Major කුසලානය සොයා SSC සහ Police සටන් බිමට

SLC Major Clubs 3-Day Tournament 2023

1604

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (08) සිට 11 වැනිදා දක්වා කොළඹ NCC පිටියේ දී සිවු දින තරගයක් සේ ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ A කාණ්ඩයෙන් පෙරමුණ ගත් SSC කණ්ඩායම සහ B කාණ්ඩයෙන් පෙරමුණ ගත් Police කණ්ඩායම මෙම තරගයට සුදුසුකම් ලබා තිබෙනවා. මෙම කණ්ඩායම් 2 ම මෙම අවසන් මහා තරගයට පිවිසෙන්නේ අපරාජිතයන් ලෙසින් වීම විශේෂත්වයක්.

SSC ක්‍රීඩකයෝ තමන් සහභාගී වූ තරග 10න් 3ක් ජයග්‍රහණය කළ අතර තරග 6ක් ජය පරාජයකින් තොරව ද සහ අනෙක් තරගය විසඳුමකින් තොරව ද අවසන් කරනවා. ඒ අනුව ඔවුන් ලද ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 109.15ක්.

Police ක්‍රීඩකයෝ ද තමන් සහභාගී වූ තරග 10න් 3ක් ජයග්‍රහණ කරනු ලබන අතර තරග 6ක ජය පරාජයකින් තොරව ද සහ අනෙක් තරගය විසඳුමකින් තොරව ද අවසන් කරමින් ප්‍රසාද ලකුණු 114.25ක් ලබා ගනිමින් පළමු ස්ථානයට පත් වෙනවා.

මෙම තරගයේ දී ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ම කණ්ඩායම් 2 සමාජිකයන් වී සිටිම නිසා තරගය වඩාත් තරගකාරී වනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.

කෙසේ වෙතත් තරගයේ වඩාත් අවධානයට ලත්  ක්‍රීඩකයා වන්නේ Police කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර. ඔහු මෙවර තරගාවලියේ දී තරග 9ක ඉනිම් 18ක දී පන්දු යවමින් කඩුලු 72ක් ලබා ගන්නා ලද අතර එය මෙවර තරගාවලියේ පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාවයි.

ඔහුගේ සහායට දකුණතින් පිට දඟ පන්දු යවන නලින් ප්‍රියදර්ශන ද සිටිනවා. ඔහු මේ වෙද්දී ලබා ඇති කඩුලු ප්‍රමාණය 40ක්. එබැවින් ඔවුන් මෙම තරගයේ දී ද පෙර පරිදි ම දඟ පන්දු යවන්නන් කෙරෙහි වැඩි විශ්වාසය තබා ගනිමින් පිටියට පිවිසෙනු නියතයි.

Police පිතිකරු ලැයිස්තුවේ වඩාත් විශ්වාසවන්තයා වී සිටින්නේ නායක අශේන් බණ්ඩාර. ඔහු මේ දක්වා ශතක 4ක් සමඟින් ලකුණු 664ක් ලබා සිටිමින් මෙම තරගය හා එක් වෙනවා. එමෙන් ම ප්‍රියාමාල් පෙරේරා සහ හේෂාන් ධනුෂ්ක ද ලකුණු 400 ඉක්මවා ලබා සිටින අතර ඔවුන්ගේ පෙරහුරුව ද මෙම තරගයට උපයෝගී විය හැකියි.

අවශ්‍ය අවස්ථාවල දී පිටියට පිවිසෙමින් ලකුණු අතරට පිවිසෙන චාමර සිල්වා මෙන් ම චතුරංග සිල්වා ද Police කණ්ඩායමේ බලාපොරොත්තු අතර සිටින පිතිකරුවෝ ලෙසින් හැඳින්විය හැකියි.

කෙසේ වෙතත්  Police කණ්ඩායමේ සාමාජිකත්වය හිමි කුසල් පෙරේරා සහ නුවන් ප්‍රදීප් ද මෙම තරගයේ දී බොහෝ විට ප්‍රතිවාදීන්ට එරෙහිව පිටියට පිවිසෙතැයි සිතිය හැකියි.

වැඩි පිතිකරුවන් ප්‍රමාණයකින් සමන්විත SSC ක්‍රීඩකයෝ තම අල්ලපු වත්තේ පැවැත්වෙන තරගය සඳහා ඒ අනුව ම සහභාගී වෙතැයි සිතිය හැකියි. ඔවුන් අතුරින් ප්‍රමුඛයෙන් ම කියැවෙන්නේ තරගාවලියේ එක ම ද්විත්ව ශතකලාභියා වන ශෙවෝන් ඩැනියෙල්. ඔහු මේ වන විට ලබා ඇති ලකුණු ප්‍රමාණය 637ක්. ඊට ශතක 3ක් සහ අර්ධ ශතකයක් ද ඇතුලත් කර ගැනීමට ඔහු සමත් වෙනවා.

ඊට අමතර ව නුවනිඳු ප්‍රනාන්දු, අවිශ්ක ප්‍රනාන්දු සහ කවිඳු නදිශාන් ද  SSC කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක් වූ පිතිකරුවන් ලෙසින් විශ්වාසය දිනා සිටිනවා.

පන්දු යවන්නන් අතුරින් ඉදිරියෙන් පසු වෙන්නේ දකුණතින් පිට දඟ පන්දු යවන ලක්ෂිත මනසිංහ. ඔහු කඩුලු 34ක් ලබා ගනිමින් මෙම තරගය හා එක් වෙනවා. ඊට අමතර ව කඩුලු 29ක් ලබා ගත් නිසල තාරක සහ කඩුලු 20ක් ලබා ගත් ප්‍රභාත් ජයසූරිය ද SSC කණ්ඩායමට විශ්වාසය එක් කරන පන්දු යවන්නෝ ලෙසින් හැඳින්විය හැකියි.

ඔවුන්ට අමතර ව මෙවර තරගාවලියේ දී වරින් වර SSC  කණ්ඩායම හා එක් වූ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන කුසල් මෙන්ඩිස්, දසුන් ශානක සහ දිමුත් කරුණාරත්න ද ඇතැම් විට හෙට තරගයේ දී ප්‍රතිවාදීන්ට එරෙහිව පිටියට පිවිසෙනු ඇතැයි සිතිය හැකියි.

SSC කණ්ඩායම : නිපුන් ධනංජය (නායක), ශෙවෝන් ඩැනියෙල්, සදීෂ රාජපක්ෂ, කවිඳු නදීශාන්, නුවනිඳු ප්‍රනාන්දු, මනෝජ් සරත්චන්ද්‍ර, චමිඳු වික්‍රමසිංහ, ලක්ෂිත මනසිංහ, නිසල තාරක, කලන පෙරේරා, නිම්නක ජයතිලක, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, අවිශ්ක ප්‍රනාන්දු, රනුද සෝමරත්න, සසිඳු මල්ෂාන්, ක්‍රිශාන් සංජුල, ප්‍රභාත් ජයසූරිය, දිමුත් කරුණාරත්න, ෂෙහාන් හසරංග.

Police කණ්ඩායම: අශේන් බණ්ඩාර (නායක) ධනුජ ඉඳුවර, සුපුන් මධුශංක, හේෂාන් ධනුෂ්ක, Gitansh Khera, ප්‍රියමාල් පෙරේරා, චාමර සිල්වා, චතුරංග කුමාර, දනාල් හේමානන්ද, මාලින්ද පුෂ්පකුමාර, නලින් ප්‍රියදර්ශන, කුසල් පෙරේරා, චතුරංග කුමාර, නදීර බාලසූරිය, රන්දුණු ගංගනාත්, තරුෂ සිල්වා, චාරුක ප්‍රමෝද්, නුවන් ප්‍රදීප්.

1938 වසරෙන් ආරම්භ වන ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ Police ක්‍රීඩකයෝ අවසන් මහා තරගයක් සඳහා එක් වෙන පළමු අවස්ථාව මෙය වන අතර SSC කණ්ඩායම මේ දක්වා අවස්ථා 32ක දී පළමු පෙළ ශූරයන් වී තිබෙනවා. ඔවුන් අවසන් වරට පළමු පෙළ ශූරතාවට හිමිකම් කියන්නේ 2016 වසරේ දී දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේයි.

මෙම තරගය ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා නාලිකාව වන ThePapare.com මඟින් සජීවි ව විකාශය කිරීමට නියමිතයි. ඒ අනු ව Dialog TV නාලිකා අංක 119,  Dialog ViU app සහ ThePapare.com Web මඟින් ද නැරඹිය හැකියි.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<