ක්‍රීඩා ඇමති පුහුණුකරුවන්ට ගෙදර යන්න කියයි!

6781

එළඹෙන බංග්ලාදේශ එක්දින තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සියලුම පුහුණුකරුවන්ට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් මාර්ගයෙන් දැනුම් දී ඇතැයි වාර්තා වේ. 

ඉන්දියාවේ මීළඟ පුහුණුකරු මහේල?

2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී නවසීලන්තය…..

බංග්ලාදේශ තරගාවලියෙන් අනතුරුව නැවත වතාවක් ඔවුන්ගේ ගිවිසුම් ගත කොන්ත්‍රාත්තුව ගැන සලකා බලන බව ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණි.

ක්‍රීඩා ඇමතිවරයා මෙසේ පැවසුවද ලෝක කුසලානය නිමාවී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව පැවැති මුල්ම මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ප්‍රකාශ කලේ තමාගේ කොන්ත්‍රාත්තු කාලයේ තවත් මාස 16ක් පමණ ඉතිරි වී ඇති බවත් තමා ගිවිසුම් කාලය නිමාවන තුරු පුහුණුකරු ධූරයේ රැඳී සිටීමට බලාපොරොත්තු වන බවත්ය.

ඒ අනුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පහත නම් දරන අයවළුන්ගේ තනතුරු නැවත පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත.

  • ප්‍රධාන පුහුණුකරු – චන්දික හතුරුසිංහ
  • පිතිකරණ පුහුණුකරු – ජෝන් ලුවිස්
  • පන්දුරැකීමේ පුහුණුකරු – ස්ටීව් රික්සන්
  • සහාය පන්දුරැකීමේ පුහුණුකරු – මනෝජ් අබේවික්‍රම
  • දඟපන්දු පුහුණුකරු – පියල් විජේතුංග
  • වේගපන්දු පුහුණුකරු – රැමේෂ් රත්නායක

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ජූලි 26 වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ඇරඹීමට නියමිත අතර මෙම තරගාවලිය වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් එක්දින තරගාවලිය බවත් කියවේ.

ශ්‍රී ලංකාව පසුගිය සමයේ ජාත්‍යන්තර තරග පිටියේ ගත කළේ ඉතාම අසීරු කාලයකි. ජාතික කණ්ඩායමේ ප්‍රතිඵල අයහපත් වන විට පුහුණුකරුවන් ඇතුළු විවිධ පාර්ශවවලට දිගින් දිගටම චෝදනා එල්ල වන ආකාරය පසුගිය සමයේ දකින්නට ලැබුණි. ක්‍රීඩා ඇමතිවරයා ද මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක දී සිය අදහස් ප්‍රකාශ කළ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නගා සිටුවීමට කඩිනම් පියවර කිහිපයක්  ගත යුතු බව බොහෝ දෙනාගේ මතය වී ඇත.

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය – තරග කාල සටහන

  • පුහුණු තරගය: ජූලි 23, පී සාරා ඕවල් ක්‍රීඩාංගණය
  • පළමු එක්දින තරගය: ජූලි 26, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය 
  • දෙවන එක්දින තරගය: ජූලි 28, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය 
  • තෙවැනි එක්දින තරගය: ජූලි 31, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය 

>> තවත් පුවත් ක්‍රිකට් සඳහා පිවිසෙන්න <<