ඉන්දීය වේගපන්දු යවන්නා නැවතත් මව් රටට

4126

පෞද්ගලික හේතුවක් නිසා ඉන්දීය සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක Jasprit Bumrah නැවතත් සිය මව් රට බලා පිටත්ව ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.

එම නිසාවෙන් ඔහුට ආසියානු කුසලානයේ මූලික වටයේ ඉන්දියාව සහභාගී වන අවසන් තරගය වන නේපාලයට එරෙහි තරගය අහිමි වන අතර ඔහු නැවතත් කණ්ඩායමට එක් වන දිනය පිළිබඳ තවමත් තීරණය කර නැහැ.

කෙසේ නමුත් ඔහු ඉතා ඉක්මනින් නැවතත් සිය කණ්ඩායම සමඟ එක් වීමට ඉඩ ඇති අතර සැප්තැම්බර් 10 වැනිදා පැවැත්වීමට නියමිත තරගයට ඔහු සහභාගී වීමේ තීරණය මත ඔහුට නැවතත් ඉන්දියාව බලා පිටත් වීමට අවසර දී තිබෙනවා.

ඉන්දියාව තවමත් නිල වශයෙන් සුපිරි හතර දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා නොමැති නමුත් ඔවුන් එයට සුදුසුකම් ලබා ගතහොත් සහභාගී වන පළමු තරගය පාකිස්තානයට එරෙහිව සැප්තැම්බර් 10 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ඔවුන්ගේ අනෙක් තරග සැප්තැම්බර් 12 සහ 15 යන දිනවල දී පැවැත්වීමට නියමිත අතර තවමත් එම තරග සඳහා සහභාගී වන අනෙක් කණ්ඩායම තීරණය වී නැහැ.

තරගාවලියේ සුපිරි වටයේ තරග සැලසුම් කර තිබෙන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට ඉදිරි සති කිහිපයේ අධික වැසි අපේක්ෂා කරන නිසා එම තරග මහනුවර හෝ දඹුල්ල ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ පිළිබඳ අවසන් තීරණය ඉදිරි දින තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩා කිරීමට එතරම් යෝග්‍ය රටක් නොවන අතර ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීමට අකැමැත්ත පල කිරීම නිසා තරගාවලියේ තරග ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තීරණය කෙරුණා.

තරගාවලියේ වැඩිම අවධානය දිනා ගත් ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය වර්ෂාව හේතුවෙන් තීරණයක් රහිතව අවසන් වීම නිසා පාකිස්තාන ක්‍රිකට් සභාපතිවරයා ඉන්දීය සහ ආසියානු ක්‍රිකට් බලධාරීන් හට චෝදනා එල්ල කරනු ද දක්නට ලැබුණා.

නමුත් ශ්‍රී ලංකාව තුළ සැප්තැම්බර් මාසයේ දී පැවැත්වෙන කාලගුණ තත්වය අධ්‍යනය කිරීමෙන් පසුව ජූලි මාසයේ දී ආසියානු කුසලාන කාලසටහන ප්‍රකාශයට පත් කළ අතර ඒ දිනවල පැවති කාලගුණ වාර්තා අනුව සැප්තැම්බර් මාසයේ දී කොළඹට පෙන්නුම් කළේ යහපත් කාලගුණ තත්වයක්.

තරගාවලියේ උණුසුම් පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම් රැඳී සිටින්න ThePapare.com සමඟ ම.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<