මේ චන්දිමාල්ගේ හෝරාව ද?

2517

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හොඳින් හෝ නරකින් වාර්තා තබන්නට සූරයන් බව මීට පෙර ලිපියකින් අප සටහනක් තැබූ බව ඔබට  මතක යැයි සිතමු. මෙම ලිපිය සකසන්නට ආරම්භක සටහන තබන අවස්ථාව වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආසන්නතම වාර්තාව මෙරට ක්‍රිකට් ඉතිහාසයේ විශාලතම සාර්ථක පන්දුවාර 20 ක්‍රිකට් හඹා යාමයි. ඊට පෙර පසුගිය වසරේ තිබූ දක්ෂතා අනුව බලන කල, අතිශය ඉහළින් අගය කළ හැකි ටෙස්ට් ජයග්‍රහණයක් බංග්ලාදේශයට එරෙහිවත්, බොහෝ දෙනා ශ්‍රී ලංකා කණ්ඩායමේ සම තත්ත්වයේ ලා සැලකූ සිම්බාබ්වේ සහ බංග්ලාදේශයට එරෙහිව තුන්කොන් එක්දින තරගාවලි ජයග්‍රහණයක් ද 2018 වසරේ ආරම්භය මෙරට ක්‍රිකට්ලෝලීන් හට සුබදායක හැඟීමක් ගෙන දෙන්නට සමත් විය.

[rev_slider LOLC]

ශ්‍රී ලංකාව 2018 වසරට පිවිසෙන්නේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරග සඳහා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් නැවත වරක් කැඳවමිනුයි. අවාසනාවකට මෙන් මේ කැඳවීමට ද වැඩි ආයුෂ තිබුණේ නැත. එක් තරගයක ඇවෑමෙන් මැතිව්ස් සුපුරුදු පරිදි ආබාධයකට ලක් වූ අතර කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කණ්ඩායමේ නායකත්වය  භාර ගන්නට සිදු වුණේ දිනේෂ් චන්දිමාල් හටයි. ඒ සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගය ද පරාජය වී මානසිකත්වයේ අන්තයටම ඇද වැටී තිබූ කණ්ඩායමකි.

බංග්ලාදේශය සමඟ පැවති ආරම්භක තරගය ද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුනේ පෙර කී පරිදිම වාර්තාවක් සමඟිනි. (බංග්ලාදේශයේ විශාලම එක්දින තරග ජයග්‍රහණය – ලකුණු 163 කින්). නමුත් එතැන් පටන් මේ ලිපිය සැකසෙන අවස්ථාව වන තෙක් බංග්ලාදේශය තුළ අපරාජිතව සිටින්නට චන්දිමාල්ගේ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

ඇන්ජලෝ මැතිව්ස් නායකයෙකු සහ ක්‍රීඩකයකු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙත කෙතරම් සේවයක් සිදු කර ඇති ද? යන්න අමතක කළ හැකි කිසිවෙකු වේ නම්, සති කිහිපයකට පෙර පල වූ මෙම ලිපිය  කියවන ලෙස අපි ආරාධනා කරමු.

”ආදරණීය මැතිව්ස් වෙත ලියා දන්වන වග නම්…”

ආදරණීය මැතිව්ස්, පළමුවෙන්ම ඔබගේ නායකත්වයේ දෙවන ඉනිමට සුබ පතන්නට කැමැත්තෙමි, ඔබගේ නව ආරම්භයට සුබ පතන පළමුවැනියා හෝ එකම පුද්ගලයා මම නොවේ………..

කෙසේ වෙතත් අප දැන් යථාර්ථයට මුහුණ දිය යුතු වෙමු. ක්‍රීඩාව විසින් මැතිව්ස් ආබාධ රැසක ගොදුරක් බවට පත් කර අවසානය. එබැවින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඉදිරිය සඳහා වෙනත් නායකයෙකු සොයා ගත යුතුව තිබේ. දිනේෂ් චන්දිමාල් එම චරිතය රඟ දැක්වීම සඳහා කෙතරම් යෝග්‍ය ද?

අපි මෙම බංග්ලාදේශ තරගාවලිය තුළ චන්දිමාල්ගේ දක්ෂතා පිළිබඳ මදක් හැරී බලමු. තුන්කොන් එක්දින තරගාවලියේ ඉනිම 4ක් තුළ ලකුණු 145ක් ලබාගෙන ඇති චන්දිමාල් රඳවා ගෙන ඇති ප්‍රහාරාත්මක වේගය 72.28ක් වෙයි. සාමාන්‍ය 45ට මදක් වැඩිය. ඊට පෙර පැවති පාකිස්තාන තරග සංචාරයේ එක්දින තරග 5ක් තුළ ඔහු ලබාගෙන ඇත්තේ ලකුණු 41ක් පමණි. සාමාන්‍ය 8ක මට්ටමට වැටී තිබුණි. විරාත් කෝලි දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරග 6ක් තුළ ලබා ගත් ලකුණු සංඛ්‍යාව 500කට අධිකය.

ඒ නයින් බලන කළ චන්දිමාල් අසාර්ථක ක්‍රීඩකයකු ලෙස නම් කරන්නට ඇතැමෙකුට සිතීම අසාධාරණ නැති බව ද කිව හැකිය. නමුත් මේ ඉන්දියාව නොවේ මේ ශ්‍රී ලංකාව ය. 2017 වසර දෙස හැරී බලද්දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූ එක්දින නායකයන් සංඛ්‍යාව එදා මෙදා තුර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය පාලනය කිරීමට ජනතාව තෝරා පත් කර ගත් විධායක ජනාධිපතිවරු සංඛ්‍යාවට සමානය. නමුත් ඒ කිසිවෙකුට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතට ඇද දමන්නට සමත් වුනේ නැත. නොහොත් සටන්කාමී පිවිසුමක් හෝ දක්නට නොලැබීම තරග පරාජය වීමටත් වඩා ක්‍රීඩාලෝලීන් කනස්සල්ලට පත් කළ කාරණයක් විය.

සීමිත පන්දුවාර පිටියට චන්දිමාල් දෙවන ආගමනය සිදු වන්නේ එවැනි පසුබිමක් තුළ ය. තුන්කොන් එක්දින තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමඟ දෙවන තරගය අනිවාර්යයෙන් ජය ගත යුතු සටනක් බවට පත්ව තිබූ අවස්ථාවක චන්දිමාල් නම් ‘නායකයා’ අවදි වූ බවක් පැහැදිලිවම දැක ගන්නට ලැබුණි. උඩ පන්දු කිහිපයක් සමඟින් තරගයේ ග්‍රහණය ද ගිලිහී යමින් පැවති අවස්ථාවේ කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් කැඳවා තමන්ගේ අරමුණ කුමක් දැයි පහදා දුන් නායකත්වයේ ක්‍රියාව කණ්ඩායම සම්පූර්ණයෙන්ම කණපිට හැරවීමක ආරම්භයක් බවට පත් වුනේ ඉන්ද්‍රජාලයක් මෙනි.

“මැතිව්ස් තවමත් සුවය ලබා නැහැ. චන්දි ඔයා විස්සයි විස්සත් කැප්ටන් කරන්න.” තේරීම් කමිටුව මේ පණිවුඩය ගෙන එන්නේ සාර්ථක ටෙස්ට් තරගාවලියක් අවසන් කර ගෙදර එන්නට සූදානමින් සිටි අවස්ථාවක විය හැකිය. තිසර පෙරේරා ද පිටුපසට ගමන් ගනිමින් තිබූ තම ක්‍රිකට් ජීවිතය අංශක 180කින් හරවා ගෙන ඇති මොහොතක අවසන් වරට පන්දුවාර 20 තරගය මෙහෙය වූ ඔහුට වඩා පන්දුවාර විස්ස කණ්ඩායමේ ස්ථානයක් පවා ස්ථාවර කර ගන්නට අපොහොසත්ව සිටි චන්දිමාල් පිළිබඳ විශ්වාසය තැබුවේ ඔහුගේ නායකත්ව ගුණාංග කෙරෙහි වැඩි විශ්වාසයක් රඳවා විය යුතුය.

කාපට් ඇතිරූ මාර්ගයකට හෝ ගුවන් තොටුපල මං තීරුවකට නොදෙවෙනිව සකසා තිබූ මීර්පූර් තණතීරුවේ බංග්ලාදේශ ක්‍රීඩකයන් සිය ඉහළම පන්දුවාර 20 ලකුණු සංඛ්‍යාව වාර්තා කරද්දී බොහෝ දෙනා සිහි කළේ චන්දිමාල්ගේ ප්‍රහල ප්‍රහාරාත්මක වේගය පිළිබඳවයි. කෙසේ වෙතත් ඔහුගේ ආක්‍රමණශීලී පිටිය සැකසීම් සහ පන්දු යවන්නන් යොදා ගැනීමේ උපක්‍රම බංග්ලාදේශ ඉනිම තුළ සුපුරුදු පරිදිම දක්නට ලැබුණි. ධනුෂ්ක ගුණතිලක දෙවන පන්දු වාරයේ දී තමන් වෙත පෙරලා පැමිණි උඩ පන්දුව රැක ගන්නට සමත් වී නම් බංග්ලාදේශ ලකුණු පුවරුව මීට වඩා වෙනස් වන්නට ද ඉඩ තිබුණි.

පිළිතුරු ඉනිමේ දී චන්දිමාල් දිගින් දිගටම පිතිකරණ ලැයිස්තුවේ පහතට පැමිණීම ඔහු බියෙන් සැඟවීමක් ලෙස යමෙකුට අර්ථකථනය කරන්නට හැකියාව තිබුණ ද, උපක්‍රමශීලී පසුබැසීම යුද පිටියක වුවද භාවිත කරන උපායක් බව ද මතක තබා ගත යුතුය. එමෙන්ම තමන් නායකයා වූ පමණින්ම පිතිකරණ ලැයිස්තුවේ තමන් කැමති ස්ථානයක් ලබා ගත යුතුයි සිතන නායකයන් ද සිට බව ද අමතක කළ යුතු නැත.

මේ සියලු කරුණු සලකා බලන කල ක්‍රිකට් ක්‍රීඩාවේ ජයග්‍රහණ සඳහා 25%ක බලපෑමක් ඇති බව පැවසෙන වාසනාව ද මෙතෙක් චන්දිමාල් සතුව තිබෙන බව පැහැදිලි ය. එසේ නම් 2019 ලෝක කුසලාන එක්දින තරගාවලිය සඳහා සූදානම් වීමේ ප්‍රධානතම කාල සීමාව වන මේ කාලයේ දී කණ්ඩායමේ නායකත්වය ඔහුටම පැවරීම පිළිබඳ තේරීම් කමිටුවේ අවධානය යොමු වුවහොත් එහි ද අරුමයක් නොපෙනේ.

නමුත් එමගින් මැතිව්ස් නායකත්වයට නුසුදුසු ක්‍රීඩකයෙක් ලෙස අර්ථ දැක්වීමක් සිදු නොවේ. ඔහු තමන්ගේ ජීවිතයේ වැඩි කොටසක් ක්‍රීඩාවට කැප කර ඒ නිසාවෙන්ම පත්ව සිටින්නේ පහසුවෙන්ම ආබාධයන්ට ගොදුරු වන තත්ත්වයකටයි. එබැවින් ඔහුට අගෞරව කිරීම කිසිසේත්ම ක්‍රීඩාවේ වටිනාකම්වලට නොහොබී. තවද තවමත් සම්පූර්ණ ශාරීරික යෝග්‍යතාවයෙන් සිටින විට ඇන්ජලෝ මැතිව්ස් විශිෂ්ට ඝනයේ පිතිකරුවෙකි. නමුත් කණ්ඩායම එක් දිගුකාලීන ඉලක්කයක් වෙත ගමන් කිරීමේ දී ඒ සඳහා නිත්‍ය නායකයෙකුගේ වටිනාකම කිසිසේත්ම සුළු කොට තැකිය හැකි අවශ්‍යතාවක් නොවේ.

ඉහළට නගින්නට උපකාරී වූ ඉණිමගට පයින් ගැසීම අධම ක්‍රියාවක් ලෙස මුළු ලොවම සලකයි. කෙසේ වෙතත් කණ්ඩායමක් ලෙස ඉදිරියට යාමේ දී ඉණිමග කර තබාගෙන යාමේ හැකියාවක් ද නොමැති බව ක්‍රිකට් කරළියේ සියල්ලන් තේරුම් ගත යුතු සත්‍යතාවකි. වසර 10ක් පුරා  මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට වීරයෙකු වූ ලසිත් මාලිංග මෙවර අයි. පී. එල්. වෙන්දේසියේ දී අවලංගු කාසියක් බවට පත් විය. ක්‍රීඩකයකුට කළ ගුණ සැලකීම පිළිබඳ ලොවට පෙන්වා දුන් මුම්බායි කණ්ඩායම මාලිංගට වේගපන්දු උපදේශක තනතුරක් පිරිනමද්දී ක්‍රිකට් පිටියේ සත්‍යතාව වටහා ගෙන එම තනතුර භාර ගන්නට තරම් නිහතමානී විය. ඉහළට නගින්නට ඉණිමගක් වූ  ක්‍රීඩකයෙක් ශ්‍රේෂ්ඨයෙකු වන්නේ කණ්ඩායම වෙනුවෙන් කැඩී බිඳී ඉදිරි පියවරට අවශ්‍ය පාලමක් බවට පත් වන්නට කටයුතු කළහොත් පමණි.

යළිත් අද තිබෙන තත්ත්වය දෙස අවධානය යොමු කරමු. 1996 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් දෙස හැරී බැලීමේ දී එකල සිටි සුපිරිම ක්‍රීඩකයා අර්ජුන රණතුංග නොවේ. එම කණ්ඩායමේ සිටියේ ද දක්ෂතම ක්‍රීඩකයන් නොව වැඩිම කැපවීමක් තිබූ ක්‍රීඩකයන් බව අර්ජුන රණතුංග ම පසුගිය දා පවසන ලදි. එකල සිටි පරිපාලකයන් අර්ජුනගේ පිතිකරණ දක්ෂතා පිළිබඳ පමණක් සලකා බලා කටයුතු කළේ නම් අදටත් ශ්‍රී ලංකාවට එක්දින ලෝක කුසලානයක පහස හිමි නොවීමටත් ඉඩ තිබුණි. 2014 ජයග්‍රාහී ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය තුළ දී චන්දිමාල් තම දක්ෂතා පහළ මට්ටමක තිබීම හේතුවෙන් නායකත්වය අත්හැරීමට තරම් නිහතමානී වූ බවද අපට මතකය.

විවේචන කොතෙකුත් තිබිය හැක. නමුත් අවසානයේ වැදගත් වන්නේ පිටිය මැද සිදු වන දේ පමණය. ක්‍රිකට් කණ්ඩායම් ක්‍රීඩාවක් බැවින් එක් ක්‍රීඩකයෙකු ශතකයක් වාර්තා කළ පමණින් හෝ කඩුලු 5ක් දවා ගත් පමණින් තරගයක් ජයග්‍රහණය කළ නොහැක. දකුණු අප්‍රිකාව ද අත්දැකීම් බහුල ක්‍රීඩකයන් රැසක් සිටිය දී එක්දින තරග දෙකක් පමණක් ක්‍රීඩා කර සිටි ඒඩන් මාක්රම් හට නායකත්වය පවරන්නේ ඔහු තුළ යම් නායකත්ව ගුණාංග දුටු බැවින් විය හැකිය.

2019 ඉලක්කයක් පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ සිහිනයක් තිබේ නම්, තවත් වරක් නැවේ සුක්කානම දරන්නා පිළිබඳ සිතා බැලිය යුතුව ඇත. ශ්‍රී ලංකාව තුළ අති දක්ෂ ක්‍රීඩකයන් රැසක් සිටින බව නොරහසකි. නමුත් 2019 ලෝක කුසලාන ඉලක්කය වෙත කණ්ඩායම සූදානම් කිරීමේ දී, නායකත්වයේ වගකීම භාර දීම සඳහා දිනේෂ් චන්දිමාල්  තරම් සුදුස්සෙක් වත්මන් කණ්ඩායම තුළ පෙනෙන්නට නැත. ඉන් පවසන්නේ චන්දිමාල් දියුණු කර ගත යුතු අංශ නැති බව නම් නොවේ. ඔහු තම පෞද්ගලික දක්ෂතා තවත් බොහෝ ඔප්නංවා ගත යුතුව තිබේ. තමන් දියුණු වන අතරම කණ්ඩායම ද තමන් සමඟම ඉදිරියට ඇදගෙන යන්නට තරම් කැපවීමක් සිදු කරන්නට කැමති නම් මේ එළඹ ඇත්තේ චන්දිමාල්ගේ හෝරාවයි.

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායකත්වයට වෙනත් සුදුස්සන් ඇති ද? ඔබේ අදහස පහතින් දක්වන්න.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<