රුවන් කල්පගේ ඕමාන් ජාතික ක්‍රිකට් කණ්ඩායමට

2989
Ruwan Kalpage

හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක රුවන් කල්පගේ මහතා එළඹෙන ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ඕමාන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයෙක් ලෙස කටයතු කිරීමට නියමිතයි.

ටැමිල් යූනියන් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන කල්පගේ ඔක්තෝබර් 3 වැනිදා දිවයිනෙන් පිටව යාමට නියමිතයි. හිටපු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන දුලිප් මෙන්ඩිස් මහතා දැනට ඕමාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබනවා.

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 17 වැනිදා සිට ඕමානයේ දී සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන අතර ඊට පෙර ඕමාන කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟ විස්සයි විස්ස තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතව සිටිනවා. එම තරග දෙක ඔක්තෝබර් 7 සහ 9 Al Amerat ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

කල්පගේ මීට පෙර බංග්ලාදේශයේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම්වල ද පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරමින් ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලබාගෙන තිබෙනවා. එසේම ඔහු 2019 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය තුල දී ද ඕමාන කණ්ඩායමේ පුහුණුකාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළා.

2019 ICC විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 6 වැනි ස්ථානය දිනාගෙන 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු වටය නියෝජනය කිරීමට වරම් දිනා ගත් ඕමාන කණ්ඩායම එහි දී B කාණ්ඩය යටතේ ක්‍රීඩා කිරීමට නියමිතයි. බංග්ලාදේශය, පැපුවා නිව් ගිනියාව සහ ස්කොට්ලන්තය එම කාණ්ඩයේ සිටින අනෙක් කණ්ඩායම් වෙනවා.

ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහ ලොව පුරා දෙස් විදෙස් කෙළිබිමේ තතු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<