ප්‍රබලයින් රැසකගේ ක්‍රීඩක කොන්ත්‍රාත්තු කප්පාදු වෙයි?

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තුව

235

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරි දින කිහිපය තුල නිකුත් කිරීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නව වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට අනුව ක්‍රීඩකයින් කාණ්ඩගත කිරීම් සහ ගෙවීම්වල විශාල වෙනස්කම් රැසක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල් සහ දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයින්ගේ ක්‍රීඩක කොන්ත්‍රාත්තුගත මුදල් ප්‍රමාණයන් පසුගිය වර්ෂවලට සාපේක්ෂව විශාල ලෙස කප්පාදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

යෝජිත නව කොන්ත්‍රාතු ක්‍රමයට අනුව ක්‍රීඩකයින් කාණ්ඩගත කිරීමේ දී 2019 වසරේ ජනවාරි 1 වැනිදා සිට 2021 වසරේ ජනවාරි 31 දක්වා වසර දෙකක කාලයක් තුල ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන තරග රටාවන් තුල දැක්වූ දස්කම් සලකා බලා තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

එම යෝජිත නව කොන්ත්‍රාත් ක්‍රමයට අනුව කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල සහ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා වැඩිම කොන්ත්‍රාත්තු ගත මුදලකට හිමිකම් කීමට නියමිත අතර A කාණ්ඩයේ පළමු කොටසේ සිටින ඔවුන් දෙදෙනා හට ඇමරිකානු ඩොලර් ලක්ෂයක ($100,000) මුදලක් ගෙවීමට නියමිතයි.

මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කොන්ත්‍රාත්ගත මුදලක් සඳහා හිමිකම් කියූ ඇන්ජලෝ මැතිව්ස් හට පසුගිය වසරේ දී $130,000ක මුදලක් ලැබුණු නමුත්, මෙවර මැතිව්ස් සහ නව එක්දින නායක කුසල් පෙරේරා A කාණ්ඩයේ දෙවැනි කොටසට කාණ්ඩගත කරමින් $80,000ක මුදලක් ගෙවීමට නියමිතයි.

එසේම ශ්‍රී ලංකා ටෙස්ට් නායක සහ හිටපු එක්දින නායක දිමුත් කරුණාරත්න හට පසුගිය කොන්ත්‍රාත්තුගත ගෙවීමේ දී $100,000ක මුදලක් ලැබුණු නමුත් එය මෙවර $70,000. දක්වා අඩුවීමට නියමිතව තිබෙනවා. 

තවද අංශ තුනම ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකාවේ සිටින අත්දැකීම් බහුලතම වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් හට පසුගිය කොන්ත්‍රාත්ගත කිරීමේ දී හිමිවුණු $100,000ක මුදල් ප්‍රමාණය මෙවර $65,000 දක්වා කප්පාදු වීමට නියමිතයි. ශ්‍රී ලංකා හිටපු නායකයෙකු වන දිනේෂ් චන්දිමාල් C කාණ්ඩයේ දෙවැනි පෙළට කාණ්ඩගත කරමින් $45,000ක මුදලක් ගෙවීමට නියමිතයි.

යොවුන් මුල්පෙළ පිතිකරු පැතුම් නිස්සංක, අශේන් බණ්ඩාර, සහ දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් යන නවක ක්‍රීඩකයින් හට පළමු වරට ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තු ලැබීමට නියමිතයි.

කෙසේ නමුත් අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, දිල්රුවන් පෙරේරා, අශාන් ප්‍රියන්ජන්, සධීර සමරවික්‍රම, රොෂේන් සිල්වා, අසිත ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, මිනෝද් භානුක, ප්‍රවීන් ජයවික්‍රම යන ක්‍රීඩකයින් හට මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තු ලැබී නැහැ.

සිය වාර්ෂික කොන්ත්‍රාත්ගත මුදල් ප්‍රමාණයන් කප්පාදු කිරීම නිසාවෙන් ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙක් නව ක්‍රීඩක කොන්ත්‍රාත්තු ප්‍රතික්ෂේප කිරීමට සූදානමින් සිටින බව ThePapare.com වෙත වාර්තා වෙනවා.

යෝජිත නව ක්‍රිකට් ක්‍රීඩක වාර්ෂික කොන්ත්‍රාත්තුවට අනුව ක්‍රීඩකයින් පහත පරිදි කාණ්ඩගත කර තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<