SAG යන්න කලින් යෝග්‍යතාව පිරික්සයි

97 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ පළමු දිනයේ ඡායාරූපයක්.

නේපාලයේ කත්මන්ඩු අගනුවර දී පැවැත්වීමට නියමිත 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (SAG) සඳහා තවත් ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණි. ක්‍රීඩාවන් 27ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600කට අධික පිරිසක් මෙවර ශ්‍රී ලංකාවෙන් SAG සඳහා සහභාගී වීමට නියමිත අතර ඒ අතරින් මලල ක්‍රීඩා තරග සඳහා විශේෂ අවධානයක් යොමු වී ඇත්තේ විශාල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයක් ඒ සඳහා අපේක්ෂා කරන නිසාවෙනි.

SAG සහය දිවීමේ සුදුසුකම් ලැබීමේ තරගවලට බාලගිරි

මේ වසරේ දෙසැම්බර් හි නේපාලයේ කත්මණ්ඩු නුවර දී ……..

මලල ක්‍රීඩා තරග නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 68 දෙනෙකු තේරීම් කමිටුව විසින් තෝරාපත් කරගෙන තිබුණු අතර එම ක්‍රීඩිකාවන් සඳහා විශේෂ පුහුණු කඳවුරක් ද මලල ක්‍රීඩා සම්මේලනය මගින් පවත්වා තිබුණේ කත්මන්ඩු නුවර ඇති දේශගුණ තත්ව සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හුරුකිරීමේ අරමුණෙනි.

තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම සහ ඔවුන්ගේ මානසික සහ කායික සෞඛ්‍ය පිළිබඳව ඇගයීමක් කිරීම අරමුණු කරගනිමින් පැවති සැසියක් අද (26) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

මේ සඳහා මලල ක්‍රීඩා ඉසව් නියෝජනය කරමින් SAG සඳහා සහභාගී වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වී තිබුණු අතර මෙතුවක් කලක් ඔවුන් විසින් සිදු කළ පුහුණුවීම් මෙහි දී ඇගයීමට ලක් කෙරුණි. උදෑසන 06.30 සිට පැය දෙකක පමණ කාලයක් පුරාවට පැවති මෙම ඇගයීම් අවසානයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දක්ෂතා සම්බන්ධයෙන් ස්වයං ඇගයීමක් ලබා ගැනීමට හැකි වීමත් මෙම පුහුණු සැසිය තුලින් සංවිධායකයින් අපේක්ෂා කරන තවත් කරුණකි.

“මේ සැසිය හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අසමත් කිරීමක් සිදු වෙන්නේ නැහැ, තරගයට ඉදිරිපත් වීමේ බය මෙතනින් නැති කරන එක තමයි බලාපොරොත්තුව වුනේ, ඒ වගේමයි තමාට ක්‍රීඩා කරන්න බැහැ කියලා හිතෙනවා නම් තරගාවලියට ගිහිං නොයෙක් හේතු කියලා ඉවත් වෙනවාට වඩා මෙතන දක්ෂතා දක්වලා ඒ හරහා ස්වයං ඇගයිමක් කරලා තමාගේ දක්ෂතාවය ගැන ආත්ම විශ්වාසයක් ගොඩනගලා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කර වීම තමයි මගේ බලාපොරොත්තුව” යැයි ශ්‍රී ලංකා SAG මලල ක්‍රීඩා කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන පෙනරාල් රවින්ද්‍ර මුදලිගේ ThePapare.com වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ.

SAG යන මලල ක්‍රීඩා කණ්ඩායම 68ක් දක්වා ඉහළට

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල එළඹෙන දෙසැම්බර් …..

පෙර වසරවලට සාපේක්ෂව මෙවර SAG තරගාවලිය සඳහා හොඳ සූදානමකින් පසුවන බවත් නිසි කළමනාකාරිත්වයක් පවතින බවත්,  SAG සඳහා සහභාගී වන කෙටි දුර ධාවකයින්ගේ පුහුණුකරු වන විමුක්ති සොයියා ThePapare.com වෙත අදහස් දක්වමින් පවසා සිටියේය. 

“ඉන්දියාවෙන් සහභාගී වන සංචිතය ගැන අපි තාම දන්නේ නැහැ. මීටර් 100, 200 සහ 100×4 ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. ගිය වසරට වඩා දක්ෂතා අතින් සහභාගී වන හොඳම සහය දිවීමේ කණ්ඩායම මේ වසරේ SAG සහභාගී වෙනවා.” යැයි වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසීය. 

SAG සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නොවැම්බර් මස 29 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට නියමිත අතර මලල ක්‍රීඩා තරග දෙසැම්බර් මස 3 වැනිදා සිට 7 වැනිදා දක්වා දින 5ක් පැවැත්වෙනු ඇත.

දකුණු ආසියානු ක්‍රීඩ උළෙලේ සියලු පුවත්, තරග ප්‍රතිඵල, වීඩියෝ සහ තවත් බොහෝ දෑ සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

*මෙම යෝග්‍යතා සැසියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා මෙම ලිපියේ පසුව යාවත්කාලීන කරනු ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<