Moeen Aliගෙන් ටෙස්ට් තරග ගැන තීන්දුවක්

327

එංගලන්ත තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක Moeen Ali ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව අද (27) එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් තහවුරු කර සිටියා. කෙසේ නමුත් 34 හැවිරිදි Moeen එක්දින තරග සඳහා තවදුරටත් ක්‍රීඩා කරනු ඇත.

මට දැන් වයස 34ක්, මට පුළුවන් තරම් කාලයක් ක්‍රීඩා කරන්න අවශ්‍යයි. ඒ වගේමයි තවදුරටත් මට ක්‍රීඩාව රස විඳීමට අවශ්‍යයි. ටෙස්ට් ක්‍රිකට් හරිම පුදුමාකාරයි, Moeen පවසා තිබුණා.

මට කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින් සමඟ තරගකාරී ටෙස්ට් තරග ක්‍රීඩා කරපු හැටි ගොඩක් මතක් වේවි. විශේෂයෙන්ම ටෙස්ට් පිටියේ මගේ පන්දු යැවීම. මම ටෙස්ට් ක්‍රිකට් ආකෘතිය ගොඩක් රසවින්දා.

නමුත් ඇතැම් අවස්ථාවල ටෙස්ට් පිටියේ පීඩනය ගොඩක් ඉහළයි වගේම මට හිතුණා මම දැන් ඇති වෙන්න ඒක සමඟ ජීවත් වෙලා තියෙනවා කියලා. මම ගොඩක් සතුටු වෙනවා වගේම තෘප්තිමත් වෙනවා මම ටෙස්ට් ක්‍රීඩාව වෙනුවෙන් කරපු දේවල් ගැන, යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.

Moeen ටෙස්ට් පිටියට අවතීර්ණ වන්නේ 2014 වසරේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා – එංගලන්ත තරගාවලියක් අතරතුරයි. ඔහු සහභාගී වූ දෙවැනි ටෙස්ට් තරගාවලියේ දී ම ශතකයක් වාර්තා කරන්නට සමත් වූ අතර ඔහුගේ පිතිකරණ සාමාන්‍ය දැක්වෙන්නේ 28.29 සාමාන්‍ය අගයක් ලෙසයි.

පන්දු යැවීමෙන් සුපිරි දක්ෂතා දක්වන්නට සමත් වූ Moeen 2017 වසරේ දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියක දී කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින් තරගාවලියේ වීරයා බවට පත්වුනේ තරගාවලිය පුරාවට කඩුලු 25ක් දවා ගනිමිනුයි.

2019 වසරේ දී ඔහුට එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් ගිවිසුම් ඉදිරිපත් නොකළේ ඔහු ටෙස්ට් ක්‍රිකට් පිටියේ විවේක ගැනීමට තීරණය කර තිබූ නිසාවෙනි.

ඉන් මාස 18කට පසුව ඔහු ඉන්දියාව සමඟ පැවති තරගාවලියක දී නැවතත් එංගලන්ත සංචිතය සමඟ එකතු වූ අතර එහි දී හොඳින් දක්ෂතා දක්වමින් කඩුලු 8ක් දවා ගන්නට ඔහුට හැකි වුනා.

ඉන්පසු එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් නැවතත් ඔහුට විවේකයක් ලබා දුන් අතර ඔහු නැවතත් ටෙස්ට් පිටියට අවතීර්ණ වුනේ පසුගිය මාසයේ පැවති ඉන්දීය සංචාරයත් සමඟිනුයි. ඒ තුන් ඉරියව් ක්‍රීඩකයින් වන Ben Stokes සහ Chris Woakesගේ අඩුව පිරවීම සඳහායි. එංගලන්තයේ ඕවල් පිටියේ ඉන්දියාව සමඟ පැවති එම ටෙස්ට් තරගාවලිය ඔහුගේ අවසන් ටෙස්ට් තරගාවලියයි.

ටෙස්ට් තරග 64කට සහභාගී වූ Moeen පිතිකරණයෙන් ලකුණු 2914ක් සහ පන්දු යැවීමෙන් දවා ගෙන තිබෙන කඩුලු ගණන 195ක්.

Cricbuzz ඇසුරෙන්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<