ඕස්ට්‍රේලියාවට එරෙහි වන ශ්‍රී ලංකා එක්දින සංචිතය නිකුත් කරයි

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2022

922

එළඹෙන ජුනි 14 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා එක්දින තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත 21 දෙනෙකුගෙන් යුත් නිල ශ්‍රී ලංකා එක්දින සංචිතය අද (10) තේරීම් කමිටුව විසින් මාධ්‍යයට නිකුත් කළා.

එක්දින සංචිතයේ නායකත්වය ද දසුන් ශානක වෙත හිමිව තිබෙන අතර ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ද සිල්වා යන පිතිකරුවන් නැවතත් එක්දින සංචිතය සඳහා වරම් දිනාගෙන තිබෙනවා.

ආබාධයක් නිසාවෙන් ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් එක්දින තරගාවලිය වන සිම්බාබ්වේ සංචාරය සඳහා ක්‍රීඩා නොකළ පා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට නැවතත් එක්දින වරම් හිමිව තිබෙන අතර ඔහුට අමතරව මේ දිනවල දක්ෂතා අතර සිටින වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ද එක්දින සංචිතයේ පන්දු යැවීමේ අංශය සවිමත් කිරීම වෙනුවෙන් කණ්ඩායමට තෝරාගෙන තිබෙනවා.

ඔවුන්ට අමතරව වමතින් දඟපන්දු යවන යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සහ වේගපන්දු යවන ප්‍රමෝද් මදුෂාන් ප්‍රථම වරට ජාතික සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්.

සිම්බාබ්වේ එක්දින සංචාරයට සහභාගී වූ තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්, වේගපන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකර, නුවන් ප්‍රදීප් සහ ශිරාන් ප්‍රනාන්දු මෙම සංචිතය සඳහා ඇතුළත් කර නැහැ.

ශ්‍රී ලංකා එක්දින සංචිතය: දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, ප්‍රවීන් ජයවික්‍රම, රුමේෂ් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, නුවන් තුෂාර, ලහිරු මධුශංක, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මධුෂාන්

එක්දින තරග කාලසටහන

  • 14 ජුනි – පළමු එක්දින තරගය – පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
  • 16 ජුනි – දෙවැනි එක්දින තරගය – පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
  • 19 ජුනි – තෙවැනි එක්දින තරගය – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
  • 21 ජුනි – සිව්වැනි එක්දින තරගය – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
  • 24 ජුනි – පස්වැනි එක්දින තරගය – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

තරගාවලියේ සියලුම උණුසම ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<