ඉන්දීය ප්‍රධාන පුහුණුකරු සඳහා අයදුම්පත් කැඳවේ

4771

2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී නවසීලන්තය හමුවේ පරාජය වීමෙන් පසුව ඉන්දීය කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. ඉන් අනතුරුව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් තෝරාගැනීමට තීරණය කර ඇති අතර ඒ අනුව ප්‍රධාන පුහුණුකරු, පිතිකරණ පුහුණුකරු හා තවත් අංශ කීපයක් සඳහා අයදුම්පත් කැඳවා ඇත. 

මහේන්ද්‍ර සිං දෝනි තවදුරටත් අපේ කණ්ඩායමට අවශ්‍ය නැහැ

2019 ලෝක කුසලානයෙන් අනතුරුව හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ඉරණම කවරාකාර…

මෙහි සුවිශේෂීම කරුණක් වන්නේ ඉන්දීය මාධ්‍ය විසින් මහේල ජයවර්ධනගේ නමට වඩාත් අවධානයක් යොමු කර තිබීමයි. 

“ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා මහේල ජයවර්ධන, ගැරී ක්‍රිස්ටන්, ටොම් මූඩි හා විරේන්ද්‍ර ශෙවාග් ඉදිරිපත් වීමට ඉඩ තිබෙනවා” යනුවෙන් ඉන්දීය පුවත්පතක් වන Financial Express පුවත්පත වාර්තා කර ඇත. 

ඉන්දීය කණ්ඩායම මේ වන විට රවි ශ්‍රාස්තිගේ පුහුණුකාරීත්වය යටතේ පවතින අතර ඔහු 2017 වසරේ පුහුණුකරු ලෙස පත්වීමට පෙර ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස අනිල් කුම්බ්ලේ කටයුතු කළේය. පුහුණුකරු බවට පත්වී වසරකට පසුව අනිල් කුම්බ්ලේ එම තනතුරෙන් ඉවත් වූයේ ඉන්දීය නායක විරාත් කෝලි සමඟ කටයුතු කිරීම අපහසු බව පවසමිනි. 

ඉන්දීය ක්‍රිකට් කවුන්සලය විසින් තම කණ්ඩායමේ තනතුරු 6ක් සඳහා මෙලෙස අයදුම්පත් කැඳවා ඇති අතර එම තනතුරු සඳහා අවශ්‍ය සුදුසුකම් ද ප්‍රකාශයට පත් කර ඇත. 

  • ප්‍රධාන පුහුණුකරු 
  • පිතිකරණ පුහුණුකරු 
  • පන්දු යැවීමේ පුහුණුකරු 
  • පන්දු ‍රකින පුහුණුකරු 
  • භෞත චිකිත්සක 
  • පාලන කළමනාකරු

ප්‍රධාන පුහුණුකරු සඳහා වන සුදුසුකම් 

  • ටෙස්ට් වරම් සහිත කණ්ඩායමක ප්‍රධාන පුහුණුකරු ලෙස අවම වශයෙන් වසර දෙකක් කටයුතු කර තිබීම හෝ ඉන්දීය ප්‍රිමියර් ලීග්/ හෝ සමාන ජාත්‍යන්තර තරගාවලියක හෝ/ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමක හෝ/ ජාතික A කණ්ඩායමක පුහුණුකරු ලෙස අවම වශයෙන් වසර තුනක් කටයුතු කර තිබීම.
  • අවම වශයෙන් ටෙස්ට් තරග 30ක් ක්‍රීඩා කර තිබීම හෝ/ එක්දින තරග 50ක් ක්‍රීඩා කර තිබීම හෝ/ ඉන්දීය ක්‍රිකට් කවුන්සලයේ 3 වැනි මට්ටමේ සහතිකයක් තිබීම හෝ/ එයට සමාන සහතිකයක් තිබීම. 

මෙම අයදුම්පත් සඳහා අවසන් දිනය ලෙස ජූලි මස 30 වැනිදා දක්වා ඇත. 

මහේල වසර තුනක සිට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කර ඇති අතර එම කාලය තුල දෙවතාවක් ශූරතාවය ජයග්‍රහණය කිරීමට මුම්බායි කණ්ඩායම සමත් විය. මහේල බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ කුල්නා ටයිටන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරයි. 

පසුගිය මාසයේ දී මහේල එංගලන්තයේ පන්දු 100 ක්‍රිකට් තරගාවලියක සදර්න් බ්‍රේව් නම් කණ්ඩායමක පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිත බව ප්‍රවෘත්තියක් පලවී තිබුණි. එම තරගාවලිය 2020 ජූලි මස ආරම්භ වීමට නියමිතයි. 

>> තවත් පුවත් ක්‍රිකට් සඳහා පිවිසෙන්න <<