ශ්‍රී ලංකා, ඉන්දියා සහ ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (13) සමත් වෙනවා.
ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායම සමඟ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති එම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගන්නවා. ඒ තරගය අවසන් වීමට තවත් පන්දු 77ක් ද තිබියදීයි.
මෙම තරගයේ නිමාවත් සමඟින් මේ වන විට සෑම කණ්ඩායමක් ම තරග 2කට සහභාගී වෙමින් එක් තරගයක් ජයග්‍රහණය කර, එක් තරගයක් පරාජය වෙමින් අවසන් කර තිබෙනවා. ඒ අනුව සැකසුන ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය ශ්‍රී ලංකාව ද, 2 වැනි ස්ථානය ඉන්දියාව ද සහ 3 වැනි ස්ථානය ඇෆ්ගනිස්තානය ද වෙන්කර ගෙන තිබෙනවා.
මෙම තරගයේ දී ශ්‍රී ලංකාව එක් වෙන්නේ වෙනස්කම් 4ක් සිදු කරමිනුයි. ඒ ඉන්දීය තරගයට එක් වූ නුවනිඳු ප්‍රනාන්දු, රවිඳු ප්‍රනාන්දු, චාමික කරුණාරත්න සහ ගරුක සංකේත් වෙනුවට විශේන් හැළඹගේ, අහන් වික්‍රමසිංහ, චාමික ගුණසේකර සහ කුගතාස් මාතුලන් එක් කර ගනිමිනුයි.
ඇෆ්ගනිස්තානය ද මෙම තරගයේ දී පෙර තරගය හා එක් වූ ක්‍රීඩිකාවන්ගෙන් එක් වෙනස්කමක් සිදු කර තිබුණා. ඒ Mohammad Ibrahim වෙනුවට දකුණතින් පිට දඟ පන්දු යවන Shams Ur Rahman එක් කර ගනිමිනුයි.
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම
සහන් ආරච්චිගේ (නායක), නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), අවිශ්ක ප්‍රනාන්දු, විශේන් හැළඹගේ, සදීර සමරවික්‍රම, අහන් වික්‍රමසිංහ, වනුජ සහන්, විජයකාන්ත් වියස්කාන්ත්, චාමික ගුණසේකර, මොහොමඩ් ශිරාස් සහ කුගතාස් මාතුලන්.
ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායම
Imran Mir (නායක), Hassan Eisakhil, Khalid Taniwal, Bahir Shah, Farmanullah Safi, Ijaz Ahmad Ahmadzai, Mohammad Ishaq (කඩුලු රකින්නා), Shams Ur Rahman, Abdollah Ahmadzai, Zahir Khan සහ Khalil Gurbaz,.
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 245ක් ලබා ගන්නවා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ Hassan Eisakhil. ඔහු පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 46ක් ලබා ගන්නවා.
ඊට අමතර ව Bahir Shah පන්දු 46කට මුහුණ දෙමින් ලකුණු 44ක් ද, Farmanullah Safi පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ද සහ Mohammad Ishaq පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී චාමික ගුණසේකර ලකුණු 32කට කඩුලු 3ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලුලාභියා බවට පත් වෙනවා. ඊට අමතර ව විජයකාන්ත් වියස්කාන්ත් සහ කූගතාස් මාතුලන් කඩුලු ද්විත්වය බැගින් ද, සහන් ආරච්චිගේ සහ වනුජ සහන් කඩුල්ල බැගින් ද දවා ගන්නවා.
- ලෝක කුසලාන ඉහළ ම ලකුණු සංඛ්‍යාව ලබා දී ශ්‍රී ලංකාව පරාජය වෙයි
- ඇෆ්ගනිස්තානය, ඉන්දීය A ක්‍රීඩකයෝ පරාජය කරයි
- කොදෙව්වන්ට එරෙහි ව අංජල බණ්ඩාරගෙන් සටන්කාමී ඉනිමක්
- Shreyas Iyer නව ඉන්දීය T20 නායකයා වීමට සූදානමින්!
- Jaffna Kings 2026 LPL තරගාවලියට නව හිමිකාරිත්වයක් යටතේ පැමිණෙයි
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ඉනිම වර්ෂාව හේතුවෙන් පන්දුවාර 41කට සීමා වෙනවා. ඒ අනුව ඔවුන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 231ක ඉලක්කයක් ලැබෙනවා. ඔවුන් එම ඉලක්කය තවත් පන්දු 77ක් ඉතිරි ව තිබිය දී කඩුලු 2ක් පමණක් දැවී සපුරා ගැනීමට සමත් වෙනවා.
ඉනිමේ ආරම්භයේ සිට ම ප්‍රතිවාදීන්ට දරා ගත නොහැකි ඉනිමක නිරත වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා. ඉනිම ආරම්භ කළ නිරෝෂන් දික්වැල්ල සහ අවිශ්ක ප්‍රනාන්දු ඉනිමේ පළමු ලකුණු 50 පන්දු 22කින් වාර්තා කරන ලද අතර ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 35ක දී ලකුණු 76ක සබඳතාවක් එක් කරනවා.
එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ නිරෝෂන් දික්වැල්ල ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 49ක් ලබා සිටියා.
ඔහුගෙන් අනතුරු ව පිටියට පිවිසියේ විශේන් හැළඹගේ. ඔහු තමන් මුහුණ දුන් පළමු පන්දුවට 4 පහරක් එල්ල කළ අතර 2 වැනි පන්දුවේ දී තම ඉනිම අහිමි කර ගන්නවා.
ඉනිම අවසන් වන විට අවිශ්ක ප්‍රනාන්දු පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 108ක් ද සහ සදීර සමරවික්‍රම පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 60ක් ද ලබා සිටියා.
ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 126ක දී නොදැවී ලකුණු 137ක් ලබා සිටියා.
ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වයේ ම හිමිකාරීත්වය Farmanullah Safi සතු වුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 245 (49.4) Imran Mir 21, Hassan Eisakhil 46, Khalid Taniwal 22, Bahir Shah 44, Farmanullah Safi 35, Mohammad Ishaq 30, Abdollah Ahmadzai 21, චාමික ගුණසේකර 3/32, කුගතාස් මාතුලන් 2/42, විජයකාන්ත් වියස්කාන්ත් 2/37
- ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 2ක් දැවී 231 (28.1) නිරෝෂන් දික්වැල්ල 49, අවිශ්ක ප්‍රනාන්දු නොදැවී 108, සදීර සමරවික්‍රම නොදැවී 60, Farmanullah Safi 2/40
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 8ක ජයක්.
තරගයේ වීරයා – අවිශ්ක ප්‍රනාන්දු (ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම)
තරගාවලියේ 4 වැනි තරගය ශ්‍රී ලංකා සහ ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත අතර එම තරගය මේ මස 15 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
තුන්කොන් A ක්‍රිකට් කණ්ඩායම් තරගාවලියේ සියළු තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















