දකුණු අප්‍රිකාව 2019 රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කළේ ලොව පුරා රග්බි ක්‍රීඩාලෝලීන්ගේ හදවත් දිනා ගනිමිනි. ලෝක ශූර දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ (11) දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි නගර ශාලාව වෙත ලෝක කුසලානය රැගෙන ආවේ එය මහජනයාට ප්‍රදර්ශනය කිරීම සඳහායි.

මෙම නගර ශාලාව එරට වැදගත්ම සංධිස්ථානයක් වන්නේ නෙල්සන් මැන්ඩෙලා සිරෙන් නිදහස් වීමෙන් අනතුරුව ප්‍රථම වතාවට ජාතිය අමතා ප්‍රකාශයක් කළ ස්ථානය වීම නිසාවෙනි.

දින කීපයක් පුරා දකුණු අප්‍රිකාවේ නගර කිපයකට රැගෙන ගිය ලෝක කුසලානය ඊයේ එම සංචාරයේ අවසානය සනිටුහන් කළේය. වසර ගණනක ජාතිවාදී ගැටුම්වලින් පීඩා විඳි දකුණු අප්‍රිකාව එම ගැටුම් අවසන් කළේ මීට වසර 50කට පෙරය. මෙම සංචාරය එරට එකමුතුවේ පණිවිඩය ලොවට ගෙන යාමට සමත් විය. 

“සමගිය බලය වේ” – දකුණු අප්‍රිකාවෙන් උගනිමු

භාෂා 4කින් සන්නිවේදනය කරන රග්බි කණ්ඩායමක්, දරිද්‍රතාවය-වත්පොහොසත්කම අතර දෝලනය වන රටක රග්බි…..

“බලන්න අපි හැමෝම වෙනස් මිනිස්සු. වෙනස් ජාතීන්, වෙනස් පසුබිම් තියන මිනිස්සු. ඒත් අපි හැමෝම එකතු වෙලා දකුණු අප්‍රිකාවට මේ කුසලානය අරන් ආවා.” දකුණු අප්‍රිකානු පළමු කළු ජාතික රග්බි නායකයා වන සියා කොලීසි ක්‍රීඩාලෝලීන් අමතමින් පවසා සිටියා. 

“මම ඔබට අද කියනවා, වටපිට බලන්න, ඔබේ දෙපස ඉන්න අය දිහා බලන්න, එතන ගොඩක් ජාතීන් ඉන්නවා. එකිනෙකාට වෙනස් පසුබිම්වල මිනිසුන් ඉන්නවා. ඒත් ඒ හැම එකක් එක්කම බලන්න ඔබලා හැමෝම අපේ මේ දවස විශේෂ එකක් කරන ආකාරය.”

“මේක තමයි අපිට අපේ ගැටුම් නවත්වන්න තියන හොඳම වෙලාව. එකිනෙකා විවේචනය කරන එක නවත්වන්න තියන හොඳම අවස්ථාව. ඒ හැම එකක්ම නවත්වලා රටක් හැටියට ඉදිරියට යන්න තියන අවස්ථාව.” නගර ශාලාවේ රැස්ව සිටි දහස් සංඛ්‍යාත් ක්‍රීඩාලෝලීන්ගේ අත්පොලසන් නාදය හමුවේ කොලීසි පවසා සිටියා. 

වසර 27ක සිරගත කිරීමකින් අනතුරුව 1990 වසරේ පෙබරවාරි මස 11 වැනිදා නෙල්සන් මැන්ඩෙලා නිදහස ලබා ගත් අතර ඉන් අනතුරුව ඔහු තම ජනතාව අමතා සිටියේ ද මෙම නගර ශාලාව ඉදිරිපිට සිටය. එය නිදහස් මිනිසෙකු ලෙස මැන්ඩෙලා පැවැත්වූ ප්‍රථම කතාව වන අතර එය දකුණු අප්‍රිකානු වහල් නීති සියල්ල බිඳ දැමීමට තරම් ශක්තිමත් විය. 

“ඇමරිකානු රග්බි තාම උදේ කෑම ගන්න ගමන් ඉන්නේ”

2019 රග්බි ලෝක කුසලානය පසුගිය සති 6ක කාලය පුරාවට ලොවපුරා පුවත් මවමින් සමාජ මාධ්‍ය, ඩිජිටල් මාධ්‍ය…..

පසුගිය නොවැම්බර් මස 2 වැනිදා පැවති ලෝක කුසලාන අවසන් තරගයේ දී ලකුණු 32-12ක් ලෙස එංගලන්තය පරාජය කරමින් තම තුන්වැනි ලෝක කුසලානයට හිමිකම් කීමට දකුණු අප්‍රිකාව සමත් විය. 

මෙම ජයග්‍රහණය ලොව පුරා ක්‍රීඩාලෝලීන්ගේ මහත් අවධානයට ලක්වූයේ ජාතීන් කීපයක ක්‍රීඩකයන් සහිත කණ්ඩායමක් විසින් සියලු ජාතිවාදී බැදීම් බිඳ දමා ලබා ගත් ජයග්‍රහණයක් වීම නිසාවෙනි. 

කේප් ටවුන් නගර ශාලාවට පැමිණීමට පෙර දකුණු අප්‍රිකානු ‍රග්බි කණ්ඩායම එරට වර්ණභේදවාදය පිටුදැකීමෙහිලා ප්‍රධාන මෙහෙයක් ඉටු කළ එරට ප්‍රබල චරිතයක් වන ආචිබිශොප් ඩෙස්මන්ඩ් ටුටූ මුණගැසීම විශේෂත්වයකි. ඔහුට කොළ පැහැති දකුණු අප්‍රිකානු ‍රග්බි ජර්සියක් පිරිනැමීමට ද ඔවුන් අමතක කළේ නැත. 

“මේ තරුණ කණ්ඩායම ලබා ගත් ජයග්‍රහණය රග්බි ක්‍රීඩාව ඉක්මවා යනවා. ඒ ජයග්‍රහණය අපේ හැකියාව හා අපිට ළඟා කර ගත හැකි සීමාවන් පෙන්වනවා. අපි ආව තැන වැදගත් නෑ. අපිට අහස අල්ලන්න අවශ්‍යයි නම් අපිට ඒක කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපිට තරු අල්ලන්නත් පුළුවන්.” ඩෙස්මන්ඩ් පවසා සිටියා. 

දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ තරමක කුඩා ස්වරූපයක් ගත් ඩෙස්මන්ඩ් ට්‍රෙවර් න්‍යාකනේ හා ටෙන්ඩායි ම්ටවරීරාගේ ශරීර ප්‍රමාණය පිළිබඳව පැවසීමට ද අමතක කළේ නැත. ඒ අතර දකුණු අප්‍රිකානු ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක ෆෆ් ඩී ක්ලේර්ක් හැරී කුමරු හමු වූ ආකාරය ගැන සිනාමුසු මුහුණින් මතක් කර සිටියේය. 

දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙම කුසලාන සංචාරය අතරතුර එරට පාර්ලිමේන්තු නියෝජිතයන් ද හමු විය. එහි දී පාර්ලිමේන්තු කථානායකවරිය වන තන්ඩි මොඩිසේ පවසා සිටියේ මෙම රග්බි කණ්ඩායම දකුණු අප්‍රිකානුවන් යනු කවුරුන් දැයි ‍මතක් කරදීමට සමත් වූ බවයි. 

“ඔබලා අපේ ජාතිවාදී බැදීම් අමතක කරලීමට සමත් වුනා. ජාතිවාදී ගැටුම් නැවැත්වීමට සමත් වුනා. ඒ වගේම අපිට ශ්‍රේෂ්ඨ දකුණු අප්‍රිකාවක් ගොඩනැගිය හැකි බව මතක් කර දුන්නා.”

දකුණු අප්‍රිකාව එකමුතු කිරීම උදෙසා කටයුතු කරන ලෙස ඇය දකුණු අප්‍රිකානු කණ්ඩායමෙන් ඉල්ලීමක් ද කර තිබේ. 

“අපේ රටේ දේශපාලනය අසාර්ථක වෙන විට අපි යොමුවෙන්නේ ක්‍රීඩාවට. ඒකෙදි අපි අපේ වගකීම, නීති සියල්ල වටහා ගන්නවා. ක්‍රීඩාව අපි මනුෂ්‍යයන් කරනවා.” ඇය පවසා තිබේ. 

එහි දී පාර්ලිමේන්තු සාමාජිකයන් අමතමින් දකුණු අප්‍රිකානු ‍රග්බි නායක කොලීසි අදහස් දක්වා සිටියා.

“අපි හිතනවා අපි ඔබලාව ආඩම්බරයට ලක් කළා කියලා. ඒ වගේම අපි හිතනවා අපි ඔබලාට ආදර්ශයක් වුනා කියලා.”

මෙම සංචාරය සඳහා එක්වූ දකුණු අප්‍රිකානු කණ්ඩායම “Stronger Together” හෙවත් “ශක්තිමත්ව එකමුතුව” ලෙස සඳහන් ටී ශර්ට් හැද සිටියේය. 

ලෝක ශූර දකුණු අප්‍රිකාවට බරටම සම්මාන

මාස්ටර්කාඩ් හා ලෝක රග්බි සම්මේලනයේ රග්බි සම්මාන උළෙලේ දී වසරේ විශිෂ්ටතම රග්බි ක්‍රීඩකයා සම්මානය……

මීට වසර 30කට පෙර දකුණු අප්‍රිකාව වර්ණභේදවාදයෙන් දරුණු ලෙස පීඩා විදි රටක් ලෙස ලෝකය හමුවේ හැදින්විය. කෙසේ වෙතත් මෙම ජයග්‍රහණය එම සියලු මත දුරුකිරීමට සමත් විය. 

ජයග්‍රාහී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මේ කුසලාන සංචාරය විවෘත බස් රථයක් මඟින් සිදු වූ අතර ජොහැන්ස්බර්ග් නගරයට ආසන්නව පිහිටි සොවේටෝ නගරයේ දී ඔවුන් දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා මහතා මුණගැසුනි. 

ඉන් අනතුරුව මෙම ලෝක කුසලාන සංචාරය ඩර්බන්, ඊස්ට් ලන්ඩන් හා පෝර්ට් එලිසබත් වෙත පැමිණියේය. 

මේ සංචාරය අතරතුර දහස් සංඛ්‍යාත් ක්‍රීඩාලෝලීන් තම ලෝක ශූර කණ්ඩායමට සුබ පැතීම සඳහා මඟ දෙපස එක්ව සිටියහ. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<