ශානකගේ පිලට එරෙහි පුහුණු තරගයේ ජය ධනංජයගේ පිලට

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

1460

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය කිරීමට ධනංජය ද සිල්වාගේ කණ්ඩායම අද (29) සමත් වුනා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කණ්ඩායම් දෙකකට බෙදී ක්‍රීඩා කළ මේ පුහුණු තරගයේ දී පරාජයට පත්වුණේ දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමයි.

කණ්ඩායම් දෙකේ සංචිත:

ධනංජය ද සිල්වාගේ කණ්ඩායම – 1. Avishka Fernando 2. Minod Bhanuka 3. Bhanuka Rajapaksa 4. Dhananjaya De Silva 5. Wanindu Hasaranga 6. Chamika Karunaratne 7. Ramesh Mendis 8. Binura Fernando 9. Pulina Tharanga 10. Lahiru Kumara 11. Praveen Jayawickrama 

දසුන් ශානකගේ කණ්ඩායම – 1. Dinesh Chandimal 2. Pathum Nissanka 3. Kamindu Mendis 4. Charith Asalanka 5. Ashen Bandara 6. Dasun Shanaka 7. Lahiru Madushanka 8. Akila Dananjaya 9. Dushmantha Chameera 10. Maheesh Theekshana 11. Nuwan Pradeep

කාසියේ වාසිය දිනා ගත් ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඔවුන් පන්දුවාර 28කුත් එක් පන්දුවක් අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 147ක් ලබා ගත් අතර ඉන්පසුව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුනා. 

ධනංජය ද සිල්වාගේ කණ්ඩායම වෙනුවෙන් පිතිකරණයෙන් වැඩිම ලකුණු ලබා ගත් වනිඳු හසරංග නොදැවී ලකුණු 68*ක් ලබා ගත් අතර මිනෝද් භානුක සහ භානුක රාජපක්ෂ පිළිවෙළින් ලකුණු 21ක් සහ ලකුණු 14ක් ලබාගෙන සිය කණ්ඩායමේ ලකුණු සටහන සවිමත් කළා. 

පන්දු යැවීමේ දී දකුණතින් මද වේගපන්දු යවන ලහිරු මධුසංක පන්දුවාර 4ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 9කට කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වුනා. ඊට අමතරව අකිල දනංජය කඩුලු 2ක් දවා ගන්නා විට, මහීෂ් තීක්ෂණ එක් කඩුල්ලක් දවා ගත්තා.

ඒ අනුව දසුන් ශානකගේ කණ්ඩායමට මේ තරගය ජය ගැනීම සඳහා පන්දුවාර 30ක් තුල ලකුණු 165ක ඉලක්කයක් හඹා යාමට සිදු වුනා. 

බැලූ බැල්මට එම ඉලක්කය දසුන් ශානකගේ කණ්ඩායමට පහසු ඉලක්කයක් වුවත්, ලහිරු කුමාර ලකුණු 12ක් තුල ඔවුන්ගේ කඩුලු 4ක් දවා ගැනීමට සමත් වීම නිසා එම ඉලක්කය තරමක් අපහසු ඉලක්කයක් බවට පරිවර්තනය වුනා. 

අවසානයේ දී මැදපෙළ පිතිකරු අශේන් බණ්ඩාර ලකුණු 40ක් ලබා ගනිමින් යම් මට්ටමකට සිය කණ්ඩායම රැගෙන ආ නමුත් ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා එම ඉනිම පමණක් ප්‍රමාණවත් වුනේ නැහැ. ඊට අමතරව ලහිරු මධුසංක පන්දු 41ක් තුල ලකුණු 36ක් ලබා ගත්තා. ලහිරු කුමාර දවා ගත් කඩුලු 4ට අමතරව පුලින තරංග කඩුලු 2ක් දවා ගනිමින් දස්කම් දැක්වුවා.

අවසානයේ දී නැවතත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුනු අතර ඒ මොහොත වන විට දසුන් ශානකගේ කණ්ඩායම පන්දුවාර 27ක් අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගෙන සිටියේ ලකුණු 128ක් පමණයි. ඒ අනුව ලුවිස් න්‍යායට අනුව මේ තරගය ජයග්‍රහණය කිරීමට ධනංජය ද සිල්වාගේ කණ්ඩායමට හැකි වුනා.

ධනංජය ද සිල්වාගේ කණ්ඩායම – 147/6 (28.1) වනිඳු හසරංග 68*, මිනෝද් භානුක 21, භානුක රාජපක්ෂ 14, චාමික කරුණාරත්න 14, ලහිරු මධුසංක 3/09, අකිල දනංජය  2/46, මහීෂ් තීක්ෂණ 1/29.

දසුන් ශානකගේ කණ්ඩායම – 128/9 (27) අශේන් බණ්ඩාර 40, ලහිරු මධුසංක 36, අකිල දනංජය 16*, ලහිරු කුමාර 4/12, පුලින තරංග 2/24, බිනුර ප්‍රනාන්දු 1/11, රමේෂ් මෙන්ඩිස් 1/13, ප්‍රවීන් ජයවික්‍රම 1/26.

ධනංජය ද සිල්වාගේ කණ්ඩායමට ජය (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව)

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා විස්සයි විස්ස හා එක්දින තරගාවලිය එළඹෙන සැප්තැම්බර් 2 වැනිදා ආරම්භ වීමට නියමිතයි. එක්දින තරගාවලියේ තරග 3 සැප්තැම්බර් 2, 4 හා 7 දිනවල දී පැවැත්වීමට නියමිත අතර විස්සයි විස්ස තරගාවලිය සැප්තැම්බර් 10, 12 හා 14 දිනවල කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<