය වැළැක්වූ කමිඳු මෙන්ඩිස් එතැන් සිට තරගය මනාව පාලනය කරමින් ජයග්‍රහණ ලබන තෙක්ම පිටියේ නොදැවී රැඳී සිටියා. ප්‍රබල පිතිකරුවන් දැවී යද්දී එක් අන්තයක් සම්පූර්ණයෙන්ම ආරක්ෂා කර ගත් කමිඳු තරගය නිමා වෙන විට පන්දු 22කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 23ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස සුපිරි තරගාවලියේ 6 වැනි තරගය වූ මෙය විදුලි ආලෝක මධ්‍යයේ පැවති අතර පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුලු ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 123ක් ලබා ගත්තා. එම ඉලක්කය කඩුලු 7ක් පමණක් දැවී පසු කිරීමට කොළඹ ක්‍රීඩකයෝ සමත් වුනා. ඒ තවත් පන්දු 6ක් ඉතිරිව තිබිය දී.

කොළඹ කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු උපුල් තරංග පන්දු 21ක දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු  35ක් ලබා ගත්තා. ඊට අමතරව නායක දිනේෂ් චන්දිමාල් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 20ක්. මේ වෙනුවෙන් ඔහු පන්දු 26කට මුහුණ දුන් අතර ඉනිමට එක් කළේ එක් හයේ පහරක් පමණයි.

8 වැනි කඩුල්ල දැවී ගිය පසු පිටියට පිවිසි ජීවන් මෙන්ඩිස් තමන් මුහුණ දුන් පළමු පන්දුව සීමා ඉරට ඉහළින් යවමින් තරගයේ ජයග්‍රාහී ලකුණ වාර්තා කළා.

වනිඳුට අමතරව අනෙකුත් පන්දු යවන්නන් අතුරින් දිල්රුවන් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක සහ අශාන් ප්‍රියංජන් අතර කඩුල්ල බැගින් ද බෙදී ගියා.

කාසියේ වාසිය දිනූ දඹුල්ල ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ද ඔවුන්ට තමන් සිතූ තරමින් ඉනිමක් ගොඩ නැගීමට හැකි වූයේ නැහැ. කඩුලු අතර දිවීමේ දී දැක්වූ දුර්වලතාව හේතුවෙන් ඉනිමේ කඩුලු 4ක් අහිමි කර ගැනීමට ඔවුන්ට සිදු වුනා.

අර්ධ ආබාධිත තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එකට එක කරති

අර්ධ ආබාධිත තත්ත්වයට පත් ශ්‍රී ලංකා සහ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම් අතර…

ආරම්භක පිතිකරුවන් වූ ධනුෂ්ක ගුණතිලක සහ රමිත රඹුක්වැල්ල පළමු කඩුල්ලට ලකුණු 43ක් ලබා ගනිමින් කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා දුන්න ද පිතිකරුවන් ලෙසින් එක් වූ අනෙක් කිසිදු ක්‍රීඩකයෙක්ට වැඩි යමක් කණ්ඩායම වෙනුවෙන් කිරීමට හැකි වූයේ නැහැ.  

ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් රමිත රඹුක්වැල්ල පන්දු 22ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 33ක් ලබා සිටිය දී දැවී ගියා. අනතුරුව ලකුණු 71ක් වෙද්දී දඹුල්ල ක්‍රීඩකයන්ගේ ඉනිමේ තවත් කඩුලු 4ක් දැවී ගියා. ඒ අතරට අනෙක් ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකගේ කඩුල්ල ද අයත් වුනා. ධනුෂ්ක ඊයේ තරගයේ දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 23ක්. ඔහු ඒ වෙනුවෙන් පන්දු 30කට මුහුණ දුන් අතර හතරේ පහර සහ හයේ පහර බැගින් ඉනිමට එක් කළා.

7 වැනි කඩුල්ල වෙනුවෙන් මිනෝද් භානුක සහ වනිඳු හසරංග එක්ව ලකුණු 25ක සබඳතාවක් එක් කරමින් දඹුලු ඉනිමේ ශතකය පසු කළා. වනිඳු පන්දු 12කට මුහුණ දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 15ක් ලබා ගත් අතර මිනෝද් පන්දු 14කට මුහුණ දී හතරේ පහරක් සමඟින් ලකුණු 13ක් ලබා ගත්තා.

අනෙක් කිසිදු ක්‍රීඩකයෙක්ට ලකුණු 10 සීමාවට ළඟා වීමට කොළඹ පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැත.

පන්දු යැවීමේ දී අකිල දනංජය ලකුණු 28කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතරව ජීවන් මෙන්ඩිස් ලකුණු 19කට කඩුලු 2ක් දවා ගත්තා.  

දඹුල්ල; සියලුම දෙනා දැවී 123 (18.5) ධනුෂ්ක ගුණතිලක 23, රමිත රඹුක්වැල්ල 33, අකිල දනංජය 3/28, ජීවන් මෙන්ඩිස් 2/19

කොළඹ; කඩුලු 7ක් දැවී 124 (19.0) උපුල් තරංග 35, දිනේෂ් චන්දිමාල් 20, කමිඳු මෙන්ඩිස් නොදැවී 23, වනිඳු හසරංග 3/20

තරගාවලියේ තවත් තරග දෙකක් අද (26) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරග ලෙසින් පැවැත්වීමට නියමිත අතර උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<