SAG පිටියේ ක්‍රිකට් බලාපොරොත්තු රිදියෙන් නිමවෙයි!

61

ශ්‍රී ලංකාවට හිමි වන්නට තිබූ තවත් SAG රන් බලාපොරොත්තුවක් අද දිනයේ (09) ගිලිහී ගියේ පිරිමි විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම අතිනි. වයසින් අඩු වුවද ජාත්‍යන්තර අත්දැකීම් බහුල ක්‍රීඩකයින් සමඟින් අවසන් තරගයේ බංග්ලාදේශය සමඟින් තරග වැදුනු ඔවුන්ට අද උරුම වූයේ කඩුලු 7ක පරාජයකි. කෙසේවෙතත් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම දෙවැනි ස්ථානය දක්වා පැමිණීම නිසා ඔවුන්ට තම මව්බිම වෙනුවෙන් රිදී පදක්කමක් දිනා දීමට හැකිවිය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට SAG රන් නූලෙන් මිස් වෙයි

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්ව වෙනුවෙන්….

අද මෙම අවසන් තරගය නේපාලයේ කීර්තිපූර් හිදී පැවති අතර තීරණාත්මක කාසියේ වාසිය ජය ගැනීමට බංග්ලාදේශ නායක නජ්මුල් හොසේන්ට හැකිවිය. ඒ අනුව ඔහු වඩාත් ආරක්ෂිත විකල්පය වශයෙන් මුලින් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිළට ඇරයුම් කළේය. ඒ විස්සයි විස්ස රටාවේ අවසන් තරගයක මුලින් පන්දුවට පහර දීමේ දී හොඳ ලකුණු වේගයක් ද රඳවා ගැනීම දුෂ්කර කාර්යයක් බව ඔහු හොඳින් දන්නා බැවිනි.

ඒ අනුව මෙම උගුලේ සිරවුනු ශ්‍රී ලංකා පිළ පාලනයකින් යුතුව පන්දු යැවූ බංගලි පන්දු යැවීම හමුවේ පසුබෑමකට ලක්වූ අතර අවසන් තරගයක පීඩනයට ශ්‍රී ලංකා පිළ නතුකර ගැනීමට ප්‍රතිවාදීන්ට හැකිවිය. එහිදී ශ්‍රී ලංකා පිළේ තීරණාත්මක කඩුල්ල වන කමිඳු මෙන්ඩිස් ලකුණු 4කට සීමා වීමත්, පසුපෙළ ශක්තිය බවට පත්වූ අශේන් බණ්ඩාර අද ලකුණු ලබා නොගැනීමත් ශ්‍රී ලංකාවට එල්ල වූ මරු පහරක් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පුරාවෘතයකට පාකිස්තානයෙන් ගෞරවනීය ඇරයුමක්

වසර 11කට පසුව පාකිස්තානයට ටෙස්ට් ක්‍රිකට් රැගෙන යාමට ශ්‍රී ලංක….

පැතුම් නිස්සංක අද ලකුණු 22ක් ලබාගත් නමුත් පීඩනය යටතේ තරග වැදීම නිසා ඔහු ඒ වෙනුවෙන් පන්දු 24ක් වැය කළේය. කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ ශම්මු අශාන් ලකුණු 25ක් රැස්කර ගත්තේ පන්දු 20ක් තුලදීයි. ඊට හතරේ පහර 3ක් ඇතුළත් විය. මීට අමතරව කඩුලු රකින පිතිකරු නිශාන් මධුශ්ක ලකුණු 16ක් ද, නායක අසලංක ලකුණු 12ක් ද රැස් කළහ. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාවට වැඩිම තර්ජනයක් එල්ල කළේ හසන් මහමුද් නම් දකුණත් වේග පන්දු යවන්නායි.

ශ්‍රී ලංකා පිතිකරුවන් තරගයේ පළමු අර්ධයම වරද්දා ගත් නිසා දෙවැනි අර්ධයේ දී පන්දු යවන්නන්ට ඉතාමත් වෙහෙසකර කාර්යයක නිරත වීමට සිදුවිය. ඒ තමන් අභිමුව ඇති අඩු ලකුණු ප්‍රමාණය ආරක්ෂා කර ගැනීමත්, ආක්‍රමණශීලී පන්දු පිටියක් සකස්කර කඩුලු දවා ගැනීමත් එක විට කිරීම පහසු නොවන බැවිනි. මේ නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය දිනා ගැනීමේ අවස්ථාව ඉතාමත් අල්ප විය.

“ඒක රතු පාටයි තමුසෙට පේනවා අඩු ද?” – ක්‍රිකට් ක්‍රීඩාවේ සටකපටකම්

1996 ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයට කොදෙව් කණ්ඩායම….

තම ප්‍රතිවාදීන් පත්වී සිටින දුෂ්කර තත්ත්වය මැනවින් වටහාගත් බංග්ලාදේශ පිතිකරුවන්ද උත්සාහ කළේ කෙසේ හෝ කඩුලු ආරක්ෂා කරගෙන පිටියේ රැඳී සිටීමටයි. එහිදී පසුගිය කාලයේ විශිෂ්ට ඉනිම් කිහිපයක් ක්‍රීඩා කරමින් බොහෝ ප්‍රේක්ෂක අවධානයට පාත්‍ර වූ නජ්මුල් හොසේන් ශැන්ටෝ අද නොදැවී ලකුණු 35ක් ලබා ගනිමින් බංග්ලාදේශයට රන් පදක්කමක සිහිනය සැබෑ කර දුන්නේය.

තැනට සුදුසු ලෙස පිත්ත හැසිරවූ ඔහු ඒ වෙනුවෙන් පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් එල්ල කළේය. ඉනිම ආරම්භ කළ සයිෆ් හසන් පන්දු 30කදී ලකුණු 33යි. ඊට හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. මීට අමතරව ජාත්‍යන්තර පිටියේ අත්දැකීම් සම්භාරයක් ඇති සෞම්‍ය සර්කාර් අද ලකුණු 27ක් රැස් කළේය. ඒ අනුව බංග්ලාදේශයට මෙම ඉලක්කය හඹා යාමට වැයවූයේ පන්දුවාර 18යි එක් පන්දුවක් පමණි.

කොදෙව් දේශයේ බලාපොරොත්තු සිමන්ස්ගේ පිත්ත උඩ රැඳෙයි!

ඉන්දු – කොදෙව් විස්සයි විස්ස තරගාවලියේ ජීවය තව දුරටත් ආරක්ෂා….

මේ අනුව බංග්ලාදේශයට පිරිමි සහ කාන්තා දෙඅංශයේම රන් පදක්කම් හිමිකර දෙමින් SAG උළෙලේ ක්‍රිකට් තරග නිමාවට පත් වීමද විශේෂත්වයකි. අද පැවති අවසන් තරගයේ වීරයා සම්මානය හසන් මහමුද් දිනා ගනිද්දී තරගාවලියේ වීරයා ලෙස ශ්‍රී ලාංකික යොවුන් පිතිකරු කමිඳු මෙන්ඩිස් නම් කෙරිණ.

ශ්‍රී ලංකා පිළ 

සියල්ලන්ම දැවී ලකුණු 122 (පන්දුවාර 20):ශම්මු අශාන් 25, පැතුම් නිස්සංක 22, නිශාන් මධුශ්ක 16, චරිත් අසලංක 12, හසන් මහමුද් 3/20, තන්වීර් ඉස්ලාම් 2/28, සුමන් කාන් 1/16, මහෙදි හසන් 1/18.

බංග්ලාදේශ පිළ 

කඩුලු 3ක් දැවී ලකුණු 125 (පන්දුවාර 18.1):නජ්මුල් හොසේන් ශැන්ටෝ 35*, සයිෆ් හසන් 33, සෞම්‍ය සර්කාර් 27, යසීර් අලි 19, කමිඳු මෙන්ඩිස් 1/9, සචිඳු කොළඹගේ 1/33.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<