“අපේ කණ්ඩායමේ ආකල්පමය වෙනසක් වුනා” – චන්දිමාල්

848

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංගලාදේශයේ පැවැත්වූ ක්‍රිකට් තරගාවලිය සාර්ථකව අවසන් කර අද (19) දිවයිනට පැමිණි අතර ඉන්පසුව ඔවුන් සියලු දෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් විය.

[rev_slider LOLC]

හතුරුසිංහගේ විප්ලවීය වෙනසින් ශ්‍රී ලංකාව විස්සයි විස්සත් දිනති

පරාජයන් රැසකට මුහුණ දෙමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම චන්දික හතුරුසිංහ මහතාගේ…….

ශ්‍රී ලංකාව, බංගලාදේශය හා සිම්බාබ්වේ සමඟ පැවැත්වූ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය, බංගලාදේශය සමඟින් පැවැත්වූ ටෙස්ට් හා විස්සයි විස්ස තරග දෙකම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ කලකට පසුව නැවතත් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ක්‍රිකට් ක්‍රීඩාව දෙසට නම්මා ගනිමිනි.

“මේ තරගාවලිය සාර්ථක කර ගැනීමට සහය වූ සෑම දෙනාටම මා ස්තුතිවන්ත වෙනවා, විශේෂයෙන්ම හතුරුසිංහ මහතාට. නැවතත් පෙර තිබූ අපේ සැඟවුණු දස්කම් ක්‍රමානුකූලව මතුවෙනවා. ඒක අපිට ලොකු සතුටක්.” යැයි මාධ්‍ය සාකච්ඡාව ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

අනතුරුව බංග්ලාදේශ තරග සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ නායක චන්දිමාල් මෙසේ සිය අදහස් පැවසූවේය.

“පසුගිය වසර 1 ½ කට ආසන්න කාලය අපේ කණ්ඩායමට ඉතාමත් අසීරු කාලයක් වුනා. ඉන්පසුව හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාර ගත්තාට පසුවත් අපි එක්දින තරග දෙකක් පරාජය වුනා. ඒ පරාජයන් නිසාවෙන් අපි අපේ පුහුණුවීම් හොඳින්ම කරලා අපේ කණ්ඩායම් ජවය වැඩිකර ගත්තා. තමාගේ රට වෙනුවෙන් සැවොම එකාමෙන් පවුලක් වගේ ක්‍රීඩා කරලා තමාට නියමිත ඒ ඒ කාර්යන් නිසියාකාරව ඉටු කරපු නිසා අපිට  පූර්ණ තරගාවලි ජයක් ලබා ගැනීමට පුළුවන් වුනා. ඒ වගේම  අපේ පුහුණුකරුවන් අපේ කණ්ඩායමේ ආකල්පමය වෙනසක් කළා. අවසානයේ මා ප්‍රේක්ෂකයින් ඇතුළු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා සෑම විටකම අපේ කණ්ඩායම සමඟින් සිටීම පිළිබඳව.”

ලබන මාර්තු මස 6 වැනිදා සිට 18 වැනිදා දක්වා ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශය තරග වදිනු ලබන නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබේ. ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ,

“ඉදිරියේ දී පැවැත්වෙන නිදහස් කුසලාන තරගාවලියට අපි සංචිතය තෝරා ගන්නේ අදාළ තණතීරු, ප්‍රතිවාදී කණ්ඩායමේ ස්වභාවය හා ඒ ඒ තරගය පවතින අවස්ථාව අනුවයි. මේ තරගාවලියේ දී නම් මම මේ ගොල්ලන්ගේ දක්ෂතාවලට වඩා මානසිකත්වය වර්ධනය කරපු එක තමයි ගොඩක්ම කළේ.”

එසේම පසුගිය තරගාවලි කිහිපයක දී විටින්විට සාර්ථක වූ තිසර පෙරේරා මේ තරගාවලිය පුරාවටම දස්කම් අතරට පැමිණීම සම්බන්ධවත් හතුරුසිංහ මහතා මෙහි දී අදහස් දක්වන ලදි.

“මේ කණ්ඩායමේ හැමෝම දස්කම් අතරට පිවිසුණා. ඒ වගේම කියන්න ඕන තිසර පෙරේරා ගැන ඔහුගේ යම් සුළු වෙනස්කම් කිහිපයක් මම නිවැරදි කර දුන්නා. පසුව ඔහු ඒ දේවල් නිවැරදි ලෙසින් භාවිතයට ගෙන දස්කම් අතරට පිවිසියා.”

මේ චන්දිමාල්ගේ හෝරාව ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හොඳින් හෝ නරකින් වාර්තා තබන්නට සූරයන් බව මීට පෙර ලිපියකින් අප සටහනක් තැබූ බව ඔබට මතක යැයි සිතමු……

තුන්කොන් තරගාවලිය අතරතුර පාදයේ කලව ආශ්‍රිතව නැවතත් ආබාධයකට ලක්වීම නිසා ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් තරගාවලියෙන් ඉවතට ගියේය.

“අවාසනාවන්ත ලෙස මගේ ආබාධය යළිත් ඉස්මත් වුනා. මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේ දී පැවැත්වෙන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි නියෝජනය කිරීමට, එහි දී හොඳ දස්කම් දක්වන්න බලාපොරොත්තු වෙනවා. චන්දිමාල් රංගන හේරත් ඇතුළු සෑම ක්‍රීඩකයෙක්ම මෙම සංචාරය තුළ ඔවුන්ට ලැබුණු වගකීම නිසියාකාරව ඉටු කළා. අපේ නිහඬ විරුවා තමයි රංගන හේරත්.” යැයි මැතිව්ස් පවසන ලදි.

වමතින් ලොව වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් ඇතුළු බංග්ලාදේශ තරග සංචාරය නියෝජනය කළ සෑම ක්‍රීඩකයෙක්ම මේ අවස්ථාව සඳහා සහභාගි වී සිටි අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් රැසක් ද මේ අවස්ථාවට සම්බන්ධ වී සිටින ලදි.

ජයග්‍රහණයේ සිංහරාවය අප සිත් තුළින් ඉවත්ව යාමටත් පෙරාතුව ලබන 6 වැනිදා ආරම්භ වන නිදහස් කුසලාන තරගාවලියේ දී ද මෙවැනි ආකාරයේ හෝ මීට වඩා හොඳ දස්කම් දක්වා නිදහස් කුසලානයේ අභිමානයත් අප රටට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකි වේවායි ThePapare.com අප ප්‍රාර්ථනා කරමු.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<