LPL බලන්න ප්‍රේක්ෂකයින්ට ඉඩ ලැබෙන ලකුණු

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

499

එළඹෙන දෙසැම්බර් 4 වැනිදා සිට 23 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර, ක්‍රීඩා පිටියට ගොස් නැරඹීමට ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබා දීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

ThePapare.com අප වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය ඒකකයේ ප්‍රධානී, මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ඒ බව තහවුරු කළා.

”අපි බලාපොරොත්තු වෙනවා පූර්ණ වශයෙන් එන්නත් ලබා ගත් 25%ක් පමණ ප්‍රේක්ෂකයන් පිරිසකට යම් යම් සීමාවන් සහ යම් යම් කොන්දේසිවලට යටත්ව තරගාවලිය නරඹන්න අවස්ථාව ලබා දෙන්න. තරගාවලියට තව මාස 2ක් පමණ කාලයක් තියෙනවා. දැනට අපි අපේ රටේ තත්වය පිළිබඳව අපි තක්සේරු කරමින් ඉන්නවා. අනතුරුව ප්‍රේක්ෂකයන්ට තරග නැරඹීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා”, යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය ඒකක ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ThePapare.com වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

ලංකා ප්‍රිමියර් ලීගයේ පළමු අදියර පසුගිය වසරේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව ජෛව ආරක්‍ෂිත වටපිටාවක් තුලයි.

ශ්‍රී ලංකාව තුල කොරෝනා වසංගතයේ ආසාදිතයින් බව තහවුරු වන රෝගීන් සහ මරණ සංඛ්‍යාව පාලනය වී නැවතත් සාමාන්‍ය මට්ටමකට පැමිණෙමින් තිබෙනවා. මෙම තරගවලට ප්‍රේක්ෂකයින් එක් කර ගැනීමට සෞඛ්‍ය අංශවලින් අවසර හිමි වුවහොත් එය ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයන්ට නවමු අත්දැකීමක් වනු නිසැකයි.

මෙම තරගාවලියේ පළමු අදියර අති සාර්ථකව අවසන් කිරීමට හැකි වූ අතර අවසන් තරගයේ දී Galle Gladiators පරාජය කරමින් ශූරතාවය දිනා ගැනීමට Jaffna Stallions ක්‍රීඩකයන්ට හැකි වුනා.

LPL තරගාවලියේ දෙවැනි අදියර මෙම වසරේ ජූලි සහ අගෝස්තු මාසවල දී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් කොරෝනා වසංගතය නිසාවෙන් එය දෙසැම්බර් 04 වැනිදා සිට 23 වැනිදා දක්වා කල්දැමීමට සංවිධායකයින්ට සිදු වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<