A ගැටුමට එක් වෙන වීරයෝ

65

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායෙමේ පාකිස්තාන තරග සංචාරය හෙට (11) සිට ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව දෙරට ක්‍රීඩකයෝ පළමු වරට මුහුණ දෙන්නේ තරග 2කින් යුත් සිව්දින  තරගාවලිය සඳහායි. ඊට පසුව තරග 3කින් යුත් එක්දින තරගාවලිය නොවැම්බර් මස 25 වැනිදා සිට පැවැත්වීමට යෝජිත අතර තරගාවලි ද්විත්වයේ සියලු ම තරග පැවැත්වෙන්නේ Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

තරග කාලසටහන

1 වැනි සිව් දින තරගය – නොවැම්බර් මස 11 සිට 14 දක්වා

2 වැනි සිව් දින තරගය – නොවැම්බර් මස 18 සිට 21 දක්වා

1 වැනි එක් දින තරගය – නොවැම්බර් මස 25

2 වැනි එක් දින තරගය – නොවැම්බර් මස 27

3 වැනි එක්දින තරගය – නොවැම්බර් මස 29

තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය 25 හැවිරිදි වියේ පසුවෙන ඉදිරි පෙළ පිතිකරු පසිඳු සූරියබණ්ඩාර වෙත හිමි ව ඇති අතර ඔහු නිමා වූ දකුණු අප්‍රිකා සංචාරයේ දී ද තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය නායකයායි.

ජයග්‍රාහී දකුණු අප්‍රිකා සංචාරයට එක් වූ පසිඳු සූරියබණ්ඩාර, ඔෂද ප්‍රනාන්දු, පවන් රත්නායක, සොනාල් දිනූෂ, විශාද් රන්දික, ඉසිත විජේසුන්දර, වනුජ සහන් සහ චාමික ගුණසේකර තව දුරටත් මෙම කණ්ඩායම හා සමඟ ද එක් වෙන අතර පෙර තරගාවලියට එක් වූ ජනිත් ලියනගේ සහ මොහොමඩ් ශිරාස් මෙරට පැවැත්වෙන නවසීලන්ත තරගාවලිය හේතුවෙන් මෙම තරගාවලියට එක් වෙන්නේ නැහැ.

එමෙන් ම පෙර තරගාවලිය හා එක් වූ  ලහිරු උදාර, නුවනිඳු ප්‍රනාන්දු, නිශාන් පීරිස් සහ ඒශාන් මාලිංග ට මෙම තරගාවලිය අහිමි ව ඇති අතර ඒ වෙනුවට නිපුන් ධනංජය, පුලිඳු පෙරේරා, අහන් වික්‍රමසිංහ, විශ්ව ප්‍රනාන්දු, නිසල තාරක, අශේන් ඩැනියෙල් සහ දිනුර කළුපහනට කණ්ඩායම හා එක් වීමට අවස්ථාව හිමි ව තිබෙනවා.

පසිඳු සුරියබණ්ඩාර මෙම තරගාවලිය හා එක් වෙන්නේ පළමු පෙළ තරග 40ක ලකුණු 3026ක් ලබා ගැනීමේ අත්දැකීම් ද සමඟිනුයි. ඔහු මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමේ දී ශතක 8ක් සහ අර්ධ ශතක 15ක් ලබා ගන්නවා.

ටෙස්ට් තරග 21ක ලකුණු 1091ක් සහ පළමු පෙළ තරග 130ක ලකුණු 8790ක් ලබා ඇති ඔෂද ප්‍රනාන්දු කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයායි. එමෙන් ම පළමු පෙළ තරග 43ක දී ශතක 6ක් සහ අර්ධ ශතක 14ක් සමඟින් ලකුණු 2612ක් ලබා සිටින නිපුන් ධනංජය ද සහ පළමු පෙළ තරග 36ක ශතක 6ක් සහ අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 2049ක් ලබා සිටින පවන් රත්නායක ද මෙම සංචිතයට ඇතුලත් වෙනවා.

කණ්ඩායමට එක් කළ පන්දු යවන්නන් අතුරින් මෑත කාලීන දක්ෂතා අතර නිරතුරු ව රැඳී සිටින වමතින් දඟ පන්දු යවන වනුජ සහන්ට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. පළමු පෙළ තරග 27ක දී කඩුලු 142ක් ලබා සිටින ඔහු පිතිකරුවෙක් ලෙසින් ලකුණු 775ක් ලබා ගනිමින් ද දක්ෂතා දක්වා තිබේ.

ඊට අමතර ව පළමු පෙළ තරග 118ක කඩුලු 323ක් හිමි විශ්ව ප්‍රනාන්දු, පළමු පෙළ කඩුලු 32ක් හිමි ටෙස්ට් ක්‍රීඩක චාමික ගුණසේකර, පළමු පෙළ තරග 107ක කඩුලු 257ක් ලබා සිටින නිසල තාරක සහ පළමු පෙළ තරග 30ක කඩුලු 74ක් ලබා සිටින ඉසිත විජේසුන්දර ද මෙම කණ්ඩායමට නම් කරන ලද විශ්වසනීය ක්‍රීඩකයෝ ලෙසින් හැඳින්විය හැකියි.

කෙසේ වෙතත් යොවුන් ක්‍රීඩක පුලිඳු පෙරේරා සහ දිනුර කළුපහනට ද මෙම සංචිතයේ දොරගුළු විවර වී තිබීම වැදගත් කරුණක් ලෙසින් සැලකිය හැකියි.

ශ්‍රී ලංකා සංචිතය

 

පසිඳු සූරියබණ්ඩාර (නායක), නිපුන් ධනංජය, ඔෂද ප්‍රනාන්දු, පුලිඳු පෙරේරා, පවන් රත්නායක, සොනාල් දිනූෂ, අහන් වික්‍රමසිංහ, විශාද් රන්දික (කඩුලු රකින්නා), වනුජ සහන්, විශ්ව ප්‍රනාන්දු, ඉසිත විජේසුන්දර, චාමික ගුණසේකර, නිසල තාරක, අශේන් ඩැනියෙල් සහ දිනුර කළුපහන.

පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ 22 හැවිරිදි වියේ පසුවෙන ඉදිරි පෙළ දකුණත් පිතිකරු Mohammad Huraira වෙතයි. පාකිස්තාන A කණඩායමේ නිමා වූ බංග්ලාදේශ සංචාරයට ද එක් වූ ඔහු නායකයෙක් ලෙසින් කරලියට පිවිසෙන පළමු තරගය මෙයයි.

පාකිස්තාන A කණ්ඩායමේ බංග්ලාදේශ සිව්දින තරගාවලියේ දී එක් වූ ක්‍රීඩකයන් අතුරින් මෙම සංචාරයට එක් වීමට වරම් ලබා ගන්නේ නායකත්වය පත් Mohammad Huraira සමඟ Mohammad Rameez Jnr, Ali Zaryab, Saad Khan සහ Saad Khan පමණයි.

Mohammad Huraira යනු පළමු පෙළ තරග 40ක අත්දැකීම් ඇති පළමු පෙළ තරගයක සාමාන්‍ය 53.38ක වේගයක් පවත්වාගෙන යන ක්‍රීඩකයෙක්. ඔහුගේ පළමු පෙළ තරග දක්ෂතා අතර ත්‍රිත්ව ශතකයක් ද ඇතුලත්. ඔහුගේ පළමු පෙළ තරග දක්ෂතා සටහන් වෙන්නේ ශතක 8ක් සහ අර්ධ ශතක 14ක් සමඟින් ලකුණු 3310ක් ලෙසයි.

ඔහුත් සමඟින් පළමු පෙළ තරග 40ක දී ශතක 7ක් සහ අර්ධ ශතක 8ක් සමඟින් ලකුණු 2485ක් ලබා සිටින Ali Zaryab පාකිස්තානු කණ්ඩායමේ සුවිශේෂී ක්‍රීඩකයෙක් බවට පත් වෙනවා. ඔහු නිමා වූ බංග්ලාදේශ සංචාරයේ දී ද ශතකලාභී ක්‍රීඩකයෙක් වෙමින් දක්ෂතා දක්වා අයෙක්.

ඊට අමතර ව පළමු පෙළ තරග 25ක ශතක 6ක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 1626ක් ලබා සිටින Abdul Faseeh මෙන් ම තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයන් අතුරින්  පළමු පෙළ තරග 41ක දී කඩුලු 125ක් සහ ලකුණු 897ක් ලබා සිටින Ahmed Safi Abdullah සහ පළමු පෙළ තරග 71ක දී ලකුණු 3791ක් සහ කඩුලු 57ක් ලබා සිටින Hussain Talat වෙත ද පාකිස්තානයේ වැඩි විශ්වාසය රැඳී තිබෙනවා.

පාකිස්තාන සංචිතය

 

Mohammad Huraira (නායක), Abdul Faseeh, Ahmed Safi Abdullah, Ali Zaryab, Haider Ali, Hussain Talat, Kashif Ali, Khurram Shahzad, Muhammad Ghazi Ghori, Mohammad Rameez Jnr, Mohammad Wasim Jnr, Rohail Nazir, Saad Khan සහ Sameen Gul

ශ්‍රී ලංකා A කණ්ඩායම මෙම තරගාවලිය සඳහා එක් වෙන්නේ පසුගිය සැප්තැම්බර් මාසයේ දී දකුණු අප්‍රිකාවේ කළ සංචාරයෙන් අනතුරුවයි. එම තරගාවලියේ දී සහභාගී වූ තරග ද්විත්වය ම ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වෙනවා.

පාකිස්තානය මෙම තරගාවලිය සඳහා එක් වෙන්නේ, අවසන් වරට නිමා වූ අගෝස්තුවේ දී බංග්ලාදේශය සමඟින් තරග වැදීමෙන් අනතුරුවයි. නමුත් එම තරගාවලිය ඔවුන්ට නිමා කිරීමට හැකි වෙන්නේ  විසඳුමකින් තොරවයි.

එබැවින් මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තමන්ගේ ජයග්‍රාහී ගමන ඒ ආකාරයෙන් ම තව දුරටත් යෑමට උත්සාහ ගනිද්දී පාකිස්තානුවෝ නොවිසඳුණ තරග 2කින් පසු එක් වෙන තරගයේ ජයග්‍රහණය සොයා මෙම තරගයට එක් වෙනු නියතයි.

ශ්‍රී ලංකා – පාකිස්තාන A තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<