හතුරුසිංහගේ විප්ලවීය වෙනසින් ශ්‍රී ලංකාව විස්සයි විස්සත් දිනති

2159

පරාජයන් රැසකට මුහුණ දෙමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම චන්දික හතුරුසිංහ මහතාගේ ගුරුහරුකම් යටතට පත්වූවාට පසුව යළිත් ක්‍රමක්‍රමයෙන් ජයග්‍රහණයේ මාවත ඔස්සේ ඉදිරියට ඇදී යන බව සැමට පසක් කරමින් අද (18) සිලෙට් හිදී නිමා වූ දෙවන හා අවසන් විස්සයි විස්ස තරගයෙන් ද ලකුණු 75 ජයක් වාර්තා කරමින් තරගාවලිය ද ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය.

[rev_slider LOLC]

ටෙස්ට් ජයග්‍රහණයට පසුව ඇර​ඹෙන T20 ජයත් ශ්‍රී ලංකාවට ද?

බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අනිද්දා..

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශයේ ඇරයුමින් පළමුව පිටියට පිවිසි නවක ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක බංග්ලාදේශ පන්දු යවන්නන්ට එරෙහිව ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වෙමින් ලකුණු 98ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. 4 පහර 3ක් හා 6 පහර දෙකක් සමඟින් ලකුණු 42ක් ලබා සිටි ගුණතිලක දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ පන්දුවාර 11ක් අවසන්ව තිබුණේ එක් කඩුල්ලක් දැවී ලකුණු 98ක් ලෙස දැක්වෙමිනුයි.

ශ්‍රී ලංකා ඉනිමේ පන්දුවාර අඩක් ඉක්මවා තවත් පන්දුවාරයක් අවසන්ව තිබූ නිසා මැදපෙළ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන තිසර පෙරේරා පිතිකරණ ලැයිස්තුවේ උසස් වීමක් ලබාගෙන ඉදිරියට එවීමට ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තීරණය කළේ විශාල ලකුණු පුවරුවක් වෙත යාමේ අරමුණ ඇතිවයි. එම බලාපොරොත්තුව සඵල කරමින් තිසර පන්දු 17ක් තුළ ලකුණු 31ක් ලබා ගැනීමට සමත් විය.

මේ චන්දිමාල්ගේ හෝරාව ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හොඳින් හෝ නරකින් වාර්තා තබන්නට සූරයන් බව මීට පෙර ..

කණ්ඩායමේ ආරම්භක පිතිකරණ භූමිකාවට තමන් සුදුසු යැයි හතුරුසිංහ මහතා ප්‍රමුඛ කළමනාකරණයට ඒත්තු ගන්වමින් ක්‍රියාත්මක වූ දකුණතින් පිත්ත හසුරුවන මෙන්ඩිස් ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ පෙරමුණේ රාළ බවට පත්වූයේ ලකුණු 70ක් ලබා ගනිමිනි. එම ඉනිමට 4 පහර 6ක් හා 6 පහර 3ක් අන්තර්ගත විය. ඔහුගේ කඩුල්ල දවා ගැනීමට සමත් වූයේ මස්ටෆයිසුර් රහුමාන්ය.

අවසානයේ දසුන් ශානක හා උපුල් තරංග එක්ව ශ්‍රී ලංකා ඉනිම අවසානය දක්වා රැගෙන යාමට සූදානම් වූයේ එක් අන්තයකින් ක්‍රියාත්මක වී සිටි ශානක පන්දු 11ක් කුළ වේගවත්ව ලකුණු 30ක් ලබා ගත්තේ 4 පහර 5ක් හා එක් 6 පහරක් බංග්ලාදේශ පන්දු යවන්නන්ට එදිරිව වාර්තා කරමිනි.

ලකුණු 211ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ පිතිකරුවන් හට මුල සිටම පීඩනයක් එල්ල කරමින් පන්දු යැවීමට ශෙහාන් මදුසංක හා අකිල ධනංජය සමත් වූයේ සෞම්‍ය සරක්කාර්, මුශ්ෆිකර් රහීම් හා මොහොමඩ් මිතුන් යන ප්‍රබල පිතිකරුවන් තිදෙනාම ක්‍රීඩාගාරයට හරවා යවමිනි.

මැදපෙළ සවිමත් කළ නායක මහමදුල්ලා 4 පහර 4ක් හා එක් 6 පහරක් සමඟින් ප්‍රහාරාත්මක පිතිකරණයක් දියත් කිරීමට සැරසෙද්දී දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට ශ්‍රී ලංකා පන්දු රකින්නන් සමත් විය.

නිරෝශන් දික්වැල්ල වෙනුවට කණ්ඩායමට එකතු වූ අමිල අපෝන්සුගේ මංගල විස්සයි විස්ස කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 29ක් ලබා සිටි තමීම් ඉක්බාල් ය.  ඔහුව දවා ගැනීමට අකිල ධනංජය ද අමිලට සහය විය.

මහමදුල්ලා දැවී යන විට සත්කාරක බංග්ලාදේශ ලකුණු පුවරුව කඩුලු 6ක් දැවී ලකුණු 110ක් ලෙස දිස්වූයේ තරගයේ වැඩි වාසිය ශ්‍රී ලංකාව දෙසට හරවමිනි. එසේම බංග්ලාදේශ ඉනිමේ මුල් පන්දුවාර කිහිපය තුළ ශෙහාන් මදුසංක කලව ආශ්‍රිතව ආබාධයකට ලක්විය.

කෙසේ නමුත් අවසන් කඩුලු කිහිපයත් ලකුණු 25ක් තුළ දවා ගැනීමට ගුණතිලක හා මදුසංක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ ලකුණු 75ක දැවැන්ත ජයග්‍රහණයක් සියතට ගනිමිනි. පන්දු යැවීමේ දී ගුණතිලක හා මදුසංක කඩුලු 2ක බැගින් දවාලූ අතර අකිල ධනංජය, අමිල අපෝන්සු, දසුන් ශානක, ජීවන් මෙන්ඩිස් හා ඉසුරු උදාන අතරේ එක් කඩුල්ල බැගින් බෙදී යන ලදි.

ශ්‍රී ලංකාව – 210/4 (20): කුසල් මෙන්ඩිස් 70, ධනුෂ්ක ගුණතිලක 42, තිසර පෙරේරා 31, දසුන් ශානක 30*, උපුල් තරංග 25.

බංග්ලාදේශය – 135/10 (18.4): මහමදුල්ලා 41, ධනුෂ්ක ගුණතිලක 2/03, ශෙහාන් මදුසංක 2/23.

ඒ අනුව නිමා වූ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය, ටෙස්ට් තරගාවලිය හා විස්සයි විස්ස තරගාවලිය යන තරගාවලි තුනම ජයග්‍රහණය කරමින් ගිලිහෙමින් තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන්ගේ ආකර්ශණය යළිත් ක්‍රීඩාව දෙසට හරවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අද සමත් විය.

  • තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා – කුසල් මෙන්ඩිස්

ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශය තරග වදිනු ලබන නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 6 වැනි දා සිට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<