මුරලිගේ නම ඉවත්වීම ගැන මහානායක හිමිගේ අවධානය

769

ශ්‍රී ලංකාවෙන් පමණක් නොව ලෝකයෙන්ම බිහිවූ සාර්ථකම දඟපන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන් නමින් ඉදිකොට තිබූ සිහිවටන ක්‍රීඩාංගණය ගැන පසුගිය කාලය පුරාම කතාබහක් ඇතිවූයේ එහි පැමිණි ප්‍රේක්ෂකයන් පිරිසකගෙන් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට එල්ල වූ බෝතල් ප්‍රහාරයක් හේතුවෙනි. එහෙත් දැන් අලුත් කතාබහක් නිර්මාණය වී ඇත්තේ ඒ ක්‍රීඩාංගණයේ නම ඉන් ඉවත්කර ඇති බැවිනි.

“පල්ලෙකැලේ මුත්තයියා මුරලිදරන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය” අප අතර වඩාත් ප්‍රචලිතව ඇත්තේ “පල්ලෙකැලේ ක්‍රීඩාංගණය” නමිනි. 2009 වසරේ දී විවෘත කරන ලද ක්‍රීඩාංගණයට 2010 වසරේ දී මධ්‍යම පළාත් ක්‍රිකට් කවුන්සිලය මඟින් මුරලිගේ ගෞරවනීය නාමය යොදන ලදි.

නමුත් මීට සතියකට පමණ පෙර වාර්තා වූයේ හදිසියේම මුරලිගේ නාම පුවරුව ඉන් ඉවත් වී ඇති බවයි. ඒ සම්බන්ධව මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් ලිපියකින් දැනුවත් කිරීමට මුරලිගේ පියාණන් වන සින්නසාමි මුත්තයියා මැතිතුමා පියවර ගත් අතර හිමිපාණන්ගේ අවධානය ඒ වෙත යොමු වී ඇති බවයි වාර්තා වන්නේ.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් මේ පිළිබඳව විමසීමට මහානායක හිමියන් තීරණය කොට ඇත්තේ ඒ අනුවයි. පසුගියදා සන්ඩේ ටයිම්ස් පුවත්පත සිදු කළ විමසීමක දී සින්නසාමි මහතා පවසා තිබුණේ, රටට මෙතරම් කීර්තියක් අත්කරදුන් අයෙකු වෙනුවෙන් ලබා දුන් ගෞරවය ඉවත් කළ පුද්ගලයන් ගැන තමන් කනගාටු වන බවයි.

මහනුවර ප්‍රදේශයෙන්ම උපන්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ගෞරවනීය පුද්ගලයන් අතරට නිල වශයෙන් ඇතුළත් වූ “එකම ශ්‍රී ලාංකිකයා” වන මුත්තයියා මුරලිදරන් හට මෙරටින් ලබා දී තිබූ සුළු ගෞරවයක් පවා මෙසේ ඉවත් කිරීම පිළිබඳව මහනුවර ජනයා පවා පසුවන්නේ නොසතුටිනි.

නාම පුවරු ඉවත් කිරීම සිදු කළ හැකි නමුත්, 1996 ලෝක කුසලාන ශූර, 2007, 2011 ලෝක අනුශූර ශ්‍රී ලංකා කණ්ඩායම් ත්‍රිත්වයෙහිම නිත්‍ය සාමාජිකයෙකු වූ, ලොව වැඩිම ක්‍රිකට් කඩුලු ලාභියාගේ නම ක්‍රීඩාලෝලීන්ගේ මනසින් ඉවත් කළ නොහැකි බව සිහිකරමින් මල්වතු නායක හිමිපාණන්ගේ අවධානය මේ සඳහා යොමු වී ඇති බව නම් ප්‍රශංසනීය ය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<