රට සාමාන්‍ය වීමට සැරසෙද්දී ක්‍රිකට් කණ්ඩායමත් රාජකාරියට

104
Sri Lanka Cricket

පැතිර යන නව කොරෝනා වයිරසය නිසාවෙන් මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ අඩපණ වී තිබූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු මේ මස 15 වැනිදා සිට නැවතත් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

සංගාට ICC හි ලොකු තනතුරකට යන්න SLCයෙන් තල්ලුවක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ දක්ෂ කඩුලු රකින පිතිකරුවෙකු වන..

පුහුණුවීම් කටයුතු “ආරක්‍ෂිත නේවාසික කණ්ඩායම් පුහුණුවක්” ලෙස පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්, ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලය සහ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකට පසුවයි. 

කෙසේ නමුත් කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ අධි අවදානම් කලාප ලෙස හඳුනා ගෙන තිබෙන ප්‍රදේශ කිහිපය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය පිහිටා තිබෙන නිසාවෙන් එම ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් සඳහා යොදාගැනීමට අවස්ථාවක් නොමැත. ඒ නිසාවෙන් කොළඹ 7 සිංහල ක්‍රීඩා සමාජ පිටිය (SSC) හෝ ඒ අසලම පිහිටි NCC ක්‍රීඩා පිටිය යොදාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සූදානමින් සිටියි. 

මෙම නේවාසික පුහුණු කඳවුර සඳහා ක්‍රීඩකයින් සියලුම දෙනා එකවර සහභාගී නොවන අතර කණ්ඩායම් කිහිපයක් ලෙස බෙදා ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු විධිමත්ව සහ සෞඛ්‍ය ආරක්ෂිත ලෙස පැවැත්වීමට තීරණය කර ඇත. 

ඒ අනුව මේ පුහුණුවීම් සඳහා සහභාගී වන ක්‍රීඩකයින් පුහුණුවීම් සැසිය පැවැත්වෙන ක්‍රීඩා පිටියට නුදුරින්ම පිහිටි තරු පහේ හෝටලයක නවාතැන් ගැන්වීමට ද පියවර ගෙන ඇත. ඔවුන්ගේ ශරීර සුවතාව වැඩිදියුණු කිරීම වෙනුවෙන් අවශ්‍ය ශරීර සුවතා මධ්‍යස්ථානය (gym) නවාතැන් ගනු ලබන හෝටලයේ ශරීර සුවතා මධ්‍යස්ථානය හෝ ක්‍රීඩා අමාත්‍යංශයේ ශරීර සුවතා මධ්‍යස්ථානය යොදාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බව ද ThePapare.com වෙත ලැබුණු විශ්වාසවන්ත ආරංචි මාර්ග අනුව තහවුරු විය. 

වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ වැඩේට සඳකැන්ගෙන් සවියක්

Covid-19 වසංගත තත්වය නිසා පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සිය දෑත් දිගු කිරීම..

“ලබන සඳුදා දිනයේ දී (11) ශ්‍රී ලංකාව තුල දැනට පනවා තිබෙන පොලිස් ඇඳිරි නීතිය තරමක් ලිහිල් වෙනවා. පසුව අපි මුලින්ම අපේ වේගපන්දු යවන කණ්ඩායමේ සහ තුන් ඉරියව් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ගේ පුහුණුවීම් කටයුතු තමයි ආරම්භ කරන්නේ. මොකද දැනට තියෙන මේ වසංගත තත්වයත් එක්ක අපිට ක්‍රීඩකයින් ගොඩ දෙනෙක් එක තැනකට රැස්කරගෙන පුහුණුවීම් ආරම්භ කරන්න විදිහක් නැහැ.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආර්තර් මහතා “The Hindu” පුවත් පත වෙත සමඟ පසුගිය දා අදහස් දක්වා තිබේ. 

මෙම පුහුණු කඳවුර සඳහා සහභාගී වන සියලුම ක්‍රීඩකයින් සහ ඒ ඒ අදාළ කාර්ය මණ්ඩල නිලධාරීන් සියලුම දෙනා පුහුණුව ආරම්භ වීමට පෙර දිනයේ දී PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩල ලබා දෙන උපදෙස් නිසියාකාරව පිළිපදිමින් සමාජ දුරස්ථ භාවය තබාගෙන කටයුතු කරන ලෙසත් ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත උපදෙස් මාලාවක් ලබා දී ඇත. 

මෙහි පළමු කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන ක්‍රීඩකයින් වන ලහිරු කුමාර, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන සහ තුන් ඉරියව් ක්‍රීඩකයින් වන වනිඳු හසරංග සහ දසුන් ශානක යන ක්‍රීඩකයින් අට දෙන තෝරාගෙන තිබේ. 

ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්, පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆලවර්, ක්‍රීඩා විද්‍යා සහ වෛද්‍ය කළමනාකරු පෝල් කොයුරි, භෞතික චිකිත්සක අජන්ත වත්තේගම,  පුහුණු අභ්‍යාසක ඩිල්ශාන් ෆොන්සේකා යන මහත්වරුන් පුහුණු කාර්ය මණ්ඩලය සඳහා ඇතුලත්ව සිටියි.

කොරෝනාවට මැදි වූ එංගලන්ත – ශ්‍රී ලංකා තරගාවලිය නැවතත්?

පසුගිය මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග..

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට මාර්තු මාසයේ දී එංගලන්තය සමඟත්, ජුනි මාසයේ දී දකුණු අප්‍රිකාව සමඟත්, ජූලි මාසයේ දී බංග්ලාදේශය සහ ඉන්දීය කණ්ඩායම් සමඟත් මෙරට දී තරග වැදීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබුණි. නමුත් මෙම වසංගත තත්වය නිසාවෙන් එංගලන්තය සහ දකුණු අප්‍රිකානු තරගාවලිය මේ වන විට දින නියමයක් නොමැතිව කල් ගොස් තිබේ. 

එසේ වුවත් බංග්ලාදේශ තරගාවලිය සහ ඉන්දීය තරගාවලිය කල් දැමීම පිළිබඳව මෙතෙක් නිල වශයෙන් තීරණයක් ගෙන නොමැත. තවද කල්දමුණු එංගලන්ත තරගාවලිය ලබන වසරේ (2021) ජනවාරි මාසයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් සිටින බව වාර්තා වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<